Wednesday 12 July 2023

චිත්‍රකතා මිත්‍රයා - පළමු දිගහැරුම

 චිත්‍රකතා මිත්‍රයා -1



සතුටු කාරණා දෙකක්

එදා දවස 1980 ජනවාරි පළමු වැනිදා ය. 

එදින අපට විශේෂ සතුටුදායක දවසකි. ඊට කරුණු දෙකක් හේතු විය. අප අලුත් නිවසකට යෑම ඉන් එක් කරුණකි. අප මෙතෙක් පදිංචිව සිටියේ කුලී නිවසකය. හදිසි දැනුම් දීමකින් පසු අපට එම නිවස අයිතිකරුට බාර දීමට සිදුවිය.  එබැවින් අපට  ජනවාරි පළමු වැනි දා අලුත් නිවසකට යෑමට සිදුවිය. 

අප වඩාත් සතුටු වූයේ අප අපේම නිවසකට යන නිසාය. පසුගිය වසරේ ඉඩමක් මිළදී ගත් තාත්තා එහි නිවසක් තැනීම ආරම්භ කර තිබුණේය. මේ වෙන විට එහි පදිංචි වීමට සුදුසු 
තරමට වැඩ අවසන් කර තිබීම වාසියක් විය. ඒ නිසා හදිසි දැනුම් දීමෙන් පසු වුව අපේම අලුත් නිවසකට යාම අපට හැකි විය. 

මෙදින අප බලාපොරොත්තුව සිටි තවත් විශේෂ දෙයක් සිදුවිය. ඒ අලුත් චිත්‍රකතා පත්තරයක් නිකුත් කිරීමය. අප මෙතෙක් මිල දී ගෙන කියවූ 
චිත්‍රකතා පත්තරය වෙනුවට අලුත් පත්තරයක් එන බව ආරංචි වුණේ සති දෙකකට පමණ පෙරය. 

සතුට වෙනුවට මධුර 

"සතුට" වෙනුවට "මධුර" ආවේ එහෙමය. 

වෙනදා වගේම උදෙන්ම පත්තරය අප ලැබුණේ "පත්තර සීයා" ගෙනි. වසර කිහිපයක් නොකඩවා පත්තර ගෙන ආ පත්තර සීයා අපට ගෙනා අවසන් පත්තරය එයයි. අප වෙනත් ප්‍රදේශයට යන බැවින් මින් පසු ඔහුගෙන් පත්තර  ගෙන්වා ගන්නට නොහැකිය. දිනපතා  පත්තර ගේන්නට කඩේට යන ඔහු අපට පත්තර ගෙන ආවේ හිතවත් කමටය. තාත්තා කළේ පත්තර වලට සල්ලි බැඳීම පමණකි. අද සිතෙන්නේ "පත්තර සීයා" යනු අපේ ජීවිත වලට යහපත් බලපෑමක් කළ විශේෂ මිනිසකු ලෙසය.

පාසල් මිත්‍රයා

අප මෙතෙක් සිටි කුලී නිවස පිහිටියේ (මාතර) කිරින්ද නගරයට ආසන්නවය. අප පාසල් ගිය කනිෂ්ඨ විද්‍යාලය පිහිටියේ එම නිවසේ සිට සැතපුම් කාලක් පමණ දුරින්ය. එනිසා අපට පාසලට පයින් යෑමට හැකි විය. අයියාත්, අක්කාත්, මල්ලිලා දෙන්නාත් පාසල් ගියේ ද මේ  කනිෂ්ඨ විද්‍යාලයටම ය.

මා දැන් සමත් වී සිටින්නේ හයේ පංතියටය. පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා මට මාතර පාසලකට  යෑමට අවස්ථාව ලැබුණේය. එහෙයින් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකුට  මට සමුදෙන්නට සිදුවිය.

ඒ අතරින් එක් මිතුරෙකු යළිත් හමු වීම අද දවසේ සතුටු විය හැකි තවත් කාරණයකි.
ඔහුගේ නම "චිත්‍ර" ය. චිත්‍ර කීවාට සම්පූර්ණ නම චිත්‍රසිරිය. ඔහුත් මමත් පාසලේ හෝඩියේ සිට පස් වැන්න දක්වා ඉගෙන ගත්තේ එකටය. ඔහුගේ ගම පිහිටියේ  පාසලේ සිට සැතපුම් දෙකක් පමණ දුරිනි. ඔහු පාසලට ආවේ බසයෙනි. ඔහු කිහිප දිනක් අපේ ගෙදර ආවත් මා කිසි දිනක ඔහුගේ ගෙදර ගොස් නැත.

මේ වසරේ මුල් පාසල් වාරය ආරම්භ වූ පසු චිත්‍ර එක පාසලකට ද මා වෙනත් පාසලකට යනු ඇත.
එහෙත් අද අප පදිංචියට යන අපේ ගෙදර පිහිටියේ ඔහුගේ ගෙවල් කිට්ටුවමය. මින් පසු මට ඔහුගේ ගෙදරට යන්නටද ඔහුට අපේ ගෙදරට එන්නටද හැකිවනු ඇත.

මධුරෙන් ලැබූ සතුට

ගෙයි බඩු මිට්ටු පිළිවෙළකට තබන අතරතුර මා කිහිප සැරයක් මධුර පත්තරය පෙරළා බැලුවේය. මගේ සිතට දැනුණේ සතුටක් නොව දුකකි. සතුට පත්තරයේ චිත්‍රකතා ඇඳි සිත්තරුන් කිහිප දෙනෙකුම එහි නැත. සමහර කතා අඳින්නේ වෙනත් සිත්තරුන්ය. ඒත් දැන් ඒ ගැන සිතන්නට වෙලාවක් නැත. 

චිත්‍ර අපේ ගෙදර ආවේ මේ වෙලාවේය.

"මට ආරංචි වුණා රසිකල අද අලුත් ගෙදරට එනව කියල. ඒකයි මං ආවෙ. මොනව හරි උදව්වක් කරන්න තියේද බලන්න."

"කොච්චර දෙයක් ද. චිත්‍රලයි ගෙවල් තියෙන්නෙ මේ කිට්ටුවෙයි."

"ඔව්. තාර පාරෙන් උඩහ ගෙවල් තියෙන්නෙ"

ඒ වෙලාවෙ මධුර පත්තරය මගේ අතේ තිබුණේය.

"ෂා. ඔය ගොල්ලො මධුර පත්තරේ ගත්තයි."

එය රසික-චිත්‍ර අතර මිත්‍රත්වය හා රසිකත්වය වෙනස් ආකාරයකින් ආරම්භ වීමේ  මොහොත විය.

රසිකත්වය හා මිත්‍රත්වය ගොඩ නැගුණේ කොහොමද ? 

"චිත්‍රකතා මිත්‍රයා" මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න ! 


සුප්‍රි සමරසිංහ 
2023.07.09

No comments:

Post a Comment