Saturday, 19 August 2023

රසිකයා - පස්වැනි දිගහැරුම

 


රසිකයා ගේ තාත්තා චිත්‍රකතා පොත් හදන්නේ අමුතු විදියටය.  සිත ඇද බැද ගත් චිත්‍රකතාව  අවසාන කොටස පළ වනතුරු බලා සිටින තාත්තා නිවාඩු දිනයක් බලා සතුට පත්තර ගොඩ ඔහුගේ ඇඳ උඩට ගනියි.

පරණ පත්තර ගොඩ ගසා ඇත්තේ කලාප පිළිවෙළකටය. ඒ නිසා චිත්‍රකතාවේ කොටස් ආරම්භයේ සිට් අවසානය දක්වා වෙන්කර ගෙන එකතු කර ගනීමට පහසු වෙන්නේය. තාත්තා එසේ පිටු වෙන් කර ගන්නා විට පිටුවෙහි අනික් පැත්තේ ඇත්තේ රසිකයාගේ සිත් ගත් චිත්‍රකතාවකි. එවිට රසිකයාගේ සිතට දුකක් ඇති වන්නේය. එහෙත් ඔහුට ඒ ගැන තාත්තාට කියන්නට නොහැකිය.

චිත්‍රකතා පිටු වෙන් කර ගන්නා තාත්තා ඊළඟට කරන්නේ පිටු එක ප්‍රමාණට තිබෙන පරිදි පිටු වටේට මනාව කපා ගැනීමය. ඒ සඳහා ඔහු දිග ලී අඩි රූලක් හා කඩදාසි කපන කුඩා පිහියක් භාවිත කරයි.

චිත්‍රකතා පොතේ මුල් පිටුව ලෙස තෝරා ගන්නේ මෙතෙක් ඒ කතාව වෙනුවෙන් පළ කළ ලස්සනම මුල් පිටුවය. මේ මුල් පිටු රසිකයා ගේ සිතේ කෙටී අත්තේ ගලේ කෙටූ සිතුවමක් පරිද්දෙනි.

දැන් ඇත්තේ පොත බැඳ ගැනීමය. ඒ සඳහා ම සාදවාගෙන ඇති ලොකු ඉඳි කටුවත්, ගෝනි වල කට මැසීමට ගන්නා සුදු නූල් බෝලයෙන් නූලකුත් ගන්නා තාත්තා පැය දෙකකින් පමණ ලස්සන චිත්‍රකතා පොතක් හදා නිම කරයි.

තාත්තා ගේ මේ අත්කම් වැඩ දෙස රසිකයා බලා සිටින්නේ විස්කම් වැඩක් දෙස බලා සිටින තරම් කුතුහලයෙනි.

දවල්ට කෑමෙන් පසු ඒසේ හදා ගත් චිත්‍රකතා පොත තාත්තා  එක හුස්මට කියවා නිම කරයි. එතෙක් රසිකයා  බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ පොත තමා සතු කර ගෙන හුස්ම නාල්ලා කීයවීමට ය.

තාත්තා සිළුමිණ පත්තරේ ඇති තීරු චිත්‍රකතා කපා පොත් හදන්නේ වෙනස් ආකාරයට යි.

රසිකයා ගේ චිත්‍රකතා අත්දැකීම් සමග නැවත හමුවෙමු !


සු.ප්‍රි. සමරසිංහ

supprisamarasinghe@gmail.com

No comments:

Post a Comment