සතුටට-මධුරට උඩින් සිත්තර
අපේ සතුට හා මධුර පත්තර ගොඩ රංගයියා ගේ සිත්තර පත්තර ගොඩට යට වී ඇත. සීනි ගොඩට වහ වැටුණු කූඹි වගේ පවුලේ හැමෝම සිත්තර පත්තර බලයි. නිවාඩු කාලය නිසා කාටත් කාල වේලාව ඕන තරම් තිබීම ඊට හේතුවයි.
නිවාඩු කාලයට තාත්තා වත්ත පිටිය සුද්ද කර කරන්නට පටන් ගනී. අව්ව වැටෙන්නට පෙර වැඩ පටන් ගැනීම තාත්තාගේ සිරිතය. අප කවුරු හෝ ඔහුට උදව් කිරීමට ඉදිරිපත් විය යුතුය. මේ දවස්වල සිත්තර බලන නිසා මල්ලිලා අදිමදි කරන බව පෙනෙයි. එහෙම වෙලාවට තාත්තාට උදව් වන්නට සිදුවන්නේ මටය. කමක් නැත. කොහොමත් තාත්තා අව්ව සැර වෙන වෙලාව වන විට වැඩ නවත්තයි. නා කියා ගෙන බත් කා කෙටි නින්දකට වැටීම ඔහුගේ සිරිතය. ඒ නිසා හවස් වරුවම මට පත්තර කියවන්න ලැබෙයි.
නිවාඩු කාලෙ දි බොහෝ විට චිත්‍රසිරි හවස් අතේ අපේ ගෙදර එයි. අඟහරුවාදා නම් කොහොමත් මධුර කියවන්නට එයි.
"රසික සිත්තර කියවල ඉවරෙයි"
"තාම බාගයයි. කොහෙද එක දිගට කියවන්න ලැබෙන්නෙ නෑනෙ"
සමහර දිනවල කඩේ යන්නට සිදු වන්නේද මටයි.
"ඉක්මනින් කියවල දුන්නොත් ඉතුරු ටිකත් මේ නිවාඩු කාලෙම කියවන්න ඇහැකි."
ඒ උනන්දුව චිත්‍රසිරිගෙනි.
අපේ සරත් මධු
" රසික අපි අර ගමන යංද"
"කවද්ද"
"ඕන වෙලාවක"
අර ගමන කිව්වෙ අපේ සරත් මධු හමුවෙන්නට යන ගමනය. ඒ කිව්වෙ සාන්ත මධු අයියා හමුවන්නට යන ගමනය.
අප ඔහුට සරත් මධු යැයි කිව්වේ නිව්රෝ දේදුනු කැලුම් අඳින නිසාය. එහෙත් ඔහුගේ ඇත්ත නම සරත් මධු බව කිව්වේ තාත්තා ය. ඒ නම පස්සෙ වෙනස් කර ගෙන ඇති බව චිත්‍රසිරිට කියා ඇත්තේ රංගයියා විසිනි.
අප සාන්ත මධු අයියා හමුවන්නට යන්නේ ඒ කතාවත් බලන්ගොඩ සරත් මධු ගැනත් විස්තර අහ ගන්නටය. සරත් මධු හමුවන්නට සාන්ත මධු අයියා ගොස් ඇති බව චිත්‍රසිරි කියන්නේ ඔහුම එය කියා ඇති නිසාය.
සාන්ත මධු අයියා හමුවෙයි
අප පසුදා සාන්ත මධු අයියා හමුවන්නට ගියේ බයිසිකල් වලිනි.
අප යනවිට ඔහු හිටියේ බෝඩ් එකක් ඇඳ ඇඳය. ඔහු චිත්‍ර අඳින කාමර කෑල්ල තිබුණේ ගෙයි පිටුපස්සේ ටිකක් ඈතින්ය. එය ගලාගාරයක් වගේය. සායම් බෙලෙක්ක, පින්සල් හැම තැනය. බිත්තිවල අකුරු හා සායම් තට්ටු තට්ටුය. එහෙම බිත්තියේ පින්සල් පාරවල් හිටින්නේ බිත්තියේ ගසා බැනර් වල අකුරු අඳින නිසාය.
සාන්ත මධු අයියා බැනර්, කට්වුට්, බෝඩ් ලෑලි අඳින්නට සල්ලි ගත්තත්, මළ ගෙවල් වල බැනර් අඳින්නේ තොරන් ගහන්නේ නිකංය. අහල පහල මළ ගෙයක් වූ විට මේ වැඩ වලට ඔහු සොයා ඒම අනිවාර්යයෙන්ම සිදුවෙයි. එහෙම දවසට නිදි මරාගෙන තොරන් ගහන්නට යන සාන්තයියා උදේ වෙනකොට වැඩේ ඉවර කරයි.
මළ ගෙවල් වෙනුවෙන් ෆොටෝ අඳින්නට සිදුවන්නේ ඔහුටමය. ඔහු මැරුණු අයගේ ෆොටෝ අඳින්නේ අයිඩින්ටිය බලා ගෙනය. බොහෝ වයසක අයගේ ෆොටෝ එකකට තියෙන්නේ එච්චරය. ඒවාද පරණ වෙලා බොඳ වෙලාය. එහෙම ෆොටෝ බලාගෙන අඳින එක අමාරු බව සාන්තයියා දවසක් කීව්වේ එහෙම ෆොටෝ එකක් අඳින හැටි බලාගෙන හිටිය දවසකය. අයිඩින්ටියේ පැන්සලෙන් කුඩා කොටු ගසන ඔහු ඒ සමානව බ්‍රිස්ටල් බෝඩ්ඩෙකේ ලොකු කොටු ගසයි. ඉන් පස්සෙ ඒ කොටු බලාගෙන පැන්සලෙන් ෆොටෝ එක අඳියි.
"මේ රසිකයි චිත්‍රසිරියි නේ. මොකෝ මේ පැත්තෙ " ඔහු අඳිමින් සිටියේ තේ කඩේක බෝඩ්ඩෙකකි.
"රසික මල්ලිල දැන් ඉන්නෙ උඩහනෙ."
"ඔව් දෙකේ කණුව කිට්ටුව. චිත්‍රසිරිලයි ගෙවල් ළඟ"
"එහෙමෙයි."
ඔහු හිනාවෙන කොට ලස්සනය. කැලුම් ගේ වගේ ක්රේල් කොණ්ඩය වවා ඒ විදියට පීරා ඇත.
"සාන්තයිය සරත් මධු හම්බවෙන්න ගියා කියන්නෙ ඇත්තෙයි."
"හා ගියා. සිත්තර පත්තර කන්තෝරුවට ගිහින් හම්බවුණේ"
"මොනවද කිව්ව විස්තර. අපිටත් කියන්නකො"
"ඒක නෙවෙයි. අයියගෙ නම වෙනස් කර ගත්තෙ එයින් පස්සෙ කියල කියන්නෙ ඇත්තෙයි."
සාන්තයියාගේ නම, උප්පැන්නේ නම සරත් මධුය. ඔහු චිත්‍ර අඳින කොට ලිව්වේද ඒ නමය. පසුව නම වෙනස් කර ගෙන ඇත්තේ බලන්ගොඩ සරත් මධු ගේ නම නිසාය.
"සරත් මධු ගේ ඇත්ත නම සරත් බැද්දගේ. පස්සෙ සතුටට ඇවිත් නිව්රෝ අඳින කොට තමයි නම වෙනස් කරගෙන තියෙන්නෙ." චිත්‍රසිරි කියන්නේ රංගයියගෙන් අසාගත් දේවල් ය.
සරත් මධු සිත්තරට ආපු හැටි
සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment