රසිකයා -තෙවැනි දිග හැරුම
රසිකයා තුන හතර පංති වලදී පාසල් ගියේ හවස් වරුවේය. පාසලේ ඉඩකඩ මදි වූ හෙයින් පංති පැවැත්වූයේ දෙවරුවටය. ඒ නිසා මිහිර හා සතුට මුලන් ම කියවීමේ අවස්ථාව හිමි වුණේ රසිකයාට ය.
උදේ හත පමණ වන විට පත්තර සීයා පැමිණෙයි. රසිකයා ඔහු එනතුරු ගේට්ටුව ළඟ බලා සිටියි. ඔහු පමා වන දිනවල රසිකයාට ඉවසිල්ලක් නැත. පත්තර සීයාට පත්තරේ ගෙනෙන්නට අමතක වූ දවස් ද විය. කුමන හේතුවක් හෝ නිසා ඔහු නොපැමිණි දවස් ද විය. එවැනි දවසට රසිකයාට තනියම ගොස් පත්තරේ ගෙනෙන්නට නොහැකිය. කඩපොළට යාමට සැතැපුමකට වඩා වැඩි දුරක් පයින් යා යුතුය. කෙසේ වුවත් පත්තරය නම් නැති වන්නේ නැත.
රසිකයා ගේ තාත්තා පත්තර කියවන්නේ පාසල් ගොස් පැමිණ කෑම කෑමෙන් පසුවය. ඔහු පාසල් ගුරුවරයෙකි.
ගෙදර සියලු දෙනාම සවස් වන විට සතුට පත්තරය බලා අවසන් ය. සවස හයට පමණ සතුට බලන්න ගෙදරට එන කපිල අයියා රසිකයාට මතකය. ගෙවල් අසල නෑ ගෙදරක නැවතී ඉගෙන ගන්නා කපිල අයියා පිට පළාතක කෙනෙකි.
ගෙදර පැමිණි විගස සතුට පත්තරය අතට ගන්නා ඔහු, රසිකයා ගේගෙදර ඉස්තෝපුවේ ඇති කෙටි තාප්පයට උඩට නගියි. ඉන් පසු කකුල් දෙකද උඩට ගෙන, බිත්තියට හේත්තු වී එක හුස්මට පත්තරය කියවයි. ඔහු පත්තරය කියවන්නේ ඇසෙන නෑසෙන ගාණට තොල් මතුරමිනි. රසිකයා ඔහු පත්තරය කියවනවා බලන්නට කැමති හෙයින් ඔහු අසලට ම සිටියි.
චිත්රකතා පත්තර ලෝලීන් පත්තර කියවන ආකාරය රසිකයා අසා ඇත. සමහරු ගෙවල් අතර පත්තර හුවමාරු කරගෙන බලති.
රසිකයා ගේ ගෙදරට සිත්තර නොගෙනාවත්, ඒවා ඔහුට කියවන්නට ලැබෙන්නේ ඒ ආකරයටයි. රසිකයාගේ මිතුරෙකු ගේ මාමා සිත්තර පත්තරේ නොකඩවා ගෙන එකතු කරන්නෙකි. පාසල් නිවාඩු කාලයට මිතුරා ඒවා ඉල්ලාගෙන ඇවිත් කියවයි. මිතුරාගෙන් ඉල්ලා ගෙන සිත්තර චිත්රකතා පත්තර එක දිගට කියවීමේ වාසනාව රසිකයාට ලැබෙන්නේ ඒ අයුරිනි.
රසිකයා ගේ චිත්රකතා මතක සමග නැවත හමුවෙමු !
©සු.ප්රි. සමරසිංහ
No comments:
Post a Comment