රසිකයා පළමු දිග හැරුම
රසිකයා චිත්රකතා ලෝලියෙකු වූයේ කුඩා කල සිටමය. තාත්තා ගෙදරට නොකඩවා ගෙනා මිහිරත්, සතුටත් ඔහු කියෙව්වේ බහ තෝරනා දා පටන්ය. තාත්තා ඒවායේ පළවූ චිත්රකතා කපා එකතු කොට පොත් සාදා තිබූ අයුරු රසිකයාට මතකය. නැවත නැවතත් පෙරළා රස විඳි ඒ චිත්රකතා පොත් පෙළ පසු කලකදී අවාසනාවන්ත ලෙස අහිමි වීම ගැන රසිකයාට ඇත්තේ දුකකි.
හැත්තෑව දශකයෙන් ආරම්භ වී අනූව දශකයෙන් අවසන් වූ මේ සුන්දර කලාව පිළිබඳ මතකය නැවත අවදි වන්නේ පසුගිය වසරේ දී ය. ඒ මුහුණු පොතේ චිත්රකතා රසික සමූහයන් නිසාය. චිත්රකතා ගැන සොයමින්, ලියමින් චිත්රකතා තුළ ජීවත් වන්නට රසිකයාට මග පෑදුණේ ඒ අයුරිනි.
දැන් රසිකයාට සිහිනෙන් පෙනෙන්නේත් චිත්රකතාය. ඒ සිහින මෙසේ "Comics රසිකයා දුටු සිහින" ලෙස ඉදිරිපත් කරන්නට කල්පනා කළේ ඒ නිසාය. මේවා සිහිනය. ඒ සිහින සැබෑ විය හැකි සිහින වන්නේද නොවේ. නොවන්නේද නොවේ.
"අද රසිකයා කඩේ පැත්තේ ගියේ මාස කිහිපයක් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කළ පසුවය. පසු ගිය කාලයේම ගෙදරට කොටු වී සිටි කාලය පුරාම පත්තරයක් අතට ගෙන බලන්නට, පත්තර පිටුවල කඩදහි සුවඳ විඳින්නට නොහැකි වීම නිසා රසිකයා සිටියේ සාංකාවෙනි. ටෙලිවිෂනයෙන්, කොම්පියුටරයෙන් e-පත්තර බැලුවාට රසිකයාගේ හිත පිරෙන්නේ නැත. ඒ නිසා ඔහු පළමුවෙන්ම ගියේ පත්තර කඩයට ය.
මේ තියෙන්නෙ පත්තර ! රසිකයා පුදුමයට පත් වුණේ පසු ගිය කාලයේ පළ කිරීම නවතා දැමූ දිනපතා පත්තරයක් ද නැවත වෙළෙඳ පොළට පැමිණ තිබීම නිසාය. රසිකයා වඩාත් පුදුම වුණේ එහි විශාල ප්රමාණයේ පිටු හතරක් පුරා චිත්රකතා පළ තිබෙණු දැකීමෙනි.
මෙන්න ආයිත් චිත්රකතා !
දිනපතා පත්තර වල, ඉරිදා පත්තර වල චිත්රකතා තීරු ලෙස පළ වූ චිත්රකතා විශාල පිටු හතරක් පුරා පළ කරල. රසිකයා ඒ පුදුමය රස වින්ඳේය. එය සිහිනයක්දැයි ඔහු සිතුවේය. එහෙත් ඔහුට වැඩි වෙලාවක් පුදුමයේ රස විඳින්නට ලැබුණේ නැත.
ඔහුට ඇහැරුණේය. හතර වටින් එළිය වැටිලාය.
©සු.ප්රි. සමරසිංහ
No comments:
Post a Comment