Sunday, 3 December 2023

COMICS ARTISTS INFORMATION

 10. ගුණපාල ජයලත් මහතා 
    Mr. Gunapala Jayalath 
    ( )

විශිෂ්ට චිත්‍රකතා ආරකින් චිත්‍රකතා දිවිය අරඹා ජනප්‍රියත්වයේ කිරුළ සොයා ගිය-ගුණපාල ජයලත් 

ගුණපාල ජයලතුන් යනු විශිෂ්ට චිත්‍රකතා පෙළක් මෙන්ම ජනප්‍රිය චිත්‍රකතා පෙළක් චිත්‍රකතා රසිකයින් වෙත තිළිණ කළ ප්‍රවීණ චිත්‍රකතා ශිල්පියෙකි.

*කවුද මේ "ගල්දෙණිය" -

සතුට පත්තරය ආරම්භ වූ මුල් කාලයේ විශ්ව සාහිත්‍යයේ කෙටිකතා , ජන කතා, ග්‍රීක කතා ආදී කතා පදනම් කරගෙන එක දවසේ චිත්‍රකතා මාලාවක් අඳින ලද්දේ ගල්දෙණිය නම් චිත්‍ර ශිල්පියා විසිනි. ඔහුගේ මේ අපූරු  චිත්‍රකතා  ආර අනුව යමින් තවත් ශිල්පියෙකු ද චිත්‍රකතා ඇන්දේය. 

ඔහු ගුණපාල ජයලත් ය. 

මේ ගල්දෙණිය හා ගුණපාල ජයලත් යනු දෙදෙනෙකු ද නැතිනම් එකම චිත්‍රකතා ශිල්පියෙකු ද යන්න එදා චිත්‍රකතා රසිකයින්ට තිබූ ගැටලුවයි. එසේම එවැනි විශිෂ්ට චිත්‍රකතා ආරකට හිමිකම් කියූ ගුණපාල ජයලත් පසු කාලීනව ජනප්‍රිය කතා ආරකට මාරු වීම ද කතා බහට ලක් වූ කරුණකි.

කෙසේ වෙතත් , තම නමින් මෙන්ම ගල්දෙණිය යන නමින්ද අගනා චිත්‍ර  කතා පෙළක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුට අපගේ ගෞරවය හිමි විය යුතුය. 

*ජීවන තොරතුරු :

කුරුණෑගල, ගල්දෙණිය ගම්පියසේ උපන් ඔහු අධ්‍යාපනය ලබන්නේ ගල්දෙණිය, යක්කාවිට, දඹගල්ල සහ බෝයවලාන යන විදුහල් වලිනි. ඔහුගේ  චිත්‍රකතා දිවියට අඩිතාලම වැටෙන්නේ

සොකරි නාට්‍ය ශිල්පියෙකු වූ සිය පියාගේ මග පෙන්වීමෙන්  ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඇල්. ඒ. සිරිවර්ධන මහතා සහ එවකට රජයේ චිත්‍රපට හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වූ ගස්පේ රත්නායක මහතා  හඳුනා ගැනීමය.

ඔහුගේ ජීවන සහකාරිය වන්නේ රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවක හා චිත්‍රකතා රචකාවියක වූ අනෝමා ගංගොඩ මහත්මියයි.  මද්දුමී, රැල්ල වෙරළට ආදරෙයි වැනි චිත්‍රකතා කිහිපයක ම රචකාවිය ඇයයි.

*කලා දිවිය:

1967 දී  "නිලමෙගෙ නලාව" නමින් එක දවසේ චිත්‍රකතාවක් "රිවිරැස"ට අඳිමින් චිත්‍රකතා ලෝකයට එකතුවන "ගල්දෙණියේ පී. ගුණපාල ජයලත්", වීදිය බණ්ඩාර කතා පුවත අනුව "කෝට්ටේ ව්‍යයාඝ්‍රයා" නමින් කොටස් වශයෙන් පළවෙන චිත්‍රකතාවක් රිවිරැසට අඳියි. බන්ධුල සමරසිංහ මහතා ගේ මඟ පෙන්වීමෙන් සතුට පත්තරයට සම්බන්ධව එක දවසේ කතා හා වීරකේතු ආදී කතා නිර්මාණය කිරීම, ඔහු ඉවත් වන විට ඔහු සමඟ සිනෙත්‍ර පත්තරය, ත්‍රාස, සීරා ආදී චිත්‍රකතා පොත් පළකිරීම, සිත්තර සත්සිරි දක්වා ආ ගමනේ මඟ සලකුණුයි. 

සිනෙත්‍ර චිත්‍රකතා පොත් ලෙස  ඔයා බැන්දෙ,  රෑ මනාලී, ත්‍රාස, මරු සිරා, හිමරි, වර්ණ වැනි චිත්‍රකතා නිර්මාණය කළේය.

*සරත් මධු ගේ අනුප්‍රාප්තිකයා :

සරත් මධු හදිසියේම සිත්තර පත්තරෙන් ඉවත්ව ගියාට පසු එම පුවත්පත් ආයතනයේ ඉල්ලීම මත  ඉතින් ඊට පස්සෙ සහ යුනිකෝ  චිත්‍රකතා ඉදිරියට ගෙන ගියේ ගුණපාල ජයලත්  විසිනි.

ඔහු එසේ තවත් කෙනෙකු ගේ අනුප්‍රාප්තිකයෙකු වී චිත්‍ර අනුකරණය කිරීම නිසා ස්වීයත්වය නැති වී ගිය බව සමහරුන්ගේ මතයයි. තවත් මතයක් වන්නේ චිත්‍රකතා ශිල්පියෙකු ගේ හදිසි ඉවත් වීමක දී ඒ අභියෝගය බාර ගැනීමට හොඳ ආදේශකයක් වූයේ ඔහු බවයි.

ගුණපාල ජයලතුන් ගේ අරම්භක චිත්‍රකතා ආර එලෙසම වර්ධනය කර ගත්තා නම් ඔහු විශිෂ්ට චිත්‍රකතා ශිල්පීන් අතර මුල් තැනට පැමිණෙන බව නොඅනුමානය.

*චිත්‍රකතා :

ගුණපාල ජයලතුන් ගේ අගනා චිත්‍රකතා මාලාව

*සතුට පත්තරයට ඇඳි කෙටි චිත්‍රකතා :

• ගැටේට ගැටේ (ගල්දෙණිය නමින්) 

• එකට එක (ගුණපාල ජයලත් නමින්) කතාව- උපාලි පෙරේරා 

• මනුස්සකම (ගල්දෙණිය නමින්)

• කුඩය (විකට කතාව) ගල්දෙණිය නමින්)

• ගහටත් නෑ ගෙඩියටත් නෑ (ගුණපාල ජයලත් නමින් )

• බැරිම තැන (ගුණපාල ජයලත් නමින්)

• නරක කලට දෙවියොත් අහක බලති. (ගල්දෙණිය නමින්) (ලියෝ ටෝලස්ටෝයි ගේ කතාවක් ඇසුරින් සැකසුම-උපාලි පෙරේරා) කොටස් දෙකකි.

• සවර්ගයට පාර (ගල්දෙණිය නමින් )

• දෙවියන්ටත් ජුවල් ගිහින් (ගල්දෙණිය නමින් )

• හැටට හැටේ (ගල්දෙණිය නමින් )

• දීලත් බෑ නොදීත් බෑ (ගුණපාල ජයලත් නමින්) (ඇල්බර්ටෝ මොරොවියාගේ කෙටිකතාවක් ඇසුරින් සැකසුම-උපාලි පෙරේරා )

• වක්කඩේ හකුරු හංගයි (ගුණපාල ජයලත් නමින්,  කතාව-හිරිකුළුවේ ආරියවංශ)

• රිවිරැස -නිලමෙගෙ නලාව, කෝට්ටේ ව්‍යයාඝ්‍රයා (කතාව ගස්පේ ගුණසිංහ දිසානායක), සුදු රෝස (කතාව ජයසේකර අපොන්සු)

• සතුට-වීර කේතු (ගුණදාස පෙරේරා ගේ සෙනෙවි පදවිය නවකතාව ඇසුරෙන් සැකසුම උපාලි පෙරේරා), ප්‍රොමිතියස් (සැකසුම බන්ධුල සමරසිංහ), හර්මිස් (සැකසුම බන්ධුල සමරසිංහ ), ශ්‍රේෂ්ඨ ජීවිතයකින් බිදක් "ආකිමිඩීස්", (සැකසුම ඇම්.ඩී. ඇෆ් ඔස්ටින්), විද්‍යා කතාව "පොළොවෙන් උඩට" (සැකසුම තිලක් වීරසිංහ )

• සිත්තර-ඉතින් ඊට පස්සෙ සහ යුනිකෝ (සරත් මධුගෙන් පසු), යුනිකෝ සිසිලාටා

• සත්සිරි-ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත්, සමුදුරක් සේ ආදරෙයි, රැල්ල වෙරළට ආදරෙයි (කතාව අනෝමා ගංගොඩ ), ප්‍රේමයේ නාමයෙන්, එලීනා දෙව්දුව, අපි අපේ නොවේ (කතාව අනෝමා ගංගොඩ ), ට්‍රෝජන්, මද්දුමී (කතාව අනෝමා ගංගොඩ ), ඇහෙනවනම් සිත හඬන තරම් (කතාව අනෝමා ගංගොඩ ),  වෝ (  කතාව සරත් මධු ), හිරු සඳු පවා හඬාවී

• සුහද-ඇහෙනවනම් හිත හඬන තරම් 

• සත්රිසි-ෆයිට්, යුනිකෝ, දූවිලි මීදුම (කතාව අනෝමා ගංගොඩ )

• විශ්ම-සමනල බැද්ද (කතාව වොලී නානායක්කාර ), දඬුබස්නාමානය (ජයන්ත චන්ද්‍රසිරි ගේ ටෙලිනාට්‍ය මාලාව ඇසුරින්)

• රිවිර-දුනුකේ යාය

*චිත්‍රකතා පොත්-

ත්‍රාස 1, 2, සිරා, ඔයා බැන්දෙ රෑ මනාලී,  

 මරු සිරා, හිමරි, වර්ණ


*පුවත්පත් සංස්කරණය :

කැමිලස් ප්‍රකාශනයක් වූ "ඩිංකි" ළමා පුවත්පත අනෝමා ගංගොඩ සමග එකතුවී සංස්කරණය කිරීම හා "අතුරු මිතුරු" (ලේක්හවුස් ) ළමා පුවත්පත, "විශ්ම" චිත්‍රකතා පුවත්පත සංස්කරණය කිරීමද ගුණපාල ජයලත් ගේ ප්‍රතිභාන්විත කලා දිවියේ මංසළකුණුය.

*අවසන් චිත්‍රකතාව :

ඔහු අවසන් වරට කළ නිර්මාණය වන්නේ රිවිරට ඇඳි දුනුකේ යාය චිත්‍රකතාවය ( කතාව අනෝමා ගංගොඩ). 

විශිෂ්ට හා ජනප්‍රිය චිත්‍රකතා පෙළක් සුවහසක් ආදරණීය චිත්‍රකතා රසිකයින්ට ඉතිරි කොට ගුණපාල ජයලතුන් සිය දිවිසැරිය නිමා කරන්නේ 2015 දෙසැම්බර්  23 වැනිදාය.

ශ්‍රී ලාංකීය චිත්‍රකතා කලාවට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ගුණපාල ජයලත්  කලාකරුවාණන්ට " පත්තර අරණ " ගෞරවය පුද කරමු !
(සු.ප්‍රි. සමරසිංහ)
supprisamarasinghe@gmail.com


#ස්තුතිය - 

*උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
*Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
*SATHUTA සතුට සමූහයට
*ප්‍රසංග පිගේරා මහතාට හා තොරතුරු ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටම

(ජායාරූපය අන්තර් ජාලයෙනි )


#පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර -
 
• පුවත්පත් ලිපි සහ ඔහු ගැන ලියවී ඇති සටහන්
• සුපිරි ගේ කොලම 
• අන්තර් ජාලය
 
 

No comments:

Post a Comment