Saturday 4 November 2023

රසිකයා - දහසය වැනි දිගහැරුම



                "විජය" පත්තරය යනු "මිහිර" මෙන්ම ආරම්භයේ සිට අද දක්වා නොකඩවා ළමා චිත්‍රකතා පළකරන ළමා පත්තරකි.

රසිකයා ගේ ගෙදරට මිළදී ගත්තේ මිහිර පත්තරය පමණි. රසිකයා විජය පත්තරය මිළදී ගත්තේ පාසලේ විවේකයට කෑමට ගෙදරින් ලැබෙන මුදල් එකතු කිරීමෙනි.

"විජය" පත්තරය,  විජය පුවත්පත් සමාගම විසින් ආරම්භ කර ඇත්තේ 1980 දි ය. ඒ අනුව මිහිර පත්තරයේ ආකෘතියට සමානව පළකරන තවත් ළමා පත්තරයක් වන්නේ විජය යි. විභාග අරමුණු කරගත් පත්තර වලට වඩා, වෙනස් වන්නේ මිහිර සහ විජය පුවත්පත් මගින් විෂය සමගාමී තොරතුරු හා රස වින්දනය උදෙසා ලිපි ඉදිරිපත් කිරීමය. විශේෂයෙන් ම සාහිත්‍යය සම්බන්ධයෙන් පළකළ ලිපි ඉතා සාරවත් බැවින් රසිකයා ඒවා එකතු කර ගෙන සිටියි.

පියල් උදය සමරවීර මහතාගේ "මල්මාමා" විජය කියවූ ළමයින් ගේ ජනප්‍රිය චරිතය විය. පියල් උදය සමරවීර විජය පුවත්පතට කැලේ කතාව, මල්මාමා ආදී චිත්‍රකතා ඇන්දේය. ඔහු ඔහුටම ආවේණික ළමා චිත්‍ර කතා කලාවක නියැලෙන්නෙකි. එසේම ඔහු විජය පුවත්පතට අඳින සන්නිදර්ශන චිත්‍ර ළමයින්ගේ ලෝකය විචිත්‍රවත් කරයි.

එසේම පී.වික්‍රමනායක මහතා විජය පත්තරයට ඇඳි සන්නිදර්ශන චිත්‍ර ඉතා විචිත්‍රවත් ය. එස්. මහින්ද හිමිගේ "ලංකා මාතා" කවි පෙළට, විමලරත්න කුමාරගම ගේ "අය්යනායක" කවි පෙළට, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගේ කඳුරට දී, වෙසක් සීපද කවි වෙනුවෙන් ඔහු ඇඳි සන්නිදර්ශන  චිත්‍ර ඉතා මනරම් ය.

රසිකයා කියවා ඇති විජය පත්තරේ පළවූ චිත්‍රකතා කිහිපයකි මේ. 

කුරුපිංචිගෙ කතාව (පී. වික්‍රමනායක )අපූරු නිධානය, දිය යට ගින්දර (හිඟුල්වල දිසානායක) කැලේ කතාව, මල් මාමා, සිරිත් විරිත්, සෙල්ලම් කාමරය, මකාගේ යලක්  සමග ඩයිනෝපූස් (පියල් උදය සමරවීර ) මසුරුකම, රන් තරු වැසි, නිල් තරු වැසි, යක් බෙරය, රන්තෝඩු, ගොපලු දෙවි (ආනන්ද රණතුංග ), රිටිගල සෙනසුන, සක් හඬ (ටී.ඩී. අබේසූරිය) 

සු.ප්‍රි. සමරසිංහ 


 
 
 


No comments:

Post a Comment