Saturday, 30 September 2023

රසිකයා -එකොළොස් වැනි දිග හැරුම

 

පසුගිය සතියේ සඳහන් කළ පරිදි, රසිකයා ගේ ශාරීරික ආබාධය නිසා හටගත් වේදනාව යම් තරමකට සමනය කර ගැනීමට චිත්‍රකතා පත්තර කියවීම හේතුවක් විය. 

ඒ කාලයේ පළ වූ සිත්තර සහ සත්සිරි පත්තර  නොකඩවා කියවූ අතර අලුතින් පතරයක් එන බව දැනගත්  වහාම එය නිකුත් වන තුරු රසිකයා සිටියේ ඇඟිලි ගැන ගැනය.

එවැනි අවස්ථාවක් රසිකයාට හොඳට මතකය. ඒ කැමිලස් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ අලුත්  පත්තරයේ ආරම්භයයි. මේ අලුත් පතරය පිළිබඳ පූර්ව ප්‍රචාරයට අමතරව පත්තරයට නමක් යෝජනා කිරීමේ තරගයක් පැවැත්වීම විශේෂයකි. 

1997, ජුනි මාසයෙ දී අලුත් පත්තරය වෙළඳ පොළට පැමිණියේ "විශ්ම " නමිනි. පත්තරය මුද්‍රණය වූයේ සඟරා ප්‍රමාණයෙනුත් අඩක 
( 22 cm × 14.5 cm) ප්‍රමාණයකිනි. ගුණපාල ජයලත් ගේ සංස්කරණක් වූ එහි මිල රුපියල් හයකි. 

සුසිල් ප්‍රේමරත්න ගේ "රන් දූපත"  චිත්‍රකතාව  නැවත පළකිරීම හා ජයන්ත චන්ද්‍රසිරි ගේ දඬුබස්නාමානය ටෙලිනාට්‍යය චිත්‍රකතාවක් ලෙස ඉදිරිපත් කිරීම මංගල කලාපයේ මුල් පිටුවේ ව්ශේෂයෙන් සඳහන් කර තිබුණි. 

අපේ රටේ නිකුත් වූ මුල්ම චිත්‍රකතා පොත ලෙස සැලකෙන්නේ සුසිල් ප්‍රේමරත්න ප්‍රකාශයට පත්කළ රන්දූපත චිත්‍රකතා පොතයි. මුලින්ම එය පළ වූයේ වනිතා විත්ති පුවත්පතේය.

ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවක් වූ දඬුබස්නාමානය චිත්‍රකතාවක් ලෙස ඉදිරිපත් කළේ විශ්ම සංස්කාරක ගුණපාල ජයලත් විසින් ම ය. 

මීට පෙරද ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපට ආදිය චිත්‍රකතා ලෙස පළ කළේ "නළුව " පත්තරයෙන් බව රසිකයාට මතකය. 


"විශ්ම" පත්තරයට සමගාමීව නිකුත් කළ පුවත්පතක් වූයේ "මවිත " ය. එහි පළ වූයේ විශ්මය දනවන චිත්‍රකතාය.  



 රසිකයා ගේ චිත්‍රකතා මතකය සමග ලබන සතියේත් හමුවෙමු 



සු.ප්‍රි. සමරසිංහ 

No comments:

Post a Comment