Friday, 25 August 2023

චිත්‍රකතා මිත්‍රයා -හය වැනි දිග හැරුම



සතුටේ චිත්‍රකතා හරි ඉහළයි

"රසිකට මතකෙයි ඉස්කෝලෙ මහත්තය කිව්ව සතුටෙ චිත්‍රකතා හරි ඉහළයි කියල"

චිත්‍රසිරි එහෙම ඇහුවෙ මධුර පත්තරේ කියවල ඉවර වෙලා.

"චිත්‍රසිරි කියන්නෙ ඒක වැරදියි කියලද ...?"

"නෑ මාත් කියන්නෙ හරියි කියල"

"එහෙනම් කියන්නකො එහෙම කියන්නෙ ඇයි කියල"

"සතුටෙ පළවෙච්ච චිත්‍රකතා ටික මතක් කළාම ඒක තේරෙනවනෙ."

"එතකොට මධුරෙ චිත්‍රකතා කොහොමෙයි. හොඳ නැතෙයි."

"මං එහෙම හිතන්නෙ නෑ. හැබැයි හැම කතාවක්ම හොඳ නෑ"

ඒක ටිකක් හිතන්න ඕන කාරණයක්. මොකද එක එක එක්කෙනා කැමති අකමැති විදිය වෙනස් නිසා.

සතුට මංගල කලාපයේ කතා

"සතුට මංගල කලාපයේ කතා ටික වුණත් කොච්චර ලස්සනද" එහෙම කියා ගෙන තාත්තා ඉස්තෝපුවට ආවේ පැට්‍රෝල්මැක්ස් ලාම්පුව පත්තු කරල එල්ලන්න.

"මට මතක විදියට අනුර විජේවර්ධනගෙ රත්තරං ඉල්ලම, අළු යට ගිනි,  ගුණපාල හේමචන්ද්‍රගෙ කළුවරින් ආ මනාලිය, වික්‍රම ඇන්ද චිත්‍ර ශිල්පියා හා පරණ පාන්, ඩී.කේ.සිරිපාලගෙ සිලිඳු, රන්වන් අක්කා"

චිත්‍රසිරි කට පාඩමින් වගේ චිත්‍රකතාවල නම් කියාගෙන යනව. මට එච්චර මතක නැති වුණාට මතක් කරගෙන කියන්න පුළුවන්. 

"මාත් කියන්නෙයි ඉතුරු ටික"

"එස්.එම්. ජයසේකරගෙ අඳුරු සෙවනැලි,    

වික්‍රම ගෙ ආදරය තුළ ආදරයක්, නන්ද දසනායකගෙ ගෝනුස්සෝ, එස්. ගුණසේකරගෙ ලෝකය ? ක්‍රිස්තු වර්ෂ 30,000"

"ඇයි ජී. සමරසිංහ ගෙ මන්ඩු"

"චිත්‍රසිරිට කතා කියවලම කට පාඩම් වගෙයි. ඉස්කෝලෙ පාඩම් වැඩත් එහෙම මතක තියා ගන්නවනම් හොඳයි" තාත්ත එහෙම කියාගෙන ගෙට ගියා.

ලෝපතල කෙටිකතා කෙටියෙන්

සමහර චිත්‍රකතා නිසා මං පොත් කියවන්න හුරු වුණා කියල කලිනුත් කිව්ව මතකයි. මේ තමයි එයින් කතා එකක් දෙකක්.

"චිත්‍ර ශිල්පියා හා පරණ පාන්" ඕ හෙන්රි කියන ලේඛකයගේ කෙටි කතාවක්, "නරක කලට දෙවියොත් අහක බලති" කියන්නෙ ලියෝ ටෝලස්ටෝයි ගේ කතාවක්. කොටස් දෙකකින් ඇඳළ තිබුණෙ."දීලත් බෑ නොදීත් බෑ" ඇල්බර්ටෝ මොරොවියාගේ කෙටිකතාවක්.

නවකතා චිත්‍රකතාවට

"සතුට මුල් කාලෙම නවකතා දෙකක් චිත්‍රකතා විදියට ඇන්ද රසිකට මතකෙයි"

"ඔව්. ගුණපාල ජයලත්ගෙ වීර කේතු කතාව. ඒක  ගුණදාස පෙරේරාගෙ සෙනෙවි පදවිය කියන  නවකතාවෙන් තමයි  උපාලි පෙරේරා ලිව්වෙ."

"සිලිඳු කතාව ලෙනාඩ් වුල්ෆ්ගෙ විලේජ් ඉන් ද ජංගල් කියන නවකතාවෙන් තමයි ඩී.කේ.සිරිපාල ඇන්දෙ. සිංහල පරිවර්තනය තමයි බැද්දේගම"

අරාබි නිසොල්ලාසයෙන්

"මං ඒ කතා ඔක්කොටම ආසයි"

"මාත් ඔක්කොටම ආසයි."

"වික්‍රම අලි බබයි හොරු හතළිහයි ඇන්දෙ 

අරාබි නිසොල්ලාසයෙන් නේද"

එක දවසේ කතා

"අපි එදා කිව්ව ගල්දෙණිය නැතිනම් ගුණපාල ජයලත් කොච්චර ලස්සන එක දවසේ කතා ඇන්දද"

"ගැටේට ගැටේ, එකට එක, මනුස්සකම, ගහටත් නෑ ගෙඩියටත් නෑ, බැරිම තැන, සර්ගයට පාර, දෙවියන්ටත් ජුවල් ගිහින් වගේ කතා එක දවසෙ කතා ගොඩක් ඇන්ද"

දේවකතා

"ග්‍රීක දේවකතා වලිනුත් ගුණපාල ජයලත් කතා ඇන්ද. ප්‍රොමිතියස්, හර්මිස් එයින් දෙකක්."

"ඔය ගොඩක් කතා සතුට පටන් ගන්න කොට හිටිය කර්තෘතුමා තමයි සකස් කරල තියෙන්නෙ."

"ඔව් බන්ධුල සමරසිංහ මහත්තය"

"එතුමා සතුට මංගල කලාපෙ කතුවැකියෙත් කියල තිබුණනේ ඒක"

"මොකක්ද"

"විනෝද කතා මෙන්ම ගැඹුරු සාහිත්‍යයද ඉතා ලිහිල්ව එසේම සතුට මුල් කොට ගෙන චිත්‍ර කතා මගින් ඉදිරිපත් කරමු කියල"

"ඒ නිසා තමයි ජනප්‍රිය කතා, විනෝද කතා වගේම සාහිත්‍ය පොතපතින් කෙටිකතා, ජනකතා, දේවකතා තෝරා ගන්න ඇත්තෙ"

එහෙම බලනකොට සතුටෙ චිත්‍රකතා හරිම ඉහළයි කියපු කතාව හරි. 

"මං කැමති සරත් මධුගෙ නිව්රෝ අනුර විජේවර්ධනගෙ මේඝ වගේ වීර කතා වලට" අයිය අපේ කතා බහ අහන් ඉන්නැති. එහෙම අහගෙන ඉදල අපේ කතා බහට එකතු වෙන්න තාප්පෙ උඩට ආවෙ හුඟ දවසකට පස්සෙ.

අයිය කැමති කතා වගේ ජනප්‍රිය වුණු චිත්‍රකතා බොහොමයක් සතුට පත්තරේ තිබුණ. 

සතුටේ ජනප්‍රිය චිත්‍රකතා මීළඟට....



©සුප්‍රි සමරසිංහ 

No comments:

Post a Comment