රසිකයා පොත පත කියවීමට හුරු වූයේ චිත්‍රකතා කියවීමෙන් බව කිසිවිටක අමතක කළ නොහැක.
අප කුඩා කල තාත්තා මිහිර, සතුට හා සිළුමිණ යන පුවත්පත් නොකඩවා ගෙදරට ගෙනාවේය. ඇත්තම කියනවා නම් ගෙදරට පත්තර ගෙනාවේ පත්තර සීයා ය. අපේ නිවස කිට්ටුව පදිංචි වැඩිහිටියෙක් වූ ඔහු, දිනපතා උදයේ කඩපොළට යාම පුරුද්දක් ලෙස කළේය. අපේ තාත්තාට බොහෝ හිතේෂීවන්ත වූ ඔහු අපට පත්තර ගෙනත් දීමේ රාජකාරිය බාර ගත්තේ සිය ඇමැත්තෙන්ම ය. ඉන් පසුය ඔහු අපට පත්තර සීයා වූයේ. තාත්තා කළේ මාසයකට වරක් පත්තර කඩයට ගොස් සල්ලි ගෙවීමය.
අකුරු කියවන්නට නොහැකි තරම් කුඩා කාලයේ දී මිහිරේ කතා කියා දුන්නේ අක්කාය. මිහිරේ මුල් පිටුවේ කතාව, යෝධයා, ඔන්න බබෝ ආදී කතා අපට කට පාඩම් හිටින තුරු ඇගෙන් ඇසුවේ ඉතා ආසාවෙනි.
අකුරු කියවන්නට පුළුවන් වූ පසු රසිකයා තනිවම චිත්‍රකතා කියවන්නට පුරුදු වුණේය. ටික දවසක් ගත වූ පසු තාත්තා ඒ කතා එකතු කොට චිත්‍රකතා පොත් හැදුවේය. ඒ නිසා ඒවා අපට නැවත නැවතත් කියවන්නට හැකි විය. වසර පනහකට ආසන්න කාලයක් ගත වුවත්, ඒ චිත්‍රකතා අපට අද කියෙව්වා සේ මතක ඇත්තේ ඒ නිසාය.
සිළුමිණේ පළ කළ අහිමි දඩමං, නිවන් දක්වා ජාති දක්වා, පොඩි මාමා, පෙති ගෝමර, සක්විති සුවය, නිසංසලා ආදී කතා ද,
මිහිරේ යෝධයා, ඔන්න බබෝ කතා ද,
සතුටේ නිව්රෝ, අලිබබා සහ හොරු හතලිහ, වීර තීසියස්, මංජු, සිළිඳු, වීරෝ, කේශර, යුග තුනක්, සසර වසන තුරු,, පංචාලි, ඇලඩිනුයි පුදුම පහනයි, වීර තීසියස්, බට්ටී, රාවණ කතාව, ඇස්බැන්දුම, නිදන් දූපත, කළුනික, සාක්කිය, සුසීමා, අත්තික්කා මල්, යළි පිපුණු මලක්, කබලෙන් ලිපට, පාට පාට හීනයක්, රක්තා, නිළියකට පෙම් කළෙමි, ක්ලියෝපැට්රාය, සමීනා, දියමන්ති මාලිගය, තනි තරුව, වියරු මුහුද, කල්හාරි ආදී කතා පොත් රාශියක් රසිකයා ගේ ගෙදර තිබුණි.
තාත්තා විසින් එකතු කර ලද්දේ, ඔහු වඩාත්ම කැමති කතා බව රසිකයාට මතකය. එහෙත් සමහර කතා එකතු කළ නොහැකි වූයේ ඒවා පිටුවල දෙපැත්තේ ම පළවූ නිසාය.
චිත්‍රකතා මතකය ගෙන රසිකයා ලබන සතියෙත් හමුවෙයි.
සු.ප්‍රි. සමරසිංහ
No comments:
Post a Comment