චිත්‍රකතා මිත්‍රයා


මුල් පිටුව හෙවත් හැඳින්වීම  



ඔහුගේ නම "චිත්‍ර" ය. ඔහු මගේ මිත්‍රයෙකි. නැතිනම් "රසික" ගේ මිත්‍රයෙකි. චිත්‍රකතාව ඔහුගේ මිත්‍රයා ය. ඔහු  මගේ මිත්‍රයා වුණේ චිත්‍රකතාව නිසාය. ඒ මා චිත්‍රකතාවට ඇලුම් කළ නිසාය.

"චිත්‍රමිත්‍ර" ද "රසික" ද යනු චිත්‍රකතා පත්තර දෙකක නම් දෙකකි. අපි එකම පාසලේ ඉගෙන ගන්නා මිතුරෝ දෙදෙනෙක් වෙමු.

ඔහු අපේ ගෙදර එන්නේ චිත්‍රකතා කියවන්නටය.
චිත්‍රකතා පත්තර කිහිපයක් අපේ ගෙදරට ගෙනාවේ අයියාය. අයියා චිත්‍රකතා රසිකයෙකි.
මල්ලීද අක්කාද  චිත්‍රකතා රසිකයින්ය.

තාත්තා මහා චිත්‍රකතා රසිකයෙකි. එනිසා ඔහු අප චිත්‍රකතා කියවනවාට විරුද්ධ වූයේ නැත. පාසල් වැඩ අතපසු කරගෙන චිත්‍රකතා කියවනවායැයි දොස් නැගුවේ නැත. චිත්‍රකතා නිසා ළමයි නොමඟ යනවායැයි යන අදහස ඔහු පිළිගත්තේ නැත. එහෙයින් තාත්තා චිත්‍රකතා ලෝලියෙකු වූ චිත්‍ර ආශ්‍රය කරනවාට හෝ ඔහු ගෙදරට ගෙන්වා ගැනීම ගැන අකමැත්තක් දැක්වූයේ නැත.

චිත්‍ර චිත්‍රකතා කියවන්නට අපේ ගෙදර එන්නේ ඉරිදා දිනවලය හැන්දෑවේය. අපේ ගෙදර ඉස්තෝපුවේ කෙටි තාප්පය උඩ වාඩි වෙන ඔහු එක හුස්සමට චිත්‍රකතා පත්තර ටික කියවයි. ඇඳිරි වැටුණු පසු චිත්‍රකතා පත්තර කියවීම නවතා චිත්‍රකතා ගැන කියවන්නට ගනියි.
සංවාදයකට මුල පුරන්නේ ඉන්පසුවය. වාද විවාද ද ඉඳහිට ඇති වෙයි.

තාත්තා පැට්‍රෝල්මැක්ස් ලාම්පුව පත්තු කර සාලයේ එල්ලන්නේ මේ වෙලාවටය. ඒ හැත්තෑව දශකයේ මැද භාගයයි. ඒ වනවිට අපට විදුලිය ලැබී තිබුණේ නැත. අපේ චිත්‍රකතා සංවාදය පවත්වන්නේ පැට්‍රොල්මැක්ස් ලාම්පු එළියෙනි. මේ සංවාද මණ්ඩපයට අපේ ගෙදර චිත්‍රකතා රසිකයෝ ද වරින් වර සම්බන්ධ වෙති.

"චිත්‍රකතා මිත්‍රයා" යනු ඒ සංවාද මණඩපයේ සටහන් පෙළයි.

චිත්‍රකතාවක් කතාවක් සහ චිත්‍ර අංශ දෙකින් සමන්විතය. තවත් විස්තර කළොත් චිත්‍රකතාවක ඇත්තේ විස්තර පාඨ, දෙබස් සහ චිත්‍රය යි.  චිත්‍ර අඳින්නේ කොටු ඇතුළේය. දෙබස් ලියන්නේ බැලුම් ඇතුළේය. වරක් අප චිත්‍රකතා මිත්‍රයා සමග  සංවාදක පැටළුණේ චිත්‍රකතාවක  "කතාව" සහ "චිත්‍ර" යන කරුණු දෙකින් කුමක් වැදගත් වේ ද යන්න පිළිබඳවයි.

මේ සටහන් පෙළ දිග හැරෙන්නෙ විස්තර පාඨ හා දෙබස් වලිනි.  නාටකීය විලාසයෙනි. චිත්‍ර නැති චිත්‍රකතාවක් ලෙසිනි.

බලාපොරොත්තු වන්න 
චිත්‍රකතා මිත්‍රයා සමග රසික නම් වූ  මා ඔබ හමුවන්නේ "පත්තර අරණ"බ්ලොග් අඩවියෙනි.

©සු.ප්‍රි. සමරසිංහ
2023.07.06  0710558989
supprisamarasinghe@gmail.com





No comments:

Post a Comment