Friday, 8 December 2023

COMIC ARTISTS INFORMATION

11. ධනපාල ගාල්ලගේ මහතා
  Mr. Danapala Gallage 
 
ළමා ලොව සිතුවමින් හැඩ කල - 
            ධනපාල ගාල්ලගේ
 
ළමා සිත්තරකු ලෙස චිත්‍ර නිර්මාණයේ දස්කම් දක්වමින් කලා දිවිය ආරම්භ කළ ධනපාල ගාල්ලගේ කලාකරුවා, තමන්ටම අනන්‍ය වූ චිත්‍ර ආරකින් ළමා පුවත්පත් හැඩ කළ චිත්‍ර ශිල්පියෙකි. ශිෂ්‍ය පරම්පරා කිහිපයකට චිත්‍රකලාව දායාද කළ විශිෂ්ට චිත්‍රකලා ගුරුවරයෙකි.
 
*ජීවන තොරතුරු :

මාතර, මඩිහ ගම් පියයේ දී උපත ලද ගාල්ලගේ දොන් ධනපාල නම් ළමා සිත්තරාගේ දෙමාපියන් වූයේ ගාල්ලගේ දොන් කරෝලිස් මහතා සහ ජයවික්‍රම කංකානම්ලාගේ හින්නි හාමි මහත්මියයි. පාසල් වියේදී ම චිත්‍රකලාවට දස්කම් දැක්වූ මේ ළමා සිත්තරා ප්‍රකට වූයේ ධනපාල ගාල්ලගේ නමිනි.

කඹුරුගමුව කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළත්ව එහිදී මාස කිහිපයක් අධ්‍යාපනය හදාරන ධනපාල සිසුවාට මාතර රාහුල විද්‍යාලයට ඇතුළත්ව එස්.එස්.සී විභාගය දක්වා එහි ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වුණේය. එය ස්වර්ණමය අවස්ථාවක් වන්නේ  ඔහුගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ඔප වැටෙන්නේ එහිදී බැවිනි. රාහුල විදුහලේ චිත්‍ර ගුරුවරයා වූ ජස්ටින් විජයවර්ධන මහතා ඔහුට චිත්‍ර ඇඳීමේ පුහුණුව ලබා දුන් මුල්ම ගුරුවරයා වෙයි. (මාතර ජස්ටින් විජයවර්ධන මහතා ප්‍රකට ලේඛකයකු ද වෙයි.)

*ළමා සිත්තරා:

මෙහි පහත උපුටා දක්වන්නේ ධනපාල ගාල්ලගේ සිසුවා ළමා සිත්තරෙකු ලෙස පුවත්පත් වල ඇගයීමට ලක් වූ අවස්ථා  දෙකකි.


 
* "චිත්‍ර ශිල්පියෙක්"

"මාතර රාහුල විද්‍යාලයේ ධනපාල ගාල්ලගේ චිත්‍ර ඇඳීමට දක්වන්නේ අති දක්ෂකමෙකි. ඔහු මෙවර රාහුල මහා විද්‍යාලයේ ධර්මපාල තුමාගේ උපන් දිනය නිමිත්තෙන් පවත් වන ලද මාතර දිස්ත්‍රික්කයේ පාඨශාලාන්තර චිත්‍ර තරගයේ 19 යෙන් ඉහල අය සඳහා පිරිනමන ලද පළමුවන හා දෙවන ත්‍යාගයන් දිනා ගත්තේ තවත් ගෞරව සහතික දෙකක් ද හිමිකර ගනිමිනි. 


චිත්‍ර ඇඳිමට මෙන්ම ඇඹීමට ද ඔහු දක්ෂ කමක් දක්වයි."(1961 දී පළවූ පුවත්පතකින් උපුටා ගත්තකි.)


* "අපේ සිඟිති සිත්තරෙක්"

"කුමාර මණ්ඩපයට නිතර පාහේ චිත්‍ර සපයන කඹුරුගමුවේ මඩිහේ ධනපාල ගාල්ලගේ යාලුවා මාතර රාහුල මහා විද්‍යාලයේ දෙටු පෙළ ශිෂ්‍යයෙකි. ඔහු විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වන්නේ වාණිජ විෂය අංශයෙනි.

ධනපාල කුඩා කල සිටම රූප ඇඳීම හා ඇඹීම ගැන ඉතා ආශාවක් දැක්වූ ළමා සිත්තරෙකි. චිත්‍ර තරග කිහිපයකින් සහතික ලබා ඇති ඔහු ලංකාවේ පළමු වැනි අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේත් මහා පණ්ඩිත කුමාරතුංග මුනිදාසයන්ගේත් රූප ඇඹීමෙන් පදක්කම් දිනා ගත්තේය. 

තමාට සිත්තම් මුලින්ම පුහුණු කළ ගුරුතුමා වූ මාතර ජස්ටින් විජයවර්ධන මහතා ගැන ධනපාල සඳහන් කරන්නේ මහත් ආඩම්බරයෙනි." (ජනතා පත්තරයේ පළ වූවකි.)

*චිත්‍ර කලාව හැදෑරීම:

පාසල් අධ්‍යාපනයෙන් පසුව හේවුඩ් නමින් හැඳින් වූ රජයේ කලායතනයට ඇතුළත්ව එහිදී  වැඩිදුරටත් චිත්‍ර කලාව හදාරන්නට අවස්ථාව හිමි වීම ඔහු ලද භාග්‍යයකි. ඒ බව සනාථ කරමින් 1967 වසරේ දී චිත්‍ර අංශයෙන් හොඳම සිසුවා ලෙස තේරී පත්වන්නේ ධනපාල ගාල්ලගේ සිසුවාය. ප්‍රකට චිත්‍රකතා ශිල්පියෙකු වූ ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන එවකට ඔහු සමඟ එකට ඉගෙන ගත් සිසුවෙකි. සංගීතය හැදෑරූ රෝහණ වීරසිංයන් හා ලක්ෂ්මන් විජේසේකරයන් ද ඔහුගේ සමකාලීනයෝ වෙති

එවකට හේවුඩ්හි චිත්‍ර කලා ගුරුවරුන් වූයේ මහගම සේකර, තිස්ස රණසිංහ , ස්ටැන්ලි රණසිංහ, ගුණපාල වික්‍රමරත්න වැනි ගුරු භවතුන්ය. මේ දක්ෂ සිසුවාට ඔවුන්ගෙන්  චිත්‍ර කලාව හදාරන්නට ලැබීම ද වාසනාවකි.

*චිත්‍රකලා ගුරුතුමා :

හේවුඩ් ආයතනයෙන් නික්මීමෙන් අනතුරුව ගාල්ලගේ තරුණයාට මුල්ම චිත්‍ර ගුරු පත්වීම ලැබෙන්නේ දෙයියන්දර මහා විද්‍යාලයටය. ඒ 1972 වසරේ දී ය. ඉන් පසුව විදුහල් කිහියක චිත්‍ර ගුරුවරයකු ලෙස කටයුතු කරන ගාල්ලගේ මහතා  2005 දී ගුරු උපදේශකයකු ලෙස විශ්‍රාම ලබයි. 

එම විදුහල් හා ආයතන මෙසේය. 


1973 උතුරු මාලිම්බඩ මහා විද්‍යාලය 

1974 සෞන්දර්ය ගුරු විද්‍යාලය- ගිරාගම

1976 බිබිල මධ්‍ය මහා විද්‍යාලය 

1984-1988 මාතර ශාන්ත තෝමස් විදුහල

1988 මාතර රාහුල විදුහල 

1997 ගුරු උපදේශක , වැලිගම අධ්‍යාපන කාර්‍යාලය

2000 ගුරු උපදේශක, මාතර අධ්‍යාපන කාර්‍යාලය

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මාතර රෝහණ මහා විද්‍යාලයේ දී පවත්වාගෙන ගිය සෞන්දර්ය සම්පත් මධ්‍යස්ථානයේ චිත්‍ර අංශය භාරව කටයුතු කළේ ධනපාල ගාල්ලගේ ගුරුතුමා බවයි. එහිදී  චිත්‍ර පිළිබඳ පුහුණු පාඨමාලාව 1982 දෙසැම්බර් සිට 1984 දෙසැම්බර් කාලය තුළ සෙනසුරාදා දිනයන්හි පැවැත්වුණි. (සිත් තරු වරුණ  සම්පාදක එම පාඨමාලාව හැදෑරූ සිසුවෙකි).

*මතක සටහන් :

එතුමා ගේ චිත්‍රකලා දිවියේ මතක සටහන් හා පුවත්පත් නිර්මාණ දායකත්වය.

• හේවුඩ් ආයතනයේ ඉගෙන ගන්නා අවදියේ මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු මහතා පළ කළ "ලස්සන" සිනමා පත්තරයට 'මායා' නමින් චිත්‍රකතාවක් ඇඳීම.

• මිහිර පත්තරයේ මුල් කලාපයේ සිටම ප්‍රහේලිකා, මැද පිටු කතා, චිත්‍ර ඇඳීම 

• ලේක්හවුස් හවස ජනතා පත්තරයේ කුමාර මණ්ඩපයට චිත්‍ර ඇඳීම 

• තරුණි පත්තරයට සම්බන්ධව කටයුතු කිරීම.

• ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ සේවය කරන කාලයේ දී හිමි වූ අවස්ථාවක් අනුව මල්ටි ෆැක්ස් ආයතනයට සම්බන්ධ වීම. 

• හපනා සහ සමතා පුවත්පත් නිර්මාණය කිරීම

• සත්සිරි පත්තරය හා එකතුව ළමා චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වීම.

• ළමා පොත් ප්‍රකාශනය (පළමු පොත රාණි ලුනුවිල ගේ පොල් කිචි නෝනෙ)

• 1979.01.01 දින "එක්සත් ජාතීන්ගේ ළමා වර්ෂය" වෙනුවෙන් සිත්තර පුවත්පතේ මුල් පිටුව නිර්මාණය.

මිහිර, සිළුමිණ, තරුණි, ජනතා, නවයුගය, සිත්තර , සත්සිරි, සුහද , ස්වර්ණ , රසික, සූකිරි , මී පැණි, හපනා , සමතා ආදී පත්තර රාශියකට ධනපාල ගාල්ලගේ චිත්‍ර කලාකරුවා සිය නිර්මාණ දායකත්වය ලබා දී ඇත.

*චිත්‍රකලා විශේෂාංග :

• විමසුම් (චිත්‍රකලා අධ්‍යයනය- සෞන්දර්ය ගුරු විද්‍යාලයේ සිහිල් ඇම් සිරිසේන මහතා සමග), සිත්තර( 1976)

• විදුරංග (විද්‍යා පාඩම), සිත්තර (1978)


*මුල්ම කාටූනය :

1960.02.04 දින සිළුමිණ පුවත්පතේ  පළවූ මුල්ම කාටූනය නිර්මාණය කර ඇත්තේ සිසුවකු ලෙසය. සිසුවකු ලෙස ඔහු 1962 දී ජනතා ළමා පිටුවට චිත්‍ර ඇඳ ඇත.

*චිත්‍රකතා :

• ඉස්කෝලෙ හාමිනේ, නවයුගය (1969)

• දිවිය ලෝකෙ (ජන කතාවක් ඇසුරින් ), සිත්තර (1975.11.10)

• රතු කැටය (එක දවසේ කතාව), සිත්තර (1976.10.20)

• ජල්බරි වලව්ව(රසික)

• ඇලඩින්, රෝයල් අන්ඩර (රචනය තල්පාවිල විජයසෝම )  රසික

• රාජකීය බඩුවක්-(රචනය තල්පාවිල විජයසෝම)- ස්වර්ණ 

• Tommy , ෆෝචූන් ( 1988)

• ගංවතුර ( සිළුමිණ )

• මායා, (ලස්සන -සිනමා පත්තරයකි)

• පිනුම් අප්පු (සූකිරි)

• තලංගම ජයසිංහයන් ගේ ඉල්ලීමකට අනුව ඇඳි පොලිස් ඉව චිත්‍රකතාව 

• HAPANA (මී පැණි) කතාව බන්ධුසේන මාලගේ ඉංග්‍රීසි චිත්‍රකතාව 

නිදුක් නිරෝගීව, විශ්‍රාමිකව සැදෑ සමය සතුටින් කාලය ගත කරන්නට ධනපාල ගාල්ලගේ කලාකරුවාණන්ට වාසනාව ලැබේවා යනු පත්තර අරණ   ප්‍රාර්ථනයයි !

චිරං ජයතු චිත්‍රකලා ගුරුතුමාණනි  !


(සු.ප්‍රි. සමරසිංහ) supprisamarasinghe@gmail.com


# ස්තුතිය =

• උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.

• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට

• SATHUTA FAN PAGE 
  (සතුට රසික සමූහයට)
• ධනපාල ගාල්ලගේ මහතාගේ තොරතුරු ලබා දීම වෙනුවෙන් නිශාන්ත කෝදාගොඩ මහතාට (ඔහුද මාතර ශාන්ත තෝමස් විදුහලේදී ගාල්ලගේ ගුරුතුමා ගේ සිසුවෙකි.)
 
 
 

No comments:

Post a Comment