Friday 3 November 2023

AUTHOR INFORMATION

2. පියසේන නිශ්ශංක සූරීන් 
  Mr. Piyasena Nishshanka 
  ( 1890 - 1970  )


1930 මාර්තු මස 30 වැනිදා ආරම්භ කළ සිළුමිණ පුවත්පතේ පළමු කතුවරයා වන්නේ පියසේන නිශ්ශංක මහතාය. සිළුමිණ පුවත්පත හර බර ලිපි වලින් සැරසී සිය අනන්‍යතාව ගොඩනගා ගත්තේ එතුමා සිළුමිණේ කතුකම දරන කාලයේ දී ය. ශාස්ත්‍රීය අතිරේකය හා ඓතිහාසික අතිරේකය පුවත්පතට එකතු වීම එවකට පුවත්පත්වල නොතිබුණු විශේෂාංගයකි. 

1890 සැප්තැම්බර් 25 වැනිදා සියනෑ කෝරළයේ කැන්දලියද්දපාළුවේ කොස්කඳවල දී උපත ලද පියසේන නිශ්ශංක මහතා මූලික අධ්‍යාපනිය ලැබුවේ උඩකුත්තිරිපිටියේ පිරිමි පාසලිනි.  උඩුගම්පල ද්විභාෂා පාසලින්  හා කොළඹ ආනන්ද  විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යයනය ලද එතුමා, කොළඹ වෛද්‍ය විද්‍යාලය ඇතුල් වූයේ වෛද්‍ය විද්‍යාව හදාරන්නටය. අන්තුරුව ඉන්දියාවට ගොස් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව සළසා ගත්තේය. එහෙත් පියාගේ අභාවයෙන් පසුව අධ්‍යයනය අතරමග නවතා දිවයිනට පැමිණීයෙන් ඒ අදහස් සපුරා ගත නොහැකි විය.

එතුමාගේ පත්‍රකලා ජීවිතය ඇරඹෙන්නේ 1918 භාෂා පරිවර්තකයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳීමෙනි. 
ඒ දිනමිණට පුවත්පතේ භාෂා පරිවර්තකයෙකු ලෙසය.
ඉන් පසුව වාර්තාකරුවකු, උප කතුවරයෙකු, සහාය කතුවරයෙකු ලෙස හා දිනමිණ කතුවරයා 
විශ්‍රාම යාමෙන් පසුව දිනමිණේ කර්තෘ පදවියෙන් පිදුම් ලැබෙවේ ඔහු සතු පරිණත බව නිසාය.

නිශ්ශංක මහතා බාසුරු, පැරකුම්, සේන, පිටිසරයා, සීයා ආදී ආරූඨ නම් වලින් දිනමිණ පුවත්පතට ලිපි සම්පාදනය කළේය.

එපමණක් නොවේ පියසේන නිශ්ශංක මහතා ප්‍රවීණ ගත්කතුවෙරයෙකු ද වෙයි. ඔහු බොහෝ විට රචනා කළේ ගැමි ජීවිතය නිරූපණය කරන කෙටිකතා හා  නවකතාය. වදුල, ගිනි සිසිල, හීන් හාමිනේ, ඔය බඩ ගෙදර, දිවමල් දිවසළු, සමදරා, සුරංගනා කතා ඔහු විසින් රචනා කළ සාහිත්‍ය නිර්මාණ වෙයි. 1959 පළමු වරට ප්‍රදානය කරන ලද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුයේ පියසේන නිශ්ශංක මහතාගේ "ගිනි සිසිල" කෙටිකතා සංග්‍රහයටයි. 

ලේක්හවුස් ආයතනය  බුදුසරණ පුවත්පත ආරම්භ කළේ 1965 වසරේ දී ය. එම වසරේ පොසොන් පෝදා ආරම්භ කළ බුදුසරණෙහි මුල් කතුවරයා ඔහුය. සුබසෙත පුවත්පතේ ආරම්භය 1969 වසර දී සිදු වන අතර එහි පළමු කතුවරයා වන්නේද නිශ්ශංක මහතාය.  

ඔහු ලේක්හවුස් වාර්ෂික ප්‍රකාශනයක් වූ දිනමිණ වෙසක් කලාපයේ සංස්කාරක වරයෙකු ලෙස ද දිගු කලක් සේවය කලේය.

පුවත්පත් කලාවට මෙන්ම ලේඛන කලාවට අනුපමේය සේවයක් කළ මේ මහා පුවත්පත් කලාවේදියා 1970 ඔක්තෝබර් 11 වැනිදා අභාවප්‍රාප්ත විය.

 [ සුප්‍රි සමරසිංහ ]



පරිශීලනය කළ පොත පත :
1. සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ-සඳගෝමි කෝපරහේවා
2. සිළුමිණ පුරෝගාමී කර්තෘ-පියසේන නිශ්ශංක - මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි (2002.10.06 සිළුමිණ )



No comments:

Post a Comment