ආදරයත් වීරත්වයත් දෑතින් ගෙන චිත්‍රකතා ලොව දිග්විජය කළ බලන්ගොඩ සරත් මධු
"යුනිකෝ" , "නිව්රෝ", "ඉතිං ඊට පස්සෙ" යන චිත්‍රකතා තුන වුවද ඔහු හඳුන්වන්නට ප්‍රමාණවත් ය. බෙහෙවින් ජනප්‍රිය වූ එම චිත්‍රකතා තුනෙහි නිර්මාණ ශිල්පියා වූ ඔහු ජනප්‍රියතම චිත්‍රකතා ශිල්පියා ලෙස හැඳින්විය හැකිය.
1949 මැයි 18 වැනිදා උපන් දොරවල බැද්දලාය සරත් බැද්දගේ බලන්ගොඩ බුද්ධජයන්ති මහ විදුහලින් මූලික අධ්‍යාපනය හදාරයි. පසුව බලන්ගොඩ මහ විදුහලට සහ දෙහිවල මධ්‍ය මහ විදුහලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබයි.
අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු විද්‍යා ගුරුවරයෙකු ලෙස පළමු ගුරු පත්වීම ර/ශාරිපුත්‍ර මහ විදුහලට ලැබෙන්නේ 1973 සැප්තැම්බර් 03 වැනිදා සිටය.
*පළමු චිත්‍රකතාව :
ඔහුගේ පළමු චිත්‍රකතාව වූ රාජ උදහස 1970 ජූලි මාසයේ සිට ඉරිදා ශ්‍රී ලංකාදීප පුවත්පතේ පළ වෙන්නේ සරත් බැද්දගේ නමිනි. ඒ වන විට ඔහු උසස් පෙළ සිසුවෙකි.
*සරත් බැද්දගේ සරත් මධු වෙයි:
බෙලිහුල් ඔය ගලගම විද්‍යාලයෙත් උගන්වන අතරතුර සතුට පත්තරයට නිව්රෝ අඳින්නට අවස්ථාව ලැබීම සරත් මධු ගේ චිත්‍රකතා දිවියේ දිගු ගමනක් යන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාවයි. ඔහු නිව්රෝ අඳින්නේ සරත් බැද්දගේ යන නමින් නොව "බලන්ගොඩ සරත් මධු" නමින්ය. බලන්ගොඩ සරත් මධු යන නම චිත්‍රකතා ලෝකයට එකතු වන්නේ ඒ අනුවය.
*සිත්තර යුගය :
සතුට කර්තෘ බන්ධුල සමරසිංහ සතුට පත්තරයෙන් ඉවත් වන විට ඔහු සමග ගොස් සිනෙත්‍ර නමින් චිත්‍රකතා පොත් මුද්‍රණය කරන්නට සම්බන්ධ වෙයි. පසුව කැමිලස් පෙරේරාගේ ආරාධනාවෙන් සිත්තරට සම්බන්ධ වෙයි. සිත්තර යුගය යනු ඔහුගේ චිත්‍රකතා ජීවිතයේ ස්වර්ණමය යුගයයි. චින්තන ජයසේන හා ඉතින් ඊට පස්සෙ කතාවේ නම තැබීම පිළිබඳ කතාව ඉතා ප්‍රසිද්ධිය. සරත් මධු සිත්තරට අඳින්නට ලියූ චිත්‍රකතාව චින්තන ජයසේනට විස්තර කරද්දී කියවුණු "ඉතින් ඊට පස්සේ" යන්න චිත්‍රකතාව සඳහා යොදාගෙන ඇත. ඉන් පසුව ඔහු චිත්‍රකතා පත්තර බොහෝ ප්‍රමාණයකට ජනප්‍රිය චිත්‍රකතා රාශියක් නිර්මාණය කරයි. මුද්‍රණ යන්ත්‍රයක් මිල දී ගෙන සදාවාසනා චිත්‍රකතා පත්තරය (1990) සහ චූටි ළමා පත්තරයක මුද්‍රණය කරයි. එය අසාර්ථක වූ පසුව සත්සිරි පත්තරයට සම්බන්ධ වෙයි.
සදාවාසනා සහ සිරිසරු ඔහුගේම සංස්කරණයෙන් බිහි වූ චිත්‍රකතා පත්තර දෙකකි.
*වීර කතා හා ආදර කතා :
සතුට පත්තරේට "නිව්රෝ" අඳින සරත් මධු සිත්තර මංගල කලාපයෙන් ම "යුනිකෝ" සහ "ඉතිං ඊට පස්සෙ" රසිකයින් වෙත පිරිනමයි. "යුනිකෝ"ගෙන් සංකේතවත් වෙන්නේ වීරත්වයයි. "ඉතිං ඊට පස්සෙ" සංකේතවත් කරන්නේ ආදරය යි.
නිව්රෝ සහ යුනිකෝ යනු වීර කතා රැල්ලක මූලාරම්භය ලෙස හැඳින්වීම අසාධාරණ නොවෙයි. ඉතිං ඊට පස්සෙ කතාව ද ආදර කතා රැල්ලකට මුල් වූ බව ද එසේ සඳහන් කළ හැකි කරුණකි.
" සිත්තර පත්‍රය ජනප්‍රිය වූ කාලයේ දේදුනු කැලුම් ලාගේ යුගයක් අපට තිබුණා. මේ යුගයේ දේදුනු කැලුම් නමින් එකිනෙකා අමතාගත් පෙම්වතුන්, ඔවුන්සේ හිස පීරන තරුණ තරුණියන්, සමාජයේ සුලභ දසුනක් වුණා. ( වත්මන සඟරාව)
සරත් මධු සිත්තරෙන් ආරම්භ කළ "ඉතින් ඊට පස්සෙ" සහ "යුනිකෝ" ඉතා දීර්ඝ කාලයක් පළ වූ චිත්‍රකතා දෙකක් ලෙස ද වාර්තා ගත වෙයි.
" ඉතින් ඊට පස්සෙ චිත්‍ර කතාවේ නිර්මාතෘවරයා සරත් මධු මහතායි. ඔහු හදිසියේම සිත්තර පත්තරෙන් ඉවත්ව ගියාට පසු එම පුවත්පත් ආයතනයේ ඉල්ලීම මත මා ඒ චිත්‍ර කතාව ඉදිරියට ගෙන ගියා. අවුරුදු හතරක් පමණ මා ඉතින් ඊට පස්සෙ ඇන්දා. (රිවිර, ගුණපාල ජයලත්) ඒ අනුව සරත් මධු එහි කොටස් 105 ක් දක්වා ඇඳ ඇත. ඉන් පසුව ගුණපාල ජයලත් සහ රාණි හේමලතා අතින් එය නොකඩවා ඉදිරියට නිර්මාණය වුණා. යුනිකෝ පවා නොකඩවා පළ වුණේ මේ අයුරිනි.
• ඉරිදා ශ්‍රී ලංකාදීප - රාජ උදහස (කතාව ධර්ම ශ්‍රී කල්දේරා)
• සතුට -නිව්රෝ
• විජය සතුට -සිහිනයක මල් පිපිලා
• සිත්තර -යුනිකෝ, ඉතිං ඊට පස්සෙ
• සිත්සර-කෙල්ලො
• දසුන -ඉත්තෑවා, සිරාලී, සෙන්රෝ, ඉස්සරට වඩා, 7,
• සත්සිරි-තිත් පොළඟා, ඝානාවේ සිංහයා, ෂාරෝ උකුස්සා, බේරිල්ලක් නෑ, සමනලියේ, හංසි, දේදුන්නක් පායා, ස්පාක්
• සදාවාසනා -නයා, සිතින් ලංවී, කියල වැඩක් නෑ, නිව්රෝ, සඳ උතුරා
• සිතුවම -සෙන්රෝ
• FB චිත්‍රකතා- හග්ටාස්-අදිසි මාලිගය
• හිතවත- සමන් මල්
• සුහද-හතර
• සත්රිසි-නයා, තිත් පොළඟා, ස්පාක්, හිමකඳු, රයිනෝස්z, Love,
• සංරස- බේරිල්ලක් නෑ, උකුස්සා
• රිසිරස- යුනිකෝන්
• සිරිසරු- යුනිකෝන්, සීමාවක් නෑ
# චිත්‍රකතා පොත්-
නීලෝ (සිනෙත්‍ර ප්‍රකාශන ), පුවත්පත් වල පළ වූ නිව්රෝ, රාජ උදහස වැනි කතා ද දැන් චිත්‍රකතා පොත් ලෙස රස විඳින්න්ට හැකිය.
# ජනප්‍රිය ටෙලිනාට්‍යය -
ඉතිං ඊට පස්සෙ ටෙලි නාට්‍යයකට ද නැගුණා.එහි අධ්‍යක්ෂණය චන්දික විජයසේන ගෙනි. වික්ටර් රත්නායක ගායනා කරන "ඉතිං ඊට පස්සේ ඔබේ රන් පිළිරූ" ගීතය ද එම චිත්‍රකතාව අරමුණු කරගෙන නිර්මාණය වූවකි.
# සංකේත නම්-
ඔහුගේ සමහර චිත්‍රකතාවක නම වෙනුවට සංකේත භාවිත කර තිබීම විශේෂ ලක්ෂණයකි. හතර ( ඇඟිලි ගතරක්), නයා (නයෙක්), ඉත්තෑවා (ඉත්තෑවෙක්), හත (7)
# වෙසක් පොසොන් තිළිණ -
වෙසක් පොසොන් වැනි මාස වලදී ඔහු ඇඳි බුදුන් වහන්නේගේ රුව සහිත කවරය හා තිළිණය ද රසිකයින් භක්තියෙන් පිළිගත්තා.
# චිත්‍රකතා ශෛලිය -
මේ සරත් මධු ගේ චිත්‍රකතා නිර්මාණ භාවිතය පිළිබඳව පළ කළ සාධනීය මෙන්ම විවේචනාත්මක කරුණු කිහිපයකි.
"සරත් මධු, චිත්‍රකතා සම්ප්‍රදායේ නව බලවේගයක් ලෙස ඉස්මතු වෙන්නට පටන් ගත්තේ සිත්තර පුවත්පතේ ඉතා ජනප්‍රිය වූ 'ඉතිං ඊට පස්සේ' (1975) ඇරඹීමත් සමඟය. සිත්තර අච්චු ගැසීම සල්ලි අච්චු ගැසීමක් ලෙස එකල මතයක් ගොඩ නැගී තිබුණේ මෙවැනි කතාවල අතිශය ජනප්‍රියත්වය වටා ගොඩ නැගුණු දැඩි පාඨක ඉල්ලුම හේතුවෙනි." (චිත්‍රකතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)
"දේදුනු කැලුම් මත බිහි වූ ලෝකය චිත්‍රකතා සම්ප්‍රදායේ නව රටාවක් ඇති කිරීමට සමත් වීම වෙසෙසින් ම අපගේ අවධානයට යොමු විය යුත්තකි. මේ ජනප්‍රියත්වයෙන් වඩාත් ප්‍රයෝජනයට ගැනීමට තැන් කළ නිසාදෝ වෘත්තීය මට්ටමේ චිත්‍රකතා ශිල්පියෙකු වූ සරත් මධු පසු කාලීනව නිර්මාණය කළ කතාවල දැඩි ඒකාකාරී හා නීරස වීමක් දක්නට ලැබුණි."(චිත්‍රකතාවේ සමාජ මුහුණුවර)
# අවසන් චිත්‍රකතාව -
අවසන් චිත්‍රකතාව වූ "සිහිනයක මල් පිපිලා" කතාවේ තවත් කොටසක් අඳිමින් සිටි සරත් මධු සිය ආදරණීය බිරිඳ කාන්ති ලතා මහත්මියගෙන්, දරු දෙදෙනාගෙන් හා සුවහසක් ආදරණීය චිත්‍රකතා රසිකයින් ගෙන් සමුගෙන දිවිසැරිය නිමා කරන්නේ 2018 අගෝස්තු 17 වැනිදාය.
• උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• සිත්තර දසුන් පිටුවට
• SL Comics වෙත
• සහ තොරතුරු ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටම
# පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර =
• සුපිරි ගේ කොලම
• අන්තර් ජාලය
• රිවිර සහ වත්මන සඟරාව
No comments:
Post a Comment