Saturday, 9 September 2023

රසිකයා- අටවැනි දිගහැරුම

 

සතුට පත්තරය පටන් ගන්නා විට රසිකයා ගේ වයස අවුරුදු හතරකි. චිත්‍රකතා තනිවම කියවා හොඳින් තේරුම් ගන්නට හැකි වූයේ රසිකයා පාසලේ හතර පහ පංතිවල ඉගෙන ගන්නා කාලයේ දීය. ඒ වන විට තාත්තා ගේ පොත් කියවීමට ද රසිකයාට හැකි වී තිබුණි. 

තාත්තා ගේ පොත් වල ඇති කෙටිකතා සතුටෙහි එක දවසේ කතා ලෙස පළවීම රසිකයා තවත් සතුටට පත් කළ කාරණයකි. ඇත්තටම කියනවා නම් පොත් වල ඇති පරිවර්තන විදෙස් කෙටිකතා කියවන්නට ඔහුගේ සිත යොමු වුණේ සතුටෙහි පළ වූ එක් දවසේ චිත්‍රකතා කියවීමෙනි. 

මේවා ඒකංගික චිත්‍ර කතා, තනි චිත්‍ර කතා, කෙටි චිත්‍ර කතා ආදී නම් වලින් හැඳින්විය හැකිය. කොටස් වශයෙන් පළවෙන නැති නම් දීර්ඝ චිත්‍ර කතා වල අවසානය රස විඳින්නට අපට බොහෝ කාලයක් බලා හිඳින්නට සිදු වෙයි. 

සතුටෙහි මෙන්ම ඉන්පසු බිහි වූ චිත්‍ර කතා පත්තරවල ද ඒකංගික කෙටි චිත්‍ර කතා පළ වූ අතර එය ආධුනික චිත්‍ර කතා ශිල්පීන්ට තම හැකියාව ඔප් නංවා ගන්නට ලැබුණු මහඟු අවස්ථාවක් බවයි රසිකයා සිතන්නේ. රසිකයා ද ඒ දිනවල එවැනි චිත්‍ර කතාවක් ඇඳ සතුට ට යවන්නට සිටි බව ද, එහෙත් ඉන්දියන් තීන්ත හා පෑනක් නොමැති කමින් එම සිහිනය බොඳවූ බවද මතක් කරන්නේ මතක ආස්වාදයක් විඳිමිනි.

තුටෙහි පළ වූ ඒකාංගික චිත්‍ර කතා තුන් ආකාරයකි.

ලෝ පතළ කෙටි කතා කෙටියෙන්

*චිත්‍ර ශිල්පියා හා පාන් (ඕ හෙන්රි  ගේ කෙටි කතාවක්, සකස් කිරීම- ප්‍රභාත් කුමාර, චිත්‍ර-ගමගේ), *කොරේ පිටට මරේ (ඇල්බර්ටෝ මොරාවියා ගේ කෙටි කතාවක්, චිත්‍ර- ගමගේ), *ගෑනිටත් බය යකා (නිකොලායි මකියාවෙල්ලි ගේ කෙටි කතාවක්, චිත්‍ර-ගමගේ), *අන්තෝ ජටා බහි ජටා (චිත්‍ර-වික්‍රම), *ඔලිම්පික් ඝාතනය (සකස් කළේ-බන්ධුල සමරසිංහ, චිත්‍ර- වික්‍රම)

ජන කතා 

බෑණ පොඩ්ඩ (කතාව-පී.ඒ. ඉඳුරු ගොල්ල, චිත්‍ර-ඩී.කේ. සිරිපාල)

ස්වනිර්මාණ

*ආදරය තුළ ආදරයක් (කතාව-මල්ලිකා රාණි, චිත්‍ර-ලිලන්ත), *අත්හදා බැලීම (කතාව-මල්ලිකා රාණි, චිත්‍ර-ගමගේ), *සුගරැට් දලුව (කතාව-චිත්‍රානන්ද සමරසිංහ, චිත්‍ර-ලිලන්ත), *දෑවැදි දඬුවම (කතාව-ප්‍රභාත් කුමාර, චිත්‍ර-ගමගේ)

ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙටි කතා ඉදිරිපත් කිරීම ගැන සතුටට සතුට ප්‍රකාශ කළ යුතුමය. රසිකයා එවැනි සාහිත්‍යමය වටිනාකමක් ඇති කෙටි කතා හැඳින ගත්තේ එමගින් බැවිනි. 


සු.ප්‍රි. සමරසිංහ 

No comments:

Post a Comment