Saturday 23 December 2023

රසිකයා- විසිතුන් වැනි දිගහැරුම

 

රසිකයා කියවූ මුල්ම චිත්‍රකතා පොත "ත්‍රාස" බව ඔබ දැනටමත් දන්නා කාරණයකි. ඉන් පසුව රසිකයාට කියවන්නට ලැබුණු චිත්‍රකතා පොත් වන්නේ සතුට පත්තරය සමඟ නොමිලයේ ලබා දුන් කුඩා චිත්‍රකතා පොත් පිංචි කිහිපයකි.

ඒවායින් මතක තිබෙන කිහිපයක් නම් දයා රාජපක්ෂ ගේ "ඔබ මගේ ආත්මය වේවා", "ජීවිතය නැවතිලා" සහ බන්ධුල කුමාරගේ "සිකරි" යන ඒවාය. ඉන් පසුව "සුපර් මෑන් පාසල් කාලයේදීත් "ටිංටිං" පොත් බොහෝ කලකට පසුවත් කියවන්නට ලැබුණු බව රසිකයා සිහිපත් කරන්නේ සතුටිනි. 

ඊටත් වඩා සතුටක් රසිකයාට ලැබුණේ ඉතාම මෑත කාලයේ වැඩිහිටියකු ලෙස චිත්‍රකතා පොත් රාශියක්  නිමන්සා ප්‍රකාශකයන් වෙතින් ගෙන්වා ගත් දවසේය. 

ජාතික  චිත්‍රකතා පදනම, නිමන්සා ප්‍රකාශකයෝ සහ නිර්මල ප්‍රකාශකයෝ ප්‍රකාශයට පත් කළ පොත් රාශියක් දැන් රසිකයා සතුය. ඒ පොත් මිට පෙර මෙන් විනාශ නොවී තබා ගැනීමට රසිකයා දැනටම තීරණය කර ඇත.

රසිකයා කියවූ පළමු චිත්‍රකතා පොත දැන් ඔහු ළඟ නොමැත. ඒ පොත ගෙනාවේ  අකුරැස්සේ, පරදුව රසිකයා ගේ ආචිචිලාගේ ගෙදරිනි. පරදුව ආච්චි රසිකයා ගේ අම්මාගේ අම්මාය. රසිකයා  බොහෝ පාසල් නිවාඩු කාල වලට එහි පැමිණෙයි.

රසිකගේ ලොකු මාමා කලාකාරයෙකි. ඔහුගේ අල්මාරියේ පරිස්සමට තැබූ නාට්‍ය පිටපත්, නාට්‍ය සඳහා යොදා ගත් ආභරණ සහ රංග භාණ්ඩ ආදිය වෙයි.. ඒ අතර රසිකයා ගේ සිත් ගත් දෙයක් විය. එය චිත්‍රකතා පොතකි. මෙතෙක් කල් චිත්‍රකතා පත්තර කියවා තිබුණද රසිකයා  චිත්‍රකතා පොතක් දුටු පළමු අවස්ථාව එයයි.  එය ඔහුගේ ඇඳුම් බෑගයේ සඟවා තබාගෙන, ගෙදර එනවිට ගෙනාවේ චිත්‍රකතා පොතට ඇති ආසාවටය.

චිත්‍රකතා පොතේ නම "ත්‍රාස" ය. 

එය ගුණපාල ජයලත් ගේ නිර්මාණයක් බව යන්තම් මතක තිබුණත් ඒ ගැන හොඳින් දැනගත්තේ මෑතකදීය. ත්‍රාස චිත්‍රකතාවේ මුල් පොත එය විය. එහි දෙවැනි කොටසක් ද වෙයි. එදා ආච්චිලාගේ ගෙදරින් ගෙනා පොත දැන් රසිකයා ළඟ නැතත් මැතදී මිළඳී ගත් "ත්‍රාස" චිත්‍රකතා පොත ඔහුගේ චිත්‍රකතා පොත් එකතුවෙහි ඇත.
 
[සුප්‍රි සමරසිංහ ]


 
 

No comments:

Post a Comment