සිළුමිණ පත්තරය ඉරිදා උදෑසනම ගෙදරට ගෙනෙන්නේ පත්තර සීයාය. පත්තරය අතට ගත් ගමන් තාත්තා බලන්නේ මුල් පිටුවේ හෙඩ්ලයින් එකත් පසු පිටුවේ චිත්‍රකතා දෙකත් ය. සිළුමිණේ පසු පිටුවේ වර්ණයෙනුත් මැද පිටුවක කළු සුදු ලෙසත් චිත්‍රකතා පළ වූ බව රසිකයාට මතකය.
ඉරිදා දිනය තුලම තාත්තා සිළුමිණ පත්තරය කියවා නිම කලත් තාත්තා එහි චිත්‍රකතා කපා ගන්නේ පවුලේ අන් අයත් පත්තරය කියවා අවසන් වූ පසුවය. සමහර විට අහල පහල හිතවතකු පත්තරය ඉල්ලා ගන්නා අවස්ථාද ඇත. එවැනි දිනක නැවත අපට පත්තරය ලැබෙන්නේ සිකුරාදාට ය.
කොහොම වුනත් සෙනසුරාදා නිවාඩු දිනයදා පත්තරයේ පළ වෙන චිත්‍රකතා කපා ගැනීම තාත්තාගේ සිරිතය. චිත්‍රකතා කපා ගන්නා ඔහු ඒවා පිළිවෙළට එකතු කරයි. චිත්‍රකතාවක් පොතක ඇලවීම ආරම්භ වන්නේ එම කතාවේ අවසන කොටස පළවීමෙන් පසුවය.
චිත්‍රකතා අලවන්නට යොදා ගන්නේ පරණ රෝණියෝ කඩදාසිය. අවපැහැ වූ ඒවා ඒ4 ප්‍රමාණයට වඩා දිගින් වැඩිය. රෝණියෝ මුද්‍රණයෙන් පසු ඉවත ලන හෝ පරණ වූ මුද්‍රිත පොත් තාත්තා හිතතුගෙන් ඉල්ලාගෙන තබාගෙන සිටින්නේ චිත්‍රකතා ඇලවීම සඳහාම ය.
චිත්‍රකතා කඩදාසි වල ඇලවීම සඳහා ඊළගට අවශ්‍ය වන්නේ ගම් හෝ පාප්පය. කඩෙන් ගේන ගම් පතුරු වතුර සමග මිශ්‍රකර දියවෙන්නට හැරීමෙන් ගම් හදාගත හැකිය. පාන් පිටි උණු වතුරින් අනා පාප්ප හදා ගන්නේ ගම් නැති වූ දිනවලය.
කපා ගත් චිත්‍රකතා කොටස් කඩදාසිවල අලවා බැඳගත් විට අගනා චිත්‍රකතා පොතක් නිර්මාණය කිරීමට තාත්තාට හැකිය. මෙසේ හදාගත් චිත්‍රකතා පොත් රාශියක් තාත්තා ගේ පොත් අල්මාරියේ තිබූ බව රසිකයා සිහිපත් කරන්නේ සතුටෙන් වුවද ඒවා දැන් නොමැති වීම දුකට කාරණයකි.
දේවස්මිතා, පෙතිගෝමර, පොඩි මාමා, නිසංසලා, සක්විති සුවය ආදී චිත්‍රකතා පොත් රාශියෙන් අද ඉතිරිව ඇත්තේ අහිමි දඩමං පමණි. අනිත් පොත් අහිමි වූයේ කෙසේදැයි ඉදිරියේ දී කියන බව රසිකයා කියයි.
රසිකයා ගේ චිත්‍රකතා අත්දැකීම් සමග නැවත හමුවෙමු.
©සු.ප්‍රි. සමරසිංහ
No comments:
Post a Comment