Monday 30 October 2023

AUTHOR INFORMATION

1. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් 
  Mr. Martin Wickremasinghe 
  ( 1891-1976 )
 


        මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හඳුන්වන්නේ කොග්ගල මහා ප්‍රාඥයා ලෙසය. 1891 කොග්ගල, මලලගම දී උපන් ඔහුගේ දෙමාව්පියන් වූයේ කොග්ගල, මලලගම ළමාහේවාගේ දොන් බස්තියන් වික්‍රමසිංහ සහ මාගාල්ලේ බලපිටියේ ලියනගේ තොච්චොහාමි යන දෙපලය. 

ගමේ අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් වැලි පිල්ලේ අකුරු ලිවීමට ඉගෙන ගත් වික්‍රමසිංග ගමේ පන්සලෙන් අකුරු ඉගෙන ගනියි.පසුව බොනවිස්ටා පාසැලට ඇතුළත් වෙයි. අහංගම සිංහල පාසැලට ඇතුළත් වෙන්නේ ඉන් අනතුරුවය.

පාසලින් අස්වී 1906 වසරේ දී කරෝලිස් සිල්වාගේ සාප්පුවේ ලියන්නා ලෙස රක්ෂාවකට කොළඹ පැමිණීමත්, ජෝන් ද සිල්වා සමාගමට බැඳීමත්, මඩකලපුවේ කොර්නේලිස් සිල්වා සාප්පුවේ රක්ෂාවට යාමත්  ඔහුගේ ජීවිතයේ  වැදගත් සන්ධිස්ථාන වෙයි.

වික්‍රමසිංහ සූරීන් ගේ පළමු නවකතාව වූ "ලීලා" පළ කරන්නේ 1914 දී ය. එය ඔහුගේ ලේඛන දිවියෙහි ආරම්භය සනිටුහන් කිරීමකි.

1916 වසරේ සිට හේතුවාදී නමින් දිනමිණ පුවත්පතට ලිපි ලිවීම පුවත්පත් කලාවේ ආරම්භය සනිටුහන් කිරීමකි. 1920 දී දිනමිණ පුවත්පතට බැඳීම, 1927 දී දිනමිණෙන් අස්වී ලක්මිණට බැඳීම, 1931 සිළුමිණ කර්තෘ ලෙස පත්වීම, 1932 දී දිනමිණ කර්තෘ කමට පත්වීම හා 1946 දී දිනමිණෙන් අස්වීම එමගෙහි කෙටි සටහනකි.

ලීලා, සීතා, සෝමා, අයිරාංගනී, රෝහිණී, මිරිඟුව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය, කරුවල ගෙදර, මඩොල්දූව, බවතරණය යන නවකතා ද, 

ගැහැනියක්, බිල්ල සහ අපූරු මුහුණ, මගේ කතාව, මඟුල් ගෙදර, හඳ සාක්කි කීම, වහල්ලු, පව්කාරයාට ගල්ගැසීම, අපේ විත්ති, කතා අහුර යන කෙටිකතා පොත් ද,

කළුනික සෙවීම, අපේ ගම, උපන්දා සිට යන විත්ති කතා ද ඇතුලුව සාහිත්‍ය විචාර, සමාජ විචාර, දර්ශනය සම්බන්ධ විචාර ග්‍රන්ථ රාශියක් වික්‍රමසිංහ සූරීන් ගේ ලේඛන දිවියෙහි අස්වැන්න ලෙස සටහන් කළ හැකිය.

ඔහු ඉරිදා ලංකාදීපයට හා දිනමිණට ලිපි සැපයුවේ මඩකලපුවේ වෙළඳසලෙහි සේවය කරමින් සිටින අතරතුරය. "වෘක්ෂලතා හා සත්වයෝ" යන ලිපිය දිනමිණ පුවත්පතේ පළ වූ පළමු ලිපිය යි. දිනය 1916 ජනවාරි 21. එය ලියා තිබුණේ මලලගම M.W. යන ආරූඨ නාමයෙනි. 

"වික්‍රමසිංහ බැහැර සිට සිංහල පුවත්පත් කලාව හා බැඳෙන්නේ, සිය තරුණ විය එළඹෙමින් සිටියදීමය. ඔහු නමිනුත්, "මල්ලගම M.W." සහ "හේතුවාදී" යන ආරූඨ නම්වලිනුත්, දිනමිණ පුවත්පතට ලිපි සපයමින් සිටියේය. මඩකලපු සමය තුළ ඔහුගේ මෙම බාහිර පුවත්පත් කලාව කිසියම් පමණකින් හැඩගැසෙමින් පැවතුණි." (පිටුව 270, මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත, ප්‍රථම භාගය, ඩබ්ලිව් ඒ අබේසිංහ)

" ස්වදේශ මිත්‍රයා" පුවත්පතට විජිත මනුවර්ණ යන ආරූඨ නාමයෙන් ලියූ වික්‍රමසිංහ මහතා ලක්මිණ පුවත්පතට ද ලිපි සම්පාදනය කර ඇත. එසේ පුවත්පත් කලාව හා එක්වන ඔහු දිනමිණට බැඳී පත්තරකාරයකු වන්ට තීරණය කරයි.

"මාර්ටින් වික්‍රමසිංහ මඩකලපුවේ වෙළඳ ලිපිකරුවකු වශයෙන් යෙදී සිටියදී නොයෙක් කරුණු සම්බන්ධයෙන් ජනප්‍රිය ලිපි බොහෝ ගණනක් දිනමිණ පත්‍රයෙහි පළ කෙළේය. දිනමිණ අධිකාරි ඩී.ආර්. විජයවර්ධන මහතා මාර්ටින් වික්‍රමසිංහගේ ලිපි ගැන පැහැදීම නිසා, ඒ මහතා මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ කර්තෘ මණ්ඩලයට බන්දවා ගත්තේය.

මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතයෙහි එක් මංසන්ධියක් පිළිබඳව ඒ සටහන තබන්නේ, ඔහුගේ දීර්ඝකාලීන පත්තර සගයකු වන වී.ඩී. ද ලැනරෝල්ය." (පිටුව 274, මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත, ප්‍රථම භාගය, ඩබ්ලිව් ඒ අබේසිංහ)

පුවත්පත් කලා ජීවිතයේ මුල් අඩ ගත වන්නේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ උපකතුවරයෙකු ලෙස 1920 සිට 1927 දක්වා වසර හතක කාලය තුළදීය.

"මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත්පතේ සේවයට පැමිණ දින හරි හැටි කිව නොහැකි නමුත්, එය සිදු වූයේ 1920 වසරේදී පමණ බැව් පෙනී යයි.

එවකට දිනමිණ කතුවරයාව සිටියේ, හොඳ සිංහල උගතකුද පළපුරුදු පත්තරකාරයකුද වූ ඩී.ඩබ්ලියු. වික්‍රමාරච්චිය. මාර්ටින් වික්‍රමසිංහ බඳවාගන්නා ලද්දේ උපකතුවරයකු හැටියටය.

එතැන් සිට වසර විසිහයක්, ඔහුගේ ජීවිතය ගත වන්නේ, වර්තමාන ව්‍යවහාරයෙන් කිවහොත්, පුවත්පත් කලාවේදියකු හැටියටය. ඒ වනාහී, ඔහුගේ වැඩිහිටි ජීවිතයෙන් තුනෙන් පංගුවකටත් වැඩි කාලයකි. ඔහුගේ ජීවිතයේ මෙම පරිච්ඡේදය, වික්‍රමසිංහ නමැති අසහාය පුවත්පත් කලාවේදියා, විශිෂ්ට පුවත්පත් කතුවරයා මතු නොව, අසමාන ලේඛකයාද සැබෑ ස්වරූපයෙන් ගොඩ නැගෙන්නට වූ අවධියයි. (පිටුව 275, මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත, ප්‍රථම භාගය, ඩබ්ලිව් ඒ අබේසිංහ)


[ සුප්‍රි සමරසිංහ ]



පරිශීලනය කළ පොතපත හා උපුටා ගැනීම  : 
1. මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත, ප්‍රථම භාගය, ඩබ්ලිව් ඒ අබේසිංහ
2. මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රාඥයා, දෙවන මුද්‍රණය 2001, සීමාසහිත තිසර ප්‍රකාශකයෝ
3. උපන් දා සිට, මාර්ටින් වික්‍රමසිංහ




No comments:

Post a Comment