Saturday, 9 September 2023

පත්තර කොලම- හය වැනි දිග හැරුම



පුවත්පත් අතිරේක

අතිරේක පළ කිරීම පුවත්පතක අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. පාඨක අවධානය දිනා ගැනීම හා අලෙවිය කෙරෙහි එය ප්‍රබල බලපෑමක් සිදු සරන බව පෙනේ. ලක්බිම පුවත්පත ආරම්භයේ සිට රිද්ම අතිරේකය පළ කිරීමෙන් ඇරඹුණු මේ ගමන අද වන විට සියලු දිනපතා හා සතිපතා ඉරිදා පුවත්පත් දක්වා විහිදී තිබේ.

මෙම අතිරේක ටැබිලොයිඩ් ප්‍රමාණයේ වෙනම පුවත්පතක ස්වරූපයෙන් පළ කිරීම විශේෂ කරුණකි. අතිරේක හඳුන්වා ඇති ආකාරයෙන් එසේ අදහස් කරන බව පෙනී යයි. "විද්‍යුත් මාධ්‍ය සඳහා වෙන් වු එකම සිංහල පත්තරය"(මාධ්‍ය කවුළුව )" ලක්බිම සමග නොමිලේ පිරි නැමෙන ළමා පත්තරය " ආදී  වශයෙනි. සමුදුර අතිරේකය ද වෙනම පත්තරයක් ලෙස පළ වේ.

සමහර පුවත්පත්  සමග පළ කරන අතිරේක පළල් පිටු ප්‍රමාණයෙන් වේ.

අතිරේක (Supplemenl)

සාමාන්‍යයෙක් පුවත්පත් හෝ සගරාවක හෝ පළ වන පිටු ගණනට අතිරේක වශයෙන් පිටු කිහිපයක් යොදා සැලසුම් කරනු ලබන ප්‍රකාශනය අතිරේකය ලෙස හැඳින් වේ. කිසියම් විශේෂ අවස්ථාවකදී මෙලෙස පුවත්පතකට හෝ සඟරාවට බද්ධව අතිරේක සැපයීම විශේෂාංග සම්පාදනයේ සම්ප්‍රදායක් බවට පත්වී තිබේ. වාණිජ කාර්යයන් සඳහා භාවිතයට ගැනෙන අතිරේක වෙළඳ අතිරේක යනුවෙන් හැඳින් වේ. සිංහල පුවත්පත් මගින් විශේෂ අතිරේක සහ වෙසක් කලාප පළ කිරීම ආරම්භ වූයේ තිහේ දශකයේදීය. සිළුමිණ පත්‍රයේ පළ වූ "ශාස්ත්‍රිය අතිරේකය" හා ස්වදේශ මිත්‍රයා පත්‍රයේ පළ වූ "කලා කලාපය" මේ අතුරින් විශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය.  මෑත අවධියේ දී ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ අතිරේක පළ කිරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝබර් මාසයේ දී නිකුත් වූ ලක්බිම ඉරිදා සංග්‍රහය සමඟය. රිද්ම නම් වූ මෙම අතිරේකය  පවුලේ සැමට රස විඳිය හැකි විනෝදාස්වාදය ලබා දෙන සැහැල්ලු කරුණු වලින් යුක්තය. මේ නිසා අතිරේකය කියවීම සඳහාම පුවත්පත මිලදී ගැනීම යන නව ප්‍රවණතාවක් පාඨකයන් අතර ඇති විය. රිද්ම අතිරේකය පාඨකයක් අතර බෙහෙවින් ජනප්‍රිය වීම ඊට හේතුවයි.

මේ මග අනුගමනය කරමින් සිළුමිණ පුවත්පත 1996 නොවැම්බර් මස තුන් වැනි දා සිට "රසඳුන" ද, ඉන් අනතුරුව දිවයින ඉරිදා සංග්‍රහය "මීවිත" ද, ඉරිදා  ලංකාදීප "සැදැල්ල" ද පළ කිරීම ආරම්භ කරන ලදී. අනිකුත් සති පතා පුවත්පත් හා දිනපතා පුවත්පත් දක්වා මෙම සම්ප්‍රදාය විහිදී ගියේ ඉන් පසුවය.

දිනපතා පුවත්පත් සතියේ දින පහ සඳහා එක් එක් දිනයට විශේෂ වූ විෂය කරුණු යටතේ  අතිරේක පළ කරයි. සරල තොරතුරු මෙන්ම ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා කිරීම මෙම අතිරේක වලින් සිදු කෙරේ.

ලංකාදීප පුවත්පතේ "විමංසා" (අඟහරුවාදා) සහ දිනමිණ පුවත්පතේ "මංසල" (බදාදා) සාහිත්‍ය අතිරේකත් "දිවයින බදාදා අතිරේකයත්" උදාහරණ වශයන් දැක්විය හැකිය.

ලක්බිම අතිරේකය "ටැබ්ලොයිඩ්"  ප්‍රමාණයෙනුත්, "පුංචි අපේ ලක්බිම" සඟරා ප්‍රමාණයෙනුත් වෙනම පුවත්පත් ලෙස පළ වීම විශේෂයකි. ඒ නිසා මෙම අතිරේක පුවත්පතක් තුළ තවත් පුවත්පතක් ලෙස හැඳින්විය හැකිය. සමුදුර එවැන්නකි.

සමහර පුවත්පත් අතිරේක නිකුත් කරන්නේ පළල් පිටු වලිනි. මුලදී ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ අතිරේක පළ කළ ද පසුව එය පළල් පිටු දක්වා වෙනස් වීමද දැකිය හැකිය.

මැත අවදියේ දී එක් පුවත්පතක් ආරම්භ කළ අතිරේක පළ කිරීමේ සම්ප්‍රදාය අනිත් පුවත්පත්  කරා ද ව්‍යාප්ත වීම, එය අලෙවිය හා පුවත්පතක ජනප්‍රිය බව කෙරෙහි විශාල ලෙස බලපෑමක් කරන බවට සාධකයකි.



සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment