Saturday, 16 September 2023

චිත්‍රකතා මිත්‍රයා - නව වැනි දිගහැරුම



සිත්තර සමඟ දවසක් 

උදේ පටන් හවස් වනතුරු සිත්තර බැලුවත් මට බලන්නට හැකි වුණේ මුල් පත්තර දහයක් දෙළොහක් විතරය. එක දිගට එක කතාව බලා ඉවර කරන්නට විටෙක සිතෙයි. එහෙත් එය කළ නොහැකි වන්නේ අනිත් කතා දකින විට ඒවා කියවන්නට හිතෙන නිසයි. අනික එය නීරස දෙයක් විය හැකි නිසයි. 

සතිපතා පත්තරය කියවන විට දැනෙන රසය දැනෙන්නේ ඊළඟ සතියට ගෙන යන කුතුහලය සමගයි. කතා දහයක පමණ කුතුහලය හිතේ තබා ගැනීම එතරම් අපහසු නොවන්නේ කුමක් නිසාද ? ඒ කතාවට ඇති කැමැත්ත නිසා විය යුතුය. පත්තර ගොඩක් එකවර කියවීම, චිත්‍රකතා පොත් දහයක් එකවර කියවනවා වැනි වැඩකි.

පාඩම් වෙලාව

සවස හයයි අටයි අතර පාඩම් වැඩ වලට වෙන් කර ඇත්තේ තාත්තාගේ නියමයෙන් දින චරියාවක් ලෙසය. තාත්තා පැට්‍රොල්මැක්ස් ලාම්පුව හයට විතර  පත්තු කර නවයට විතර  නිවා දමයි. අටෙන් පසුව රේඩියෝවේ නාට්‍යයක් හරි වැඩසටහනක් හරි අහන්නට ලැබෙයි. ඊටත් රෑ වනතුරු රේඩියෝව අහන්නේ තාත්තා විතරය. ඒ රේඩියෝවේ හඬ අඩුකොට කාටවත් කරදරයක් නොවන ලෙසය. තාත්තා එසේ "විශ්ව සාහිත්‍යයෙන්" නාට්‍යය අහන දවසට විත‍රක් මට ද එය අහන්නට ඉඩ ලැබෙයි.

රෑ තිස්සේ සිත්තර බලන්නට හිතේ තිබුණත් ඒ ආසාව  ඉටුවන්නේ නැත. රෑ නවයෙන් පසු ගෙයි පත්තු කරන්නේ චිමිනි ලාම්පුවකි. එළිය අඩු කොට පත්තු කළ චිමිනි ලාම්පුව එළිවෙනතුරු ගේ එළිය කරයි. 

නිදි නැති රැය

පත්තර කියවීමේ ආසාව නිසා මට නින්ද යන්නේ නැත. මම දොර ඇරගෙන එළියට බැස්සේ චූ කරන්නට ද හිතා ගෙනය. 

"මොකද පොඩ් පුතා" 

ඒ අම්මාය.

හයෙන් පසු ගෙයින් එළියට යනවා නම් අම්මාට කිව යුතුය. අම්මා අප ගැන ඒ තරම් සෝදිසියෙන් සිටින්නීය.

"නෑ මං මේ එළියට යනව"

මා නැවත ගෙට ඇවිත් දොර වසනතුරු දොරකොට ඇති පුටුවේ වාඩි වී සිටිම ඇගේ පුරුද්දය.

ගේ ඉස්සරහින් ඈත ඇති කඳු වැටියේ තරු එළි වැනි එළි පෙනෙයි. අවට පලින් පල ඇති එළිය ඇරෙන්නට මුළු පෙදෙසම අන්ධකාරය. පලින් පල ඇති ඒ එළි ගෙවල්වල පත්තු කර ඇති කුප්පි ලාම්පුය. ගමේ බොහෝ ගෙවල් වල පත්තු කරන්නේ චිමිනි ලාම්පු හරි කුප්පි ලාම්පු හරිය. 

මගක් හරියට ලයිට් තිබුණත් අපේ ගමට කවදා ලයිට් ඒවිදැයි සැක බවයි තාත්තා කියන්නේ. එසේ වීමට දේශපාලනය ද එක් හේතුවක් බව ඔහු මෙන් ම ගමේ අය ද කතා වෙනවා මට ඇසී ඇත. අපේ චන්ද කොට්ඨාසය ශ්‍රී ලංකා හා වාමාංශික පක්ෂ දිනවන එකක් වීම එයට හේතුවයි.

දේදුනු සහ නිව්රෝ 

මට නින්ද නොඑයි. 

මට බලන්ගොඩ සරත් මධුගේ යුනිකෝ හා ඉතින් ඊට පස්සෙ කතා දෙක මතක් වෙයි  ඒ එක්කම පාසලේ පළවෙනි පංතියේ දී සිදු වූ දෙයක් මතකයට එයි.

අපේ පංතියේ කුඩා දැරියක් සිටියාය. ඇය ප්‍රියමනාප පෙනුමින් යුතුය. තලඑළලුය. ඇය "දේදුනු" වගේ යැයි දැන් මට සිතෙයි.

හෝඩිය පංතියේ පළමුවෙනි දවස මට අද වගේ මතකය. ලැටිස් ගසා නිල් පාටින් සායම් කළ දිග ගොඩනැගිල්ලේ කොනේම පංතිය අපේ පංතියයි.

අපි නිල් හා රෝස පාට මිටි ඩෙක්ස් සහ පුටු වල හතර දෙනා බැගින් වාඩි වී සිටියෙමු. එක් පැත්තක පිරිම ළමයි දෙදෙනෙකි. අනිත් පස පිරිමි ළමයි දෙදෙනෙකි. මට මුහුණ ලා සිටියේ අර අපේ "දේදුනු" ය.

"දේදුනු" මා සමග මිතුරු වූවාය. මා ඇයට ඇලුම් කළෙමි. මා ළඟ තිබූ කුඩා චිත්‍රයකට ඇය කැමැත්ත දක්වන බව පෙනුණෙන් එය ඇයට දුන්නේ ටික දිනකින් නැවත ආපසු දෙන පොරොන්දුව මතය.

චිත්‍රයේ සිටින්නේ "නිව්රෝ"ය.  චිත්‍රය ඇඳ තිබුණේ සිගරැට් පැකට් එකක ඇතුල් පියනේ දිලිසෙන පැත්තේය. කළු ඉන්දියන් තීන්තෙන් ඇඳ තිබූ එය මට දුන්නේ සාන්ත මධු අයියා ය.

සාන්ත මධු අයියා ගේ නිවස තිබුණේ අප එවකට සිටි නිවස ඉදිරි පසය. ඔහු අල්ලපු වත්තේ තිබූ ඔවුන්ගේ පාළු නිවසේ බිත්ති පුරා බැටරි කුඩු වලින් තනා ගත් සායම් වලින් චිත්‍ර ඇන්ඳේය. නිව්රෝ, දේදුණු කැලුම් ඒ අතර විය. පසු කළෙක යුනිකෝ ද ඇන්දේය.අපි ඒ චිත්‍ර දෙස ඉතා ආසාවෙන් බලා සිටියෙමු. ඔහු අර චිත්‍රය මට ඇඳ දුන්නේ මගේ ඉල්ලීමකට ය.

මා දේදුනුට දුන්නේ ඒ සාන්ත මධු ඇඳි යුනිකෝ ගේ චිත්‍රයයි. චිත්‍රකතා වලට ඇලුම් කළ මා එය සුරැකිව තබා ගත්තේ ආසාවෙනි. කිසිවෙකුට දෙන්නටවත් නොසිතන එම චිත්‍රය ඇයට දෙන්නට සිතුණේ කුමක් නිසාදැයි නොදනෙමි.

චිත්‍රය දුන් දිනට පසුදා සිට දේදුනු පාසල් ආවේ නැත. ඇය මිය ගිය බව අපට ආරංචි වන්නේ මාස කිහිපයකට පසුවය. 

ඉන් පස්සෙ මට "ඉතින් ඊට පස්සෙ" කතාව කියවන විට මේ "දේදුනු" මතක් වෙයි.

තවත් දවසක් 

මට නින්ද ගියේ කීයටදැයි මතක නැත. අවදි වූ ගමන් ම මා දිව ගියේ සිත්තර පත්තර කියවන්නටය.

සරත් මධු "යුනිකෝ" "ඉතින් ඊට පස්සෙ" ඇන්දේ කොහොමද .......මී ළඟට


©සුප්‍රි සමරසිංහ 

No comments:

Post a Comment