Sunday 3 September 2023

චිත්‍රකතා මිත්‍රයා- හත්වැනි දිගහැරුම


සතුටේ ජනප්‍රිය චිත්‍රකතා 

"කෝ අයිය ඉන්නවයි"

චිත්‍රසිරි එහෙම ඇහැව්වෙ මධුර පත්තරේ කියවන ගමන්මයි.

චිත්‍රසිරි අපේ අයියා ගැන අහන්නේ කලාතුරකින් එහෙමත් දවසකය. 

"මක්කටෙයි හොයන්නෙ." 

කාරණාව දැනගෙනත් මා ඔහුගෙන් ඇහුවේ කිසිවක් නොදන්නා ගානටය.

"එදා අයිය ජනප්‍රිය චිත්‍රකතා ගැන මතක් කෙරුවනෙ. ඒකයි"

"ගෙයි නෑ. කොහෙද ගිහිල්ල."

ජනප්‍රිය චිත්‍රකතා ගැන කතා බහට පාර කැපුවෙ අයියාය. ඔහු හොඳ චිත්‍රකතා ලෝලියෙකි. 

ජනප්‍රිය චිත්‍රකතා කිව්වම අපට එක පාරටම මතක් වෙන්නෙ වීර කතා සහ ආදර කතාය.

වීර කතා කිව්වොත් ඉතින් "නිව්රෝ", "යුනිකෝ" වගේ කතා තමයි. ආදර කතා කිව්වොත් ඉතින් "ඉතිං ඊට පස්සෙ" කතාවට වඩා දෙයක් නෑ. 

එහෙම තමයි අපට හිතෙන්නෙ. ඒ වුණත් සතුටේ පළවුණු ජනප්‍රිය චිත්‍රකතා තව ගොඩක් තිබුණ.

අපේ කතා බහ අතරේ ගෙදරට ගොඩවුණ අයියත් සතුටේ ජනප්‍රිය චිත්‍රකතා කතා ගැන කතා බහට එකතුවුණා.

අනුර විජේවර්ධන 

"අනුර විජේවර්ධනගෙ මේඝ කියන්නෙ ටාසන් කතා විදියෙ හොඳ වීර කතාවක්" කවදත්  වීර කතා වලට කැමති අයියා කතාවට මුල පිරුවේය.

"මේඝ කොටස් හැටක විතර ලොකු කතාවක්  ඒකෙ දෙවැනි කොටසක් එනව කියල තිබ්බනෙ මේඝ සිදාදියට එයි."

"එහෙම තිබුණ තමයි. ඒත් පත්තරේ ගියාද මට මතක නෑ"

"නෑ ඒක පත්තරේ ගියා"

"ලංකාවේ පළවෙච්ච පළවෙනි චිත්‍රකතාව මොකක්ද කියල දන්නවද ?" 

අයියා එහෙම ඇහුවෙ කතාවෙන් පිට පැනලද කියල එවෙලෙ හිතුණ. 

"නීලා" 

චිත්‍රසිරි ඉස්සර වුණත් මාත් ඒ උත්තරේ දන්නව. තාත්ත තමයි ඉස්සර දවසක ඒක කියල දුන්නෙ. 

"නීලා ඉරිද ලංකාදීප පත්තරේනෙ පළවුණේ. මට මතක විදියට 1952 ඔක්තෝබර් මාසෙ. කතාව ධර්ම ශ්‍රී ජයකොඩි මහත්තයගෙ. චිත්‍ර ඇඳළ තියෙන්නෙ  ජී.ඇස්. ප්‍රනාන්දු මහත්තය." චිත්‍රසිරි චිත්‍රකතා මතකය පෙන්නුවෙ එහෙමයි.

අයිය නීලා කතාව අපේ කතාවට සම්බන්ධ කළේ මෙහෙමයි.

"නීල කතාව ඇඳළ තිබ්බෙත් බටහිර ටාසන් වර්ගයේ චිත්‍රකතා විදියට"

"මං නම් හිතන්නෙ අනුර විජේවර්ධන මහත්තය ඇඳපු හැම චිත්‍රකතාව ම ජනප්‍රිය වුණා කියල" මං එහෙම කිව්වෙ ඒ හැම චිත්‍රකතාවට ම ආස හින්ද.

"රත්තරන් ඉල්ලම, අළු යට ගිනි, මිස්ටර් ෂෝක් 909, කේශර, යුග තුනක්, සසර වසන තුරු,"

"ඇයි වීරෝ කතාව"

"ඒකෙ තියෙනව නේද විද්‍යාත්මක සොයා ගැනීම්, තාක්ෂණය වගේ දේවල්."

"ඒ කාලෙ තිබ්බ බටහිර චිත්‍රපටි බලල ඒ විදියට අඳින්න ඇති."

"සතුට පත්තරේ පටන් ගන්න මුල් වුණේ අනුර මහත්තය කියල තමයි රංගයිය කියන්නෙ"

චිත්‍රසිරි චිත්‍රකතා ගැන විස්තර රංගයියගෙන් අහගන්න බව කලිනුත් කිව්ව කියල මතකයි.රංගයිය ඔය කාරණා ගැන අපට වඩා දන්නව. ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.

"ඔව්. ඔව්. සතුටෙ පළවෙනි පත්තරේ මුල්පිටුව ඇන්දෙත් අනුර මහත්තයනෙ."

දන්නෙම නැතුව තාත්තා පැට්‍රොල්මැක්ස් ලාම්පුව පත්තු කරන වෙලාව එනතුරු කතාව ඇදීගොස් ඇත.

"සතුටෙ ඉඳල මධුරෙත් චිත්‍රකතා ඇන්ද කෙනෙක් තමයි අනුර විජේවර්ධන." තාත්තා  ඔහු ගැන කතා කරන්නේ ගෞරවයෙනි.

" සතුටට ඇඳපු "සුළි සුළං""ගැලන්ට්" මධුරටත් ඇන්ද"

"වික්‍රම මහත්තයත් දිගටම මධුරට "බට්ටි" ඇන්ද නේද ?"

"ඒ වගේම දයා රාජපක්ෂ වගේ කීපදෙනෙක් මධුරට දිගටම චිත්‍රකතා ඇන්ද."

පී. වික්‍රමනායක  

"රසික දන්නවයි වික්‍රමනායක මහත්තයා මාතර කෙනෙක්" චිත්‍රකතා ශිල්පියෙකුගෙ ෆොටෝ එකක් වුණත් පත්තරේ පළකරන්නෙ කලාතුරකිනි.

"එක සතුට පත්තරේක සතුටෙ චිත්‍රකතා අඳින අයගෙ ෆොටෝ දැම්ම මතකයි."

"එතකං අපි හිතේ මවාගෙන හිටියෙ ඒ ගොල්ලො චිත්‍රකතාවල චරිත වලට අඳින්නෙ ඒ ගොල්ලන්ගෙම රූප කියල."

"එහෙම තමයි ආරංචි වුණේ."

"ඒක නෙවෙයි වික්‍රම මහත්තය ගොඩක් වෙලාවට ගැමි කතා,  ගැමි චරිත තමයි ඇන්දෙ"

"වික්‍රම මහත්තයගෙ මැණික් දෙවඟන, පංචාලි, ඇලඩිනුයි පුදුම පහනයි, වීර තීසියස්, අලි බබයි හොරු හතලිහයි,  බට්ටී, මංජු වගේ කතා ගොඩක් ජනප්‍රිය වුණා."

"දැන් ළමයිනේ රැ වුණා නේද" තාත්තා ගේ දැනුම් දීම අපට දැන් කතාව ඇතිය කියන අවවාදයක් ද වෙයි. කතාව අතරතුර අයියා ගෙට ගියේ කොයි වේලෙදැයි දන්නේ නැත.

අපිට අමතක වෙන්නෙ නැති චිත්‍රකතා ගොඩක් සතුටෙ පළවුණා. ඒ ගැන කතා කරන්න වෙන්නෙ වෙන දවසක.

මී ළඟට .........රසිකට සිත්තර කියවන්න ලැබෙයි.  


©සුප්‍රි සමරසිංහ 

1 comment:

  1. නියමයි. ලස්සන රටාවකට ලියල තියන, අපට අමතක වූ අතීතය.
    ලියන්න, අපි දිගටම එනවා කියවන්න.

    මෙතන තියනවා, ඔය කතාවල පිංතූර:
    https://www.facebook.com/supiri2020

    ReplyDelete