Saturday 29 July 2023

පත්තර කොලම- දෙවැනි දිගහැරුම

 පත්තර කොලම දෙවැනි දිගහැරුම

 

පුවත්පතක හැඩරුව-මුල් පිටුව
---------------------------------------------------

පුවත්පතක මුල් පිටුව මුහුණයි. එහි ඇතුළු පිටු හදවතයි. සතුට, දුක, වේදනාව, බලාපොරොත්තුව යන සංවේදනාවන් මේ හදවතේ පවතී. එය සමාජයේ කැඩපතකි. පුළුල් ලෙස ගතහොත් ජනමාධ්‍ය යනු පවතින සමාජයේ හරස් කැපුමකි.

එක් එක් පුවත්පතට අනන්‍ය වූ හැඩරුවක් හිමිය. පුවත්පතක මුල් පිටුව සුවිශේෂය. එය මිනිසෙකුගේ මුහුණ බඳුය. පුවත්පතක් අප පළමුවෙන්ම හඳුනා ගන්නේ මුල් පිටුවෙනි. එයට අන්න්‍ය වූ මුහුණුවරක් ලබා දෙන්නේ ද මුල් පිටුවයි.

1. නාම පළකය (Name Plate)

මුල් පිටුවේ ඉහලින් ම දැක්වෙන්නේ පුවත්පතක නාමයයි. (සන්නිවේදන ශබ්දාකරය, සිනන්ද මහේන්ද්‍ර). එය නාම පළකය නමින් හැඳින්වේ. එක් එක් පුවත්පතට අනන්‍ය වූ නාම පළක ඇත. පුවත්පතකට නමක් තෝරා ගැනීමේ දී මීට පෙර පළ නොවූ ආකර්ෂණීය අර්ථවත් මෙන්ම සුබ නමක් තෝරා හැනීම සම්ප්‍රදායයි. නාම පළකය විවිධ හෝතු නිසා වරින් වර වෙනස් වී ඇති බව පුවත්පත් ඉතිහාසය විමසීමේදී දැනගත හැකිය. එසේම අයිතිය පිළිබඳ නීතිමය ගැටලුව නිසා සමහර පුවත්පතකට සිය නම අහිමි වීම හා නම මඳක් වෙනස් කරන්නට සිදුවූ අවස්ථා ද ඇත. සමහර පුවත්පත්වල නාම පළකය සමග තේමා පාඨයක් ද පළ කෙරේ

2.  කර්ණය /කන (Ear)

"පුවත්පතක මුල් පිටුවේ ඉහළ වමේ හා දකුණේ කොටුකර හැඩගන්වා ඇති පෙදෙස ඉයර්ස් නමින් හැඳින්වේ. පැරණි පන්නයේ බොහෝ පුවත්පත්වල මුල් පිටුවේ නාම පළකය දෙපැත්තේ මෙසේ කොටු දෙකක් සටහන් කර තැබීම,සිරිතක් වී තිබිණි. ඒවා තුළ කිසියම් කාලීන වැදගත් කමකින් යුතු වගන්ති සටහන් කර තැබීම ද සිරිතක් විය. පසු කල එම වැදගත් වගන්තිය වෙනුවට ඒවා වෙළඳ දැන්වීම් බවට පත්විය. (සන්නිවේදන ශබ්දාකරය).

කෙසේ වෙතත් මෙම කොටු දෙක ඉවත් කිරීමන් නාම පළකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර පිටුවේ අලංකාරය වඩාත් ඉස්මතු වන බවද පුවත්පත් කලාව පිළිබඳ ඇමරිකානු විශ්ව කෝෂය පෙන්වා දී ඇත.

වර්තමාන පුවත්පත් මේ කොටු දෙක විවිධාකාරයෙන් භාවිත කරයි. එම කොටු දෙකම ඉවත් කර ඇති පුවත්පත් ද එක් කොටුවක් පමණක් ඇති පුවත්පත් ද මේ අතර වෙයි.

3. දින පෙළ (Date line)

නාම පළකය යටින් ඇති තිරස් රේඛාව දිනය දක්වා ඇති පේලිය දින පෙළ ලෙස හැඳින්වේ. (සන්නිවේදන ශබ්දාකරය) මෙහි දිනයට කාණ්ඩ හා කලාප අංක ද මිල, වෙබ් අඩවි ලිපිනය ආදිය සඳහන් වෙයි.

4. ප්‍රධාන සිරස් තලය (Head line)

පුවත්පතක මුල් පිටුවේ ලොකු අකුරින් දැක්වෙන අකුරු පෙළ ප්‍රධාන සිරස් තලය ලෙස හැඳින්වේ. ඉතා වැදගත් පුවතක අඩංගු වන හරය කැටිකර දැක්වීම සඳහා ආකර්ෂණීය සිරස්තලයක් යෙදීම පුවත්පත් කලාවේදීන්ගේ සිරිතය (සන්නිවේදන ශබ්දාකරය)

මීට අමතරව පිටුවක ඉහල වම් කොනේ සිට දකුණු කොන දක්වා පුළුල්ව දිවෙන සිරස්තලය බැනර් (Banner ) නමින් හැඳින්වේ. (සන්නිවේදන ශබ්දාකරය )

ප්‍රවෘත්ති හැරුණු විට මුල් පිටුවේ ජායාරූපයක්, සාක්කු කාටූනයක්, කවියක් පළකිරීම වර්තමාන පුවත්පත් වල සම්ප්‍රදායයි.

එහෙත් මේවා සම්ප්‍රදායන් මිස දේවභාෂිතයන් නොවන නිසා නිර්මාණශීලී පුවත්පත් කලාවේදීන් , චිත්‍ර ශිල්පීන්, පිටු සැලසුම්කරුවන් අතින් වෙනස් වූ අවස්ථා බොහෝය.

මීළඟට පුවත්පතක ප්‍රමාණය ...



©සු.ප්‍රි. සමරසිංහ


ස්තුතිය :
*උපුටා ගැනීම් සිදු කළ සන්නිවේදන ශබ්දාකරයේ කර්තෘ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ට 

No comments:

Post a Comment