චිත්‍රකතා මිත්‍රයා - තෙවැනි දිග හැරුම
[ ] නව පාසල් වාරය
නව පාසල් වාරය ආරම්භ විය.
මට නැවත පාසලේ දී චිත්‍රසිරි මුණගැහෙන්නේ නැත. මා යන්නේ මාතර පාසලකට ය. ඔහු යන්නේ ගමේ මහ විදුහලට යි.
එහෙත් මට ඔහු හැම අඟහරුවාදාක ම සවස මුණගැසෙයි. ඒ මධුර පත්තරය බලන්නට චිත්‍රසිරි අපේ ගෙදර එන්නට පුරුදු වූ නිසාය.
මා මාතර සිට පාසල් බසයෙන් පැමිණ තවත් සැතපුම් දෙකක් ගෙවාගෙන ගෙදර එන්නේ බයිසිකලයෙනි. එවිට වෙලාව සවස දෙක හමාර හෝ තුන පමණ වෙයි. එසේ ආ සැනින් මා ඇඳුම් පිටින්ම පත්තරය උඩින් පල්ලෙන් පෙරලා බලන්නේ බත් කා පසුව කියවන්නට සිතා ගෙනය.
[ ] පවුලේ රසාස්වාදය
සාමාන්‍ය පෙළ විභාගයට ලියා ගෙදර සිටින අයියාත්, පාසල් ගොස් ගෙදර පැමිණි තාත්තාත් ඒ වන විට පත්තරය බලා අවසන්ය. තාත්තා යන පාසලට ම යන මල්ලිලා දෙන්නාත් අක්කාත් මධුර පත්තරය කියවන්නේ නිවාඩු පාඩුවේය. මට තරම් නොඉවසිල්ලක් ඔවුන්ට නැත. මල්ලිලා සඳුදා ගන්නා මිහිර පත්තරය තවම කියවා ඉවර නැත. අක්කා පත්තරය කියවන්නේ අම්මාට උයන්නට උදව් කර අවසන් වීමෙන් පසුය. අම්මා එච්චර උනන්දුවක් දැක්වූයේ නැතත් උදය කාලයේ මිහිරත් මධුරත් කියවනවා ඇති.
අපේ මේ කියවීම මිහිරෙනුත් මධුරෙනුත් අවසන් වන්නේ නැත. තාත්තා ඉරිදාට ගන්නා සිළුමිණත් එයට එක්වෙයි. ඒ විතරක් නෙවෙයි තාත්තා ගේ පොත් අල්මාරියේ ඇති පොත් ද අපට කියවීම හුරු කළ සම්පතකි.
[ ] චිත්‍රසිරි ගේ පුරුද්ද
චිත්‍රසිරි සවස පහ පමණ වන විට අපේ ගෙදර එයි. මධුර පත්තරය ගෙන ඉස්තෝපුවේ කෙටි තාප්පය උඩට වෙන ඔහු තොල් මතුරමින් පත්තරය කියවයි. ඔහු පත්තරය කියවන්නේ තොල් මතුරමින් බව මා දැන ගත්තේ පසුගිය දිනකය. ඊට පෙර මට එය දැනී තිබුණේ නැත. එහෙත් එයින් කාටවත් කරදරයක් නොවෙයි. එය කෙනෙකුට බලා සිටින්නට හිතෙන තරම් හිත් ගන්නා පුරුද්දකි.
චිත්‍රසිරි මේ අයුරින් පැය බාගයක් පමණ වන විට මුළු පත්තරය ම කියවා ඉවර වෙයි. නැතිනම් අඳුර වැටෙන්නට පෙර කොහොම හරි කියවා ඉවර කරන්නට උත්සාහ කරනවා විය යුතුය.
[ ] පස් පෙති මල
තාත්තා පත්තු කළ පැට්‍රොල්මැක්ස් ලාම්පුව සතුටින් එළිය විහිදුවයි. ඒ වෙන කොට චිත්‍රසිරි පත්තරය කියවා ඉවරය.
"රසිකට මතකෙයි සතුටෙ මුල් කාලෙ පළවෙච්ච චිත්‍රකතා ?" ඔහු අතීතය හාරා අවුස්සනට ලෑස්ති වෙයි.
"ඔව් තාත්ත මුල් පත්තරේ ඉදළ එකතු කරල තිබුණනෙ"
"මතකෙයි මුල් පත්තරේ " ඔහු ඒ ගැන මගෙන් අහන්නෙ ඔහුට ඒ ගැන අමතක නිසා නෙවෙයි. කතාවට අල්ලා ගන්නටය. චිත්‍රසිරි චිත්‍රකතා ගැන මට වඩා හොඳින් දන්නා බව සහතිකයි.
"නැතුව. පෙති පහක මලක්නෙ මුල් පිටුව ඇඳල තිබුණෙ අනුර විජේවර්ධන. ඒ පස් පෙති මලින් කියවුණේ සතුටේ මුල් කාලේ පළ වෙච්ච චිත්‍රකතා පහක් කියල මතකයි."
"හොඳයි ඉතින් මතකෙයි ඒ චිත්‍රකතා පහ"
"මට හරියට මතක නෑ. චිත්‍රසිරිට මතකෙයි"
"නැතුව. ඔන්න අහගන්න. සිළිඳු , ගෝනුස්සෝ, අළු යට ගිනි, ලෝකය ක්‍රි.ව. 30,000, සැණකෙළිය. ඒ විතරක්ය නටුවෙ මංගල පියවර කියල ලියල තිබුණ. මල් නටුවෙ කොළේක -1972 අගෝස්තු 29, 1 කාණ්ඩය අංක 1, මිල ශත 50- කියල තිබුණ."
"චිත්‍රසිරිට ඔක්කොම මතකයි නේ. සතුට පත්තරේ උපදින කොට ඔය ළමයිගෙ වයස අවුරුදු හතරක් විතර ඇති"
තාත්තා ඉස්තෝපුවට ආවෙ එහෙම කියාගෙන.
"අර පස් පෙති මලේ චිත්‍රකතා පහේ නම් මුල් පිටුවෙ යට කළු පාට මලක තිබුණ කියලත් මතක ඇතිනේ." තාත්තා තවත් දේවල් මතක් කරල දුන්න.
"ඔය ළමයි දන්නවද වසන්ත කියල "අළු යට ගිනි" ඇන්දෙ කවුද කියල. තව ගමගේ කියල කෙනෙකුත් ගල්දෙණිය කියල කෙනෙකුත් කතා ඇන්ද."
තාත්තා ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් පරණ පත්තර අවුස්සන ඕන වෙයි. දැන් චිත්‍රසිරි ට ගෙදර යන්න වෙලාව හරි බව පෙනෙයි. ඒ නිසා මේ ගැන කතා බහ කරන්නට වෙන්නේ ලබන සතියේ අඟහරුවාදා දවසටය.
[ ] සතුටෙහි චිත්‍රකතා ගැන තවත් කතා ...මීළඟට
©සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment