කාටූන් කලාවේ ගජමෑන් - කැමිලස් පෙරේරා
කාටූන් පත්තර කලාවේ "ගජමෑන්" සමග මතකයට නැගෙන නම කැමිලස් පෙරේරා ය.
පොකට් කාටූන් ශිල්පියෙකු ලෙස සිය කලා ජීවිතය අරඹන කැමිලස් පෙරේරා, ගජමෑන් සමග ආ ගමන් මගේ කූඨප්‍රාප්තිය වන්නේ ගජමෑන් ගේ රුව යොදා ගෙන කැමිලස් ප්‍රකාශන සමාගම ආරම්භ කිරීමය. ගජමෑන් උපත ලබන්නේ 1972 දී සතුට චිත්‍රකතා පත්තරේ සමගයි.
*ජීවන තොරතුරු :
1939 දෙසැම්බර් පළමු වැනිදා මීගමුවේ උපන් කුරුකුලසුරිය එලිජියස් කැමිලස් පෙරේරාගේ පියා තෝමස් පෙරේරා ය. මව මේබල් ප්‍රනාන්දු ය. මීගමුවේ රෝමානු කතෝලික සිංහල විදුහලින් සිය අධ්‍යාපනය ආරම්භ කරන කැමිලස් සිසුවා මීගමුවේ මාරිස් ස්ටෙලා විදුහල සහ ශාන්ත මරියා විදුහල යන විදුහල් වලට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබයි.
විවාහ දිවියට එළඹෙන්නේ 1969 දී ය. බිරිඳ කොන්සිලියා ප්‍රනාන්දු මහත්මිය යි. ගයාන් සහ මයුර එම දෙපලගේ පුතා සහ දියණියයි.
*පෙර මග ලකුණු:
කැමිලස් කාටූන් ශිල්පියෙකු වීමේ පෙර නිමිති පහළ කරන්නේ පාසල් වියේදී ම ය. ඒ පාසලේ විදුහල් පතිතුමා ගේ සහ ගුරුවරයෙකු ගේ දුර්වලතාවන් දැක ඔවුන් සරදමට ලක් කර කාටූන් ඇඳීමෙනි. ඔවුන් මේ කුඩා කාටූන් ශිල්පියා සමග උරණ වූයේ නැත. ඔහුගේ ගමනට මේ සිද්ධීන් යම් උත්තේජනයක් සපයන්නට ඇත.
උසස් පෙළ විභාගයට පෙනී සිටින අතරතුරම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අම්බලන්මුල්ල මැටි කර්මාන්ත ශාලාවේ මැටි භාණ්ඩ අංශයෙහි පුහුණුව ලැබීමට තීරණය කරන්නේ රැකියාවක් සොයා ගැනීමේ අදහසිනි.
පාසල් වියේදී කාටූන් ශිල්පියෙකු වීමේ සිහිනයක් සිතෙහි තිබුණද දෙමාපියන් ගේ ඉල්ලීමට අනුව ඔහු පළමු රැකියාව ලෙස තෝරා ගන්නේ පුත්තලම කච්චේරියේ සැලසුම් ශිල්පී තනතුරය. පසුව ඔහු කොළඹට ස්ථාන මාරුවක් ලබා ගන්නේ තම සිහිනය සැබෑ කරගන්නට එය පහසුවක් බව තේරුම් ගෙනය.
*පළමු කාටූනය :
1964 මාර්තු 04 වැනිදා ඔහුගේ කාටුනයක් පළමු වරට ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතෙහි පළ කරන්නේ සුමනා සපරමාදු පුවත්පත් කතුවරියයි. ඒ ඔහුගේ පුවත්පත් කලාවේ ආරම්භය යි . ඊළඟට තලංගම ජයසිංහ මහතා ඔහුගේ කාටූන් කිහිපයක් ලේක්හවුස් පුවත්පත් වල පළ කළේය.
1966 ජනවාරි 01 වැනිදා "දවස" පත්‍රයේ කාටූනයක් පළ වෙන්නේ, දවස ආයතනයේ ඩේවිඩ් කරුණාරත්න මහතා හමුවීමේ ප්‍රතිඵලයක් ලෙසය. කරුණාරත්න මහතා දුන් උපදෙස අනුව ඔහු තීරු කාටූනයක් අඳින්නේ "තෙපානිස්" නමිනි.
ජනතා පත්තරේට ඇන්ඳ තීරු කාටූනය "දොං සේතං" ය. ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ ඩී.එෆ්. කාරියකරවන මහතා ය. 1966 මැයි මස 01 වැනිදා ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීමෙන් පසු ඔහු අතින් කාටූන් පරපුරක් ම බිහි වෙයි.
තෙපානිස් (දවස), දොං සේතං (ජනතා), සිරිබිරිස් (සිළුමිණ ), දැක්කොත් පද්මාවතී (සරසවිය ), මිස්ටර් ලව්රිස් (සන්ඩේ ඔබ්සර්වර් ), සෙල්ලං සේන (ජනතා), ටික්කා (මිහිර ), ගජමෑන් (සතුට), සහ මගෝඩිතුමා, දොං සේතං ගේ බිරිඳ සිමෝනා, දුව මෙරායා, දුවගේ පෙම්වතා ගොඩ්ඩිං, පුතා ලපයා ආදී වශයෙනි.
*එකම චිත්‍රකතාව :
කැමිලස් පෙරේරා ඇඳි එකම චිත්‍රකතාව වන්නේ 1969 ඔබ්සර්වර් පත්‍රයට ඇඳි අසෝක මාලා ය.
*ගජමෑන් සතුට ට :
1972 දී සතුට ආරම්භයේ දී ම සතුට පත්තරේට ඇඳි ගජමෑන් ඉතා ජනප්‍රිය විය. ඔහු පසු කාලයේ දී ගජමෑන් සතිපතා කාටූන් සංග්‍රහයක් ද ලෙස පළ කළේය.
*සිත්තර යුගය:
1974 දී ලේක්හවුස් ආයතනයෙන් ඉවත් කිරීම ඔහුගේ ජීවිතයට වෙස් වලාගත් ආශිර්වාදයක් විය. චින්තන ජයසේන ගේ අද පත්තරේට කාටූන් අඳින්නට ලැබෙන්නේ ඒ අනුවය. පුවත්පත් ලෝකයේ අලුත් ආරංචියක් පැතිර ගියේ මේ අතරය. ඒ "සිත්තර" නමින් චිත්‍රකතා පත්තරයක් චින්තන ජයසේන ආරම්භ කරන බවයි. එසේ ආරම්භ වූ සිත්තර පත්තරේ වගකීම පසු කලෙක කැමිලස් පිට ම පැටවෙයි.
*ගජමෑන් සමග සත්සිරි :
සිත්තරෙන් ඉවත්ව, සත්සිරි පත්තරේ පටන් ගන්නේ 1986.03.24 සඳුදා දිනය. එය සිත්තර මෙන්ම ඉතා ජනප්‍රිය විය. ඔහු එයට නම තැබුවේ "කැමිලස් ගේ ගජමෑන් සමග සත්සිරි" යනුවෙනි.
*කැමිලස් ප්‍රකාශන :
1986 දී කැමිලස් ප්‍රකාශන ආයතනය ආරම්භ කරන අතර විවිධ පුවත්පත් සහ සඟරා රාශියක් එමගින් පළ කළේය.
කැමිලස් ගේ ගජමෑන් සමග සත්සිරි, කැමිලස් ගේ දොං සේතං සමග රසික, ලලිත,
සිව්දෙස, සිරිසර, ගජමෑන් සමග සමයං, පුංචි, ඩිංකි, හපනා,, සමතා, උගතා, ජගතා, රුසියා, පුංචි, විශ්ම, කිංකිණි,Enjoy ENGLISH.
*කැමිලස් ගේ කාටූන් පරපුර :
තෙපානිස් , දොං සේතං , සිමෝනා , මෙරායා , ගොඩ්ඩිං අයියා, ලපයා, සිරිබිරිස් , මිස්ටර් ලව්රිස් , දැක්කොත් පද්මාවතී, ටික්කා, ගජමෑන් , මගෝඩිස්තුමා, ඩොල්පිනා, සොපියා, ස්වීටි, සල්ලං සේන, බුරියා, පැටෝ, චූටි.
*කාටූන් ශෛලිය :
ඔහු සිය කාටූන් ගැන 1982 මාර්තු කල්පනා සඟරාවට මෙසේ පවසා ඇත.(පාලිත ලක්ෂ්මන් ද සිල්වා මහතා ගේ ලිපියකිනි.)
"එක් පිරිසක් හෝ දේශපාලන චරිතයක් මුල් කරගෙන පුද්ගල හෝ පාක්ෂික පහරදීමක් මගේ කාටූන් චිත්‍රවල නෑ. විනෝදය සහ ඉපහාසය ලබා දෙමින් පොදුවේ මහජන පැත්ත ගැනීමයි මගේ අරමුණ. "
කැමිලස් ගැන මේ සඳහන ද ඉතා වැදගත් ය.
"සාර්ථක කාටූනයක් නිර්මාණය කිරීමට ප්‍රතිභානයත්, ව්‍යුත්පත්ති ඥානයත් යන දෙකම අවශ්‍යය. සහජයෙන් ලත් චිත්‍ර ඇඳීමේ හැකියාවට සමාජමය හා දේශපාලනමය අත් දැකීම් මුසු වන්නේ ව්‍යුත්පත්ති ඥානය නිසාය. කැමිලස් මේ ගුණාංග දෙකෙන් ම සන්නද්ධ ව සිටී. කැමිලස් ගේ ඇස නොගැටුණු සමාජ ස්ථරයක්, කැමිලස් ගේ ඇස නොගැටුණු සමාජ සංසිද්ධියක් නැති තරම් ය. (අර්ථාන්විත සිනාව ඔහු ගේ ආදර්ශ පාඨය යි,මහාචාර්ය සුනිල් ආරියරත්න, සිළුමිණ , 2002.06.09)
#ස්තුතිය =
• උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• ගජමෑන් ගේ කැමිලස්, ප්‍රියංකා කහවණුගොඩ, රිවිර, 2006. 07.23
• 1982 මාර්තු කල්පනා සඟරාවේ පාලිත ලක්ෂ්මන් ද සිල්වා මහතා ගේ ලිපිය
• අර්ථාන්විත සිනාව ඔහු ගේ ආදර්ශ පාඨය යි,මහාචාර්ය සුනිල් ආරියරත්න, සිළුමිණ , 2002.06.09
• සුපිරි ගේ කොලම
No comments:
Post a Comment