Saturday 29 July 2023

චිත්‍රකතා මිත්‍රයා-දෙවැනි දිග හැරුම



[  ] චිත්‍රසිරි ගේ පත්තර කියවිල්ල

උදේ වරුවේ අපට ගෙයි බඩු මුට්ටු අස්පස් කරන්නට  බෙහෙවින් උදව් උපකාර කළ චිත්‍රසිරි නැවත හවස් වරුවේ අපේ ගෙදර ආවේ මධුර පත්තරේ කියවන්නට ය.

කොතරම් අස්පස් කළත් තවමත් ගෙයි මේස පුටු පිළිවෙළකට නැත. වාඩි වෙන්නට තැනක් බලා පත්තරය අතට ගත් චිත්‍රසිරි ඉස්තෝපුවට ආවේ ගෙයි සාලය අඳුරු වූ නිසාය. අවට මහ ගස් වල හෙවණ වැටීමෙන් ගෙතුළට වේලාසනින් ම අඳුර ගලා එයි. ඒ අඳුරු ගතිය නිසා සාලයේ හිඳ පත්තරේ  කියවන්නට අමාරුය.

"ෂා මේ තියෙන්නෙ නියම තැනක්." 

චිත්‍රසිරි ඉස්තෝපුවේ කෙටි බිත්තියට පැන, කෙළවරක බිත්තියට හාන්සි වී, ඉස්පාසුවක් නැතිව මධුර පත්තරේ කියවන්නට පටන් ගත්තේය. මාද පසු ගිය කාලයේ ගෙයි වැඩවලට උදව් වෙන්නට ආ දවස්වල පොත් කියව්වේද මේ කෙටි බිත්තියේ වාඩි වෙලාය. 

"මෙන්න චිත්‍රසිරි ළමයට තේ එකක්" 

අම්මා චිත්‍රසිරිට තේකක් ගෙනාවාය.

"මේ ළමය අපිට උදේ සෑහෙන්න උදව් කළානෙ. කොහොමෙයි අම්මල තාත්තාල. සනීපෙන්ය."

"ඔව් නැන්දේ" චිත්‍රසිරි පත්තරේ කියවන විට වැඩිය කතා බහ කරන්නට කැමති නැතුවා වගේය. තේක ගෙන කෙටි බිත්තිය උඩ පසෙකින් තැබූ  ඔහු පත්තරේ කියවන්නේ එක හුස්මටය කීවාට වරදක් නැත. ඒ තරම් ඔහු පත්තරේට වහ වැටිලාය.

[  ] පැට්‍රොල්මැක්ස් එළිය 

ඉස්තෝපුවට ද අඳුර වැඩුණු නිසා තාත්තා පැට්‍රොල්මැක්ස් ලාම්පුව පත්තු කරන්නට සූදානම් වෙයි. කළින් ගෙදරට ලයිට් තිබුණත් අපේ අලුත් ගෙදරට තවම ලයිට් නැත. ඊට හේතුව මේ පළාතට තවම විදුලි බලය ලබා දී නොතිබීමය. කළින් පාවිච්චි කළ පරණ පැට්‍රොල්මැක්ස් ලාම්පුව තාත්තා රෙපයාර් කරගෙන ආවේ ඒ නිසාය. ගෙයි වැඩ කරන දවස්වල පත්තු කළේද මේ ලාම්පුවය. තාත්තා පැට්‍රොල්මැක්ස් ලාම්පුව පතුකරනවා බලන්න ආසය. ලාම්පුවේ පහළ ගෙඩියට ලාම්පු තෙල් වක්කර තාත්තා උවමනා ගානට හුළං ගසයි. ඉන්පසු මැන්ටලයට ගිනි අවුලයි. ගිනි ඇවුලුණු මැන්ටලය සුදු පාටින් මුළු පළාතටම  එළිය දෙන්නේ යන්තමින් සූ හඩක් පිටකරමිනි. රවුම් හැඩයට වීදුරු පටියෙන් හැදූ චිමිනිය ඒ එළිය වටේටම ලබා දෙන්නේ අඩුවක් නැතුවය. 

[  ] සතුට ද මධුර ද
"රසික දන්නවයි සතුට මධුර වෙන්න හේතුව."
චිත්‍රසිරි පත්තරය කියවා ඉවර වෙලා නිවුණු තේක බොන ගමන් ඇහුව. 

"හරියටම දන්නෑ. තාත්තා කිව්වෙ මොකක් හරි නමේ ප්‍රශ්නයක් කියල. හැබැයි මධුර බැලුවම තේරෙනව ඊට වැඩි දෙයක් තියෙනව කියල"

"හරියට හරි රසික. නමේ ප්‍රශ්නෙකට නම වෙනස් කෙරුවනම් සතුටෙ හිටපු කට්ටියම මධුරෙත් ඉන්න එපයි. කීප දෙනෙක් වෙන පත්තර වලට ගිහින්ය කියල කියනව" චිත්‍රසිරි එහෙම කිව්වෙ කාරණා කාරණා දන්න විදියට.

"චිත්‍රසිරි කොහොමෙයි ඔය විස්තර දන්නෙ"

"සැලුන් එකේ රංගයිය කිව්වෙ. මං එතනින්නෙ සිත්තරයි සුහදයි බලන්නෙ."

රංග සැලුන් එක තියෙන්නේ කඩ පොළේය. කඩපොළට සැතැම්ම දෙකක් යායුතුය. බස්සෙකක් තියෙන්නේ සැරින් සැරේටය. බයිසිකලෙන් හරි පයින් හරි යන එක ලේසිය.

"මටත් ආසයි චිත්‍රසිරි ඒ පත්තර බලන්න"

"රංගයිය පත්තර එකතු කරනව. අපි රංගයියගෙන් ඒ පත්තර ටික ඉල්ලගෙන නිවාඩු කාලෙදි කියවමු." 

එය හොඳ අදහසකි. තාත්තා ගෙදරට ගේන්නේ මිහිරත්, කලින් සතුටත් දැන් මධුරත්, ඉරිදාට සිළුමිණත් විතරය. 

"චිත්‍රසිරි සතුට කියෙව්වෙ කොහොමෙයි"

"තාත්තා සතුට ගෙනාව. හැබැයි සතුට මධුර වුනාට පස්සෙ ගන්නෑ කියල තමයි කිව්වෙ."

"ඒ මොකෝ. මධුර හොඳ නැතෙයි."

"දන්නෑ"

"චිත්‍රසිරි මොකෝ කියන්නෙ"

"ඉස්සරහට බලන්නෝන හොඳද කියල"

"ළමයින්නේ දැන් රෑ වෙලා. පොතේ පතේ වැඩක් බලාගත්තොත් හොඳයි. ලබන සුමානෙ ඉස්කෝලෙ පටන් ගන්නවනෙ" 
ඒ තාත්තා ය. ඔහු ගේ ඇතුළේ සිට ඉස්කෝලෙ වැඩක යෙදෙයි. තාත්තා ගුරුවරයෙකි. ඔහු උගන්නන්නේ චිත්‍රසිරි යන්නට ඉන්න මහ විද්‍යාලයේය.

[  ] සතුට ගැන කතා බහ ...මී ළඟට


©සුප්‍රි සමරසිංහ 

No comments:

Post a Comment