සතුට පත්තරය බිහි වන විට රසිකයා ගේ වයස අවුරුදු හතරයි මාස හයකි. ඒ වනවිට රසිකයා ගේ තාත්තා මිහිරත් සතුටත් සිළුමිණත් ගෙදරට නොකඩවා අරගත් හෙයින් රසිකයා අයනු ආයනු ඉගෙන ගන්නට ඇත්තේ ඒ පත්තර කියවීමෙනි. සිළුමිණ කෙසේ වෙතත් මිහිර හා සතුටෙහි චිත්ර කතා වල චිත්ර බලා කියවන්නට උත්සාහ කළ බව රසිකයාට මතකය.
තාත්තා මේ හැම පත්තරයකම චිත්රකතා හා වැදගත් ලිපි කපා එකතු කොට පොත් හැදීමට පුරුදුව සිටියේය. මිහිරෙහි මුල් පිටුවේ කතාත් ඒ අතර වෙයි. රසිකයාට අවුරුදු පනස් තුනක් පිරෙන මොහොතෙහි වුව මේ වගතුග අද වගේ මතකයට නැගෙයි.
මෑතකදී රසිකයා මහ ගෙදර ගියේ මාස කිහිපයකට පසුවය. ඒ කොව්ඩ් වසංගතයට කොටුවී සිටි නිසා යාමට නොහැකි වූ නිසාය.
රසිකයා ගෙදර ගොස් ඉඩලත් විගස කරන්නේ තාත්තා එකතු කළ පොත් පත්තර ගොඩ ගසා ඇති කාමරය ඇවිස්සීමය. තාත්තා විසින් හදා නිතර රසවිඳි චිත්රකතා පොත් වලින් දැන් ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්පයකි. නැතිනම් ශේෂ වූ කොටස්ය.
රසිකයා කොළඹට පැමිණීමත් සමග අවධානයෙන් ගිලිහුණු ඒ චිත්රකතා පොත් වල අලුත් රසිකයන් වී තිබුණේ වෙනත් පිරිසකි. ඒ කාවුන්, මීයන් හා වේයන් ය. ඒ රසිකයන් චිත්රකතා පොත් මෙන්ම පත්තර ද රිසි සේ රස විඳි තිබුණි.
ඒ අතර අහිමි නොවූ එක් චිත්රකතා පොතක් තිබීම රාශියක් ගේ දුක යම් තරමකට තුනී කරන්නට හේතු විය. ඒ දයා රාජපක්ෂයන් ගේ 'අහිමි දඩමං' චිත්රකතා නිර්මාණයයි.
රසිකයා කියවූ ත්රාස චිත්රකතා පොත රසිකයාට ලැබුණු හැටි ලබන සතියේ.
[සුප්රි සමරසිංහ ]
No comments:
Post a Comment