Friday, 6 October 2023

රසිකයා - දොළොස් වැනි දිගහැරුම

 


රසිකයා මේ සතියේ ලියන්නට සිටි අදහස පසෙකට දමා මෙය ලියන්නට සිතුවේ සතුටු දායක ආරංචියක් මුහුණු පොතේ දකින්නට ලැබුණු නිසාය.

ඒ ආරංචිය නම්, හැත්තෑව දශකයේ මිහිර පත්තරේ පළවූ ඉතා ජනප්‍රිය ළමා චිත්‍රකතාවක් වූ පී. වික්‍රමනායකගේ "චන්ඩි" චිත්‍රකතාව නැවත වතාවක් මිහිරේ පළ කරන බවයි. නොවැම්බර් 8 වැනිදා සිට "චන්ඩි" රසවිඳින්නට ළමා පරපුර හැකිවන බව දන්වා තිබුණේ මිහිර පත්තරේ වර්තමාන කතුවරයා විසිනි.

මෙය ප්‍රසංශනීය කටයුත්තකි. පසුගිය කාලය පුරාවටත් ඇස්. ඒ. දිසානායක ගේ යෝධයා, පුංචිත්තා  සහ බටකොළ ආච්චි වැනි චිත්‍රකතා නැවත මිහිරේ පළකිරීම ආරම්භ කර තිබුණි.

එසේම ප්‍රගීත් අබේධීර ගේ කළු අවතාරය, අභියෝගය වැනි චිත්‍ර කතා පළ කර ඇත.

මිහිර උපන්නේ 1964 ජූලි මස 27 වැනිදාය.

'මිහිර' පත්තරේ යනු පරම්පරා ගණනාවකටම මතක තියෙන පත්තරයකි. ආරම්භයේ සිට අද දක්වා නොකඩවා පළකෙරෙන පත්තරයකි. 'මිහිර' චිත්‍රකතා පත්තරයක් නොවුණත් පරම්පරා ගණනාවකට මතක තියෙන ළමා චිත්‍රකතා කිහිපයක් එහි පළවුණේය.

රසිකයාට චිත්‍රකතා කියවන්නට හුරුකළේ මිහිර පත්තරයයි. චිත්‍රකතා පමණක් නොව පොත පත කියවන්නට හුරු කළේද මිහිර පත්තරයයි.

රසිකයා ගේ මතකයේ ඇති මිහිරේ පළවූ වෙනත් චිත්‍රකතා අතර, ඇස්.ඒ. දිසානායක ගේ

ඔන්න බබෝ, යෝධයා, ඕලු, බටකොළ ආච්චි, පුංචිත්තා, රහස, කතා පොඩ්ඩ, අකිල, හාල් මැස්සා, කපුටුලන්ද, සැලා සහ නිසැලා මෙන්ම

කැමිලස්  පෙරේරාගේ ටික්කා, නොයෙල් ලසන්තගේ පිනෝකියෝ, රුවන් තරස්වින් ගේ රකුසු විල හා අළුත් අන්දරේ, අනුර විජේවර්ධන ගේ බුලට් හා රොබින්සන් කෲසෝ ආදී ළමා චිත්‍රකතා වෙයි.

මේ චිත්‍රකතා ද මතු දිනක වර්තමාන ළමා පරපුරට රස විඳින්නට ලැබේවා යනු රසිකයා ගේ පැතුමයි  !



©සු.ප්‍රි. සමරසිංහ


No comments:

Post a Comment