Saturday, 23 September 2023

රසිකයා - දස වැනි දිගහැරුම


රසිකයාගේ චිත්‍රකතා පත්තර රසවිඳීමේ පළමු සමය මධුර පත්තරය නැවතීමත් සමග අවසන් විය.  ඉන් පසුව ද සමහර අවස්ථවල සිත්තර පත්තර කියවන්නට ලැබුණු අයුරු මීට පෙර සඳහන් කරන ඇත. ඒ මිතුරෙකුගෙන් ඉල්ලා ගෙන බව ඔබට මතක ඇත.

තාත්තා හදා තිබූ චිත්‍රකතා පොත් ද බොහෝ වාරයක් කිය වීම නිසා ඒ ගැන උනන්දුවක් ද නැවත ඇති නොවුණි.

රසිකයා කොළඹ පැමිණෙන්නේ මේ අතර වාරයේ ය. ඒ අනූව දශකය මුල රැකියාවක් සඳහාය. ඒ වන විට චිත්‍රකතා පිළිබඳ උනන්දුව ද නැති බැවින් රසිකයා ගේ හිත ගියේ ලියන කියන දේවල් සහ නාට්‍ය කෙරෙහිය. 

නැවතත් රසිකයා ගේ සිත චිත්‍රකතා කෙරෙහි ඇදී යන්නේ වෙනත් සිදුවීමක් නිසාය. ඒ රසිකයා ගේ කශේරුකාවේ ආබාධයක් නිසා ඇති වූ අසනීප තත්ත්වයකි. අධික වේදනාවෙන් පෙළෙමින් මාස කිහිපයක් ගෙදර නැවතී ප්‍රතිකාර ලබන්නට සිදුවූයෙන් කිසිඳු වැඩක යෙදීම හෝ එක දෙයකට සිත යොමු කරගෙන සිටීමට නොහැකි විය. 

කළහැකි එකම දේ වූයේ රූපවාහිනිය ඉදිරියේ වාඩි වී එය නැරඹීම පමණි. එයද ඒකාකාරී වූයෙන් නීරස විය. එක දිගට වාඩි වී සිටින්නටද නොහැකි විය.  හන්දියේ පත්තර කඩයට ගොස් පත්තරයක් ගෙන එන්නට පුරුදු වුයේ ඒ නිසාය.

පත්තර කඩයේ එල්ලා ඇති චිත්‍රකතා පත්තර දෙසට රසිකයා ගේ සිත ඇදී යන්නේ එවැනි මොහොතකය. රසිකයා ගේ මනස අතීත චිත්‍රකතා මතකයෙන් රසවත් වෙද්දී ඔහුගේ චිත්‍රකතා රස විඳීමේ දෙවැනි සමය ඇරඹෙන්නේ ඔන්න ඔය ආකාරයටයි.

සතුට මධුර පත්තර ඒ වනවිට වෙළඳපොළේ නොතිබුණේය.  සිත්තර, සත්සිරි, ගජමෑන්, චිත්‍රකතා වැනි පත්තරත්, විටින් විට අලුතින් ආරම්භ වූ පත්තරත් නැවත වතාවක් රසිකයා ගේ චිත්‍රකතා මතකය අලුත් කරමින් තිබුණි. 

රසිකයා ගේ දෙවැනි චිත්‍රකතා සමය ගැන තොරතුරු සමග ලබන සතියේත් හමුවෙමු.



සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment