[ ] අලුත් දහම් පාසල
අද ඉරිදා ය.
අලුත් වසරේ පාසල් ආරම්භ වීමෙන් පසු අද දහම් පාසල් ද ආරම්භ වෙයි.
මෙතෙක් අප දහම් පාසැල් ගියේ කළින් සිටි ප්‍රදේශයේ එනම් කිරින්දේ දහම් පාසලකට ය. නැවත එහි යාමට වඩා ගමේ දහම් පාසලට යාම පහසු හෙයින් තාත්තා අද අප එක්කගෙන ගොස් ගමේ පන්සලේ දහම් පාසලට ඇතුළත් කළේය. පන්සල පිහිටියේ අපේ ගෙදරට සැතපුම් කාලකටත් වඩා අඩු දුරකිනි. වෙල් යායේ නියර දිගේ යන්නේ නම් විනාඩි කිහිපයකින් යා හැකිය. අපේ ගෙදර පන්සලේ බෝධියත් වෙහෙරත් පෙනෙයි.
අලුත් දහම් පාසකට යාම අපට සතුටකි. වඩාත් මා සතුටු වූයේ අලුත් මිතුරන් අතර චිත්රසිරි ද සිටීමය. අප දහම් පාසල් ඇරී ගෙදර එනවිට දවල් එකොළහමාර විය. දහම් පාසලේ දී චිත්රසිරිටත් මටත් චිත්‍රකතා ගැන කතා කරන්නට ඉඩක් ලැබුණේ නැත. ඔහු නැවත අපේ ගෙදර එන්නේ ලබන අඟහරුවාදා ය. එහෙත් ඔහු දුටු විට ගිය සතියේ තාත්තා සතුටෙහි චිත්‍රකතා ගැන ඇසූ දේවල් මට මතක් විය.
[ ] ඉරිදා පත්තර
තාත්තා ඉරිදා උදෙන් ම කඩයට ගොස් සිළුමිණ පත්තරය ගෙන එයි. ඔහු ඉගෙන ගන්නා කාලයේ සිට ම සිළුමිණ කියෙව් බව අපට කියා ඇත.
සිළුමිණෙහි චිත්‍රකතා කිහිපයක් පළවෙයි. ඒ අවසන් පිටුවෙහි වර්ණයෙන් කතාවකුත් -කළු සුදු කතාවකුත් ඇතුල් පිටුවක කළු සුදු කතාවක් ලෙසය. පෙති ගෝමර, නිසංසලා, සක්විති සුවය, වෙද හාමුදුරුවෝ එහෙම පළ වූ චිත්‍රකතා ය.
රිවිරැස පත්තරේ පළ කළ කාලෙ නම් හිතවත් ගෙදරකින් ඒ පත්තරේ ද ඉල්ලාගෙන කියවූ හැටි ද මතකයට එයි. ලංකාදීප පත්තරය ගැන සිද්ධි ද තාත්තා ඉඳහිට කියයි. ඉරිදා පත්තරවල පළවූ චිත්‍රකතාවල ඇත්තේ වෙනම ම රසයකි.
[ ] පරණ පත්තර පෙරලීම
දවල් කෑමෙන් පසු තාත්තා ටික වේලාවක් පොතක් කියවා කෙටි නින්දකට වැටීම සිරිතය. මම ද කෑමෙන් පසු තාත්තාගේ පරණ පත්තර ගොඩ පෙරළා බලන්නට තීරණය කළෙමි. අප පත්තර කියවනවාට තාත්තා කැමති නමුත්, පත්තර ගොඩ අවුස්සා දමනවාට කැමැති නැත.
කිහිප සැරයක් කියවා තිබූ සතුට පත්තර නැවත සැරයක් හොඳින් කියවා බලන්නේ තාත්තා එදා ඇසූ ප්රශ්නය ද හිතේ තියා ගෙනය.
"ඔය ළමයි දන්නවද වසන්ත කියල "අළු යට ගිනි" ඇන්දෙ කවුද කියල. තව ගමගේ කියල කෙනෙකුත් ගල්දෙණිය කියල කෙනෙකුත් කතා ඇන්ද."
"ඇත්ත නේන්නම්. මේ තියෙන්නෙ. අපි මීට ඉස්සර මේ කතා කියවද්දී මේ ගැන එච්චර හිතුවෙ නැතුව ඇති. නැත්නම් අපි ඒ ගැන හොයන්න බලන්න ඕනනෙ. නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනනෙ....ඇයි එහෙම වෙනත් නම් වලින් අඳින්න ඇත්තෙ ? දැන්නම් මේ චිත්‍ර අකුරු දැක්ක ගමන්ම කියන්න පුළුවන් කාගෙද කියල"
ඒ මට හිතෙන හැටිය. චිත්රසිරි නම් මේ ගැන දැනගෙන ඉන්නවා ඇති. බලමු අඟහරුවාදා ආවම.
[ ] තාත්තා ගේ පත්තර එකතු කිරිල්ල
"මෙකද මේ පොඩි ළමය මගේ පත්තර ටික ඇද ගෙන"
ගෙදර අය මට කියන්නේ පොඩි ළමය නැත්නම් පොඩි පුතා කියාය. මල්ලිලා කියන්නේ පොඩි අයියා කියාය. අක්කා සහ අයියා කතා කරන්නේ ලොකු මල්ලී කියාය. ගමේ අයට පොඩි මල්ලි, පොඩි මහත්තයා ය. යාළුවන්ට රසිකයා ය.
"පරණ සතුට පත්තර ටික බැලුව."
"බැලුවට කමක් නෑ ඇදල එහේ මෙහේ දාන්නෙ නෑ. ඕව මං කොච්චර අමාරුවෙන්ද එකතු කළේ."
තාත්තා ඉස්සර දේවල් මතක් කරන්නෙ උජාරුවෙන්ය. තාත්තා ඉගෙන ගන්න කාලෙ එකතු කරපු පත්තර සඟරා ද තවම කාඩ්බෝඩ් පෙට්ටිවල අහුරා ඇත.
තාත්තා ඉගෙන ගන්න කාලේ හිටියේ රත්මලානේය. ඒ තාත්තා ගේ වැඩිමල් සහෝදරයා ළඟය. ඒ කාලෙ පත්තර ගන්න සල්ලි නැති නිසා ඒ අසල පත්තරය ගන්න තේ කඩයක් ළඟට ගොස් පත්තර කියෙව් හැටිත්, සිළුමිණේ අතිරේකය ඉල්ලගන්නට හවස කඩය වහනතුරු හිටිය හැටිත් තාත්තා නිතර කියන කතාවකි. ඔහු ඒ කතා කියා ආස්වාදයක් ලබයි
"ඒ කාලෙ සිළුමිණ පත්තරේට කිව්වෙ සත දහයේ විශ්වවිද්‍යාලය කියල. ඒකෙ හොඳ ලිපි පළවුණා. අතිරේකය තමයි හොඳටම වටින්නෙ. ඒක ඉල්ල ගන්න තමයි ඉරිදට කඩේ වහන වෙලාව එනකං ඉන්නෙ. එහෙම එකතු කරපු අතිරේක තමයි ඔය බැඳළ එකතු කරල තියෙන්න"
මරුසිරා ගැන ධර්මසිරි ගමගේ මහත්තය ලියූ ලිපි පෙළ ද, නීල් ආංස්ට්රෝං හඳට ගියපු විස්තර ගැන ලියපු ලිපි ද, නොබැඳි ජාතීන් ගේ සමුළුව ලංකාවේ පැවැත්තුණු හැටි ගැන පළ කළ ලිපිද තාත්තා ගේ පත්තර ලිපි එකතුවේ ඇත.
සතුටෙහි චිත්‍රකතා ගැන චිත්රසිරි සමග කළ තවත් කතා බහ ...මීළඟට
©සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment