Saturday, 12 August 2023

රසිකයා - සිව් වැනි දිග හැරුම



රසිකයා චිත්‍ර අඳින්නට මෙන් ම රූප අඹන්නට ද කැමතිය. රසිකයට ඒ හුරුව ලැබෙන්නට විශේෂ හේතුවක් වන්නේ රසිකයා ගේ අයියා ය. අයියා ඒ වැඩට දක්ෂය. ඔහු රූප සටහන් හා චිත්‍ර අඳිමින් පාසලේ "ක්ෂේත්‍ර සටහන් පොත්" හදන අයුරු රසිකයා බලා සිටියේ ආසාවෙනි. 

කිරින්දේ උළු ෆැක්ටරියට මැටි ගෙන යන ට්‍රැක්ටරයෙන් කිරි මැටි ඉල්ලා ගන්නා අයියා ඊට වතුර ස්වල්පයක් හා පොල් තෙල් මිශ්‍ර කර පදම් වන තුරු අනයි. ඉන් පසුව ඔහු වාහන හා සතුන් නිර්මාණය කරයි. ඒවා වේලුණු පස දිය සායමින් වර්ණ ගන්වයි. කලින් කලට නිර්මාණ වැඩි දියුණු කරන්නේ විවිධ අත්හදා බැලීම් වලිනි. රෝද කැරකෙන වාහන ද, අත් පා නටවන රූකඩ ද බිහිවන්නේ ඒ අයුරිනි. මේ සඳහා යොදා ගන්නේ පොල් ඉරටුය. අයියා පසු කලක මැටි රූප වේලා පුච්චාගන්නට උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත. 

මේ සියල්ලට ම රසිකයා සම්බන්ධ වූයෙන් ඔහුට ද ඒ පිළිබඳ මනා පුහුණුවක් ලැබීමට හැකි විය. රසිකයා වඩාත් කැමති වූයේ මිනිස් හා සත්ව රූප ඇඹීමට ය. 

රසිකයා ගේ අයියා විසින් කළ තවත් නිර්මාණ කටයුත්තක් වන්නේ චිත්‍රකතා පත්තර හැදීමය. හාෆ්ෂීට් කොළ දෙකට නවා පිටු 16 චිත්‍රකතා පත්තරයක් හදන ඔහු චිත්‍රකතා සියල්ලම තනිවම අඳියි. 

රසිකයා චිත්‍රකතා පත්තර හදන්නේ ඒ අනුව බලා හිඳීමෙනි. ඔහු හැදූ පත්තරයක නම වන්නේ "කතා සයුර"ය. එහි අඳි චිත්‍රකතා කිහිපයක් රසිකයා ගේ මතකයේ ඇත. "කළු වලස්සු", "පාට පාට මිනිස්සු", "පෙබරවාරි 29",  "බැද්ද", "චූටියා" යනු ඉන් මතකයට නැගෙන කිහිපයකි. මේ චිත්‍රකතා ඇන්දේ සතුට සහ සිත්තර පත්තරවල පළවෙන චිත්‍රකතා කියවා බලා ඒවා කොපි කිරීමෙනි.

පාසලේ බිත්ති පුවත්පතට ඇඳි කොටස් වශයෙන් පළවෙන චිත්‍රකතාව ඔහුගේ පළමුවෙනි හා එකම චිත්‍රකතාව ය. එහි නම "දඩාවත" යි. එයට ද කොටස් කිහිපයකින් නතර වුණි. 

මුද්දර හා විවිධ පුද්ගලයන් ගේ ෆොටෝ බලාගෙන මුහුණු ඇඳීමට රසිකයා යොමු වන්නේ ඉන් පසුවය. පුංචි මුද්දරයේ හෝ ජායාරූපයේ කොටු ගසා ඒ ප්‍රමාණය විශාල කොට ලොකු ඩ්‍රෝවින් කොළයක ඇඳ පැන්සලින් එළිය අඳුර මතු කරන්නට ඔහු ඉගෙන ගත්තේ තනිවමය. 

රසිකයා ගේ අත්දැකීම් සමග නැවත හමුවෙමු. 


©සු.ප්‍රි. සමරසිංහ 

No comments:

Post a Comment