Saturday, 9 September 2023

චිත්‍රකතා මිත්‍රයා- අට වැනි දිග හැරුම

 

(චිත්‍රකතා මිත්‍රයා ආරම්භ වන්නේ 1980 ජනවාරි පළමු වැනිදා මධුර පත්තරය නිකුත් වූ දා සිටය.)

අවුරුදු නිවාඩුව 

මේ 1980 අවුරුද්දේ මාර්තු මාසයේ අන්තිම සතිය යි.

පාසල් අවුරුදු නිවාඩුව ළඟ ළඟම එයි. පාසලේ පළමු වාරයේ විභාග අවසන් වුණේ ඊයේය. පළමු වාරය වැඩිපුරම වෙන් කෙරෙන්නේ ක්‍රීඩා කටයුතු සඳහාය.

අවුරුද්දකට අපට දීර්ඝ නිවාඩු තුනක් ලැබෙයි. සිංහල දෙමළ අවුරුදු නිවාඩුව, අපොස උසස් පෙළ විභාගය පැවෙත්වෙන අගෝස්තු මාසයේ ග්‍රීෂ්ම නිවාඩුව , අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවෙත්වෙන දෙසැම්බර් මාසයේ වසර අවසාන නිවාඩුව යන විදියට ය.

චිත්‍රසිරි මට පොරොන්දුවක් වුණේ පහුගිය  එක් අඟහරුවාදා  හැන්දෑවකය.

"රසික සිත්තර පත්තරේ කියවලම නැතෙයි."

ච්ත්‍රසිරි ඇහුවේ මධුර පත්තරේ කියවා ඉවර වී කතා බහ කොට ගෙදර යන්නට ලෑස්ති වෙන ගමන්ය.

"නෑ. කියවල තියෙනව. අතරින් පතර."

"කැමතිනම් මුල් පත්තර ගොඩම මං ගෙනල්ල දෙන්නම්."

"කාගෙන්ද ? "

"රංගයියගෙන්" 

චිත්‍රසිරි යන්නට ගොස් නැවත හැරී මෙසේ ඇසුවේය 

"ඉස්කෝලෙ මහත්තය බනීද"

"නෑ මං හිතන්නෙ. තාත්තත් සිත්තර ගැන පහුගිය දවසක කතා වෙනව මං අහගෙනයි."

සිත්තර පත්තර මිටිය

නිවාඩු දුන් දවසට පහුවෙනිද උදේ චිත්‍රසිරි අපේ ගෙදර ආවේ ලොකු සිත්තර පත්තර මිටියක් බයිසිකලේ ලගේජ් එකේ බැඳගෙනය. ඔහු පත්තර මිටිය බැඳ තිබූ ගෝනි ලණුව ලිහා පත්තර මිටිය ඔසවාගෙන ගොස් තාප්පය උඩ තැබුවේ ඉතා වටිනා දෙයක් ගෙන ආ විදියටය.

අපේ ගෙදර අය එතැනට කිට්ටු උණේ වැල ගෙඩියට වහන කපුටන් රංචුවක් වගේය. අයියා ගෙදර නැත. හිටියත් ඔහු සිත්තර කළින් කියවා ඇති නිසා එතරම් කලබලයක් පෙන්නන එකක් නැත.  අක්කාත් මල්ලිලා දෙන්නාත් පසුබා ගියේ මා පත්තර ගොඩ බදා ගත් නිසා නිසාය. ඔවුන්ට පස්සේ හීන්සීරුවේ කියවන්නට හැකිය. නිවාඩු කාලයටම පත්තර ගොඩ අපේය.

"සිත්තර පත්තරේ පටන් ගන්තෙ සතුටෙ අය අස්වෙලා ගිහින්ද?" ඊට චිත්‍රසිරි උත්තර දුන්නේ තවත් ප්‍රශ්නයක් මගෙන් අසාය.

"ඇයි එහෙම ඇහුවෙ ?"

"නෑ සතුටෙ කට්ටියක් අස්වෙලා ගියානෙ මධුර හදද්දි."

"නෑ ඒ පහු කාලෙකදිනෙ. 1979 අග විතර. සිත්තර පටන් ගත්තෙ 1975 දී"

චිත්‍රසිරි රංගයියාගෙන් අහගත්ත විස්තර ටිකක් කියන්න පටන් ගත්තේය.

"සතුටෙ ගජමෑන් ඇඳපු කැමිලස් පෙරේරා මහත්තය  1974 දි ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වෙලා තියෙනව. කියන විදියට ඉවත් වුණා නෙවෙයි ඉවත් කරල.  කොහොම හරි ඒ හින්ද චින්තන ජයසේන මහත්තයගෙ අද කියන පත්තරේට කාටූන් අඳින්න ලැබෙනව. ඔය අතරෙ අලුත් ආරංචියක් පැතිරෙන්න පටන් ගෙන තියෙනව.  ඒ තමයි "සිත්තර" කියල අලුත් චිත්‍රකතා පත්තරයක්  චින්තන ජයසේන ආරම්භ  කරන බව. අන්න එහෙම තමයි සිත්තර පටන් ගන්නෙ. ඉතින් කැමිලස් පෙරේරා ඒ පත්තරේට සම්බන්ධ කරගත්ත කියල ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ."

සිත්තර උපන් දිනය 

"සිත්තර පටන් ගෙන තියෙන්නෙ 1975 ඔක්තෝබර් 20 සඳුදා."

සිත්තර මංගල කලාපය මා අතේ විය.  මා සිත්තර මංගල කලාපය දකින පළමු වතාවය ඒ. එය සඟරා ප්‍රමාණයෙන් යුතු පත්තරයකි.

ඕෆ්සෙට් ක්‍රමයට  වර්ණයෙන් මුද්‍රණය කළ  පත්තරකි.. 

චිත්‍රසිරි ගෙනා පත්තර මිටියෙහි පත්තර හැටක් විතර තිබුණේය. ඒ 1975 අවුරුද්දේ පත්තර 9 ක් හා 1976 අවුරුද්දේ පත්තර පනස් දෙකක් විදියටය.

සතුටෙහි චිත්‍රකතා මෙන් සිත්තරෙහි චිත්‍රකතා මට මතකයෙන් කිව නොහැකි වුවත් චිත්‍රසිරිට මතකයෙන් කියන්නට හැකි බව ඇත්තකි.

"චිත්‍රසිරිට සිත්තරේ චිත්‍රකතා මතකයෙන් කියන්න ඇහැකිය"

"මොකෝ බැරි"

"එහෙනම් කියන්නකො"

"නෑ රසිකම පත්තරේ බලාගෙන කියවන්නකො"

සිත්තරේ චිත්‍රකතා 

"ජිනප්‍රේම බෝදාහන්දි ගේ කළු සිංහයා , කැමිලස් පෙරේරා ගේ ටික්කා, සෙල්ලං සේන, ගජමෑන්, 

 ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායනගේ සුවඳි, හැන්රි බෙම්මුල්ල ගේ පළිඟු දිවයින, සරත් කවිරත්න ගේ රන් මකරා, ඇන්ටන් බී පෙරේරාගේ ටෝරස්, ධනපාල ගාල්ලගේ ගේ රතු කැටය, බලන්ගොඩ සරත් මධු ගේ යුනිකෝ, ඉතිං ඊට පස්සෙ, මෙහෙව් රටේ කාටූන් , ඉතිහාසගත් චරිත කියල පාඩමක්" 

සමහර චිත්‍රකතා ශිල්පීන් ගේ නම් අහන්නේ පළමු වතාවටය.

"සිත්තර අච්චු ගහන එක සල්ලි අච්චු ගහන වගේ වැඩක් කියල රංගයිය කිව්ව"

"ඒ මොකද ?"

"ඒ තරම් ඉල්ලුම තියෙනවලු"

ඒ තරම් ජනප්‍රිය පත්තරයක් තාත්තා නොගත්තේ මන්දැයි මම කල්පනා කරමි. සමහර විට සතුට, මිහිර, සිළුමිණ   පත්තර තුන ගන්න නිසා තවත් පත්තරයක් ගන්න අමාරු වෙන්නට ඇති. 

"ඔය ටික කියවල ඉවර වුණාම අනිත් ටිකත් ඉල්ලල දෙන්නම්. පත්තර ටික පරිස්සම් කරගන්න ඕන හොඳෙයි ඔන්න." චිත්‍රසිරි බයිසිකලේ හිඳගන්නා ගමන් කීවේය.

තවත් සිත්තර විස්තර .......ඊ ළඟට



©සුප්‍රි සමරසිංහ 

No comments:

Post a Comment