Sunday, 3 December 2023

COMICS ARTISTS INFORMATION

9.දයා රාජපක්ෂ මහතා 
 Mr. Daya Rajapaksha 
 ( 1945- 2015 )
දයාවෙන් සමාජය සිත්තම් කළ  "දයා රාජපක්ෂ"


සිහිනමය සංකල්පයන් චිත්‍රකතා අහසක සිත්තම් කරනු වෙනුවට, යථාර්ථවාදී පදනමක පිහිටා මහ පොළොවෙහි සිත්තම් කළ අග්‍රගණ්‍ය චිත්‍රකතා කලාකරුවා දයා රාජපක්ෂයන් ය.

"දයා අපේ රටේ ප්‍රසිද්ධ වූයේ මෙරටේ සිටි අංක එකේ චිත්‍ර කතා ශිල්පියා ලෙසිනි. ඔහුට එම ගෞරවය එලෙසින්ම හිමිවිය යුතු වන්නේ එතෙක් පැවති මනෝරාජික චිත්‍ර කතා කලාව යථාර්ථවාදී මගකට ගෙන ආ පුරෝගාමියා ඔහු නිසාවෙනි. "(ආරියනන්ද දොඹගහවත්ත, ඉරිදා ලංකාදීප , 2915.08.02)

*ජීවන තොරතුරු :

ඔහුගේ ජීවිතය ආරම්භ වන්නේ 1942 දෙසැම්බර් 07 වැනිදා ය. එදින උපන් බෙන්තර මහකුමාරගේ දොන් දයා රාජපක්ෂ 'දයා රාජපක්ෂ' ලෙස චිත්‍රකතා ලෝකයේ සනිටුහන් වීමේ කතාවයි මේ.

දයා රාජපක්ෂයන් ගේ පියා කළුතර පයාගල සිට උඩරටට සංක්‍රමණය වූ අයෙකි. ඔහු හැදුනේ   වැඩුනේ උඩරට කඳුකරය ආශ්‍රිතව ඇති නෝර්ටන්බ්‍රිජ්හි කුඩා නගරයකය. නාවලපිටියේ අනුරුද්ධ මහා විද්‍යාලයෙන් සහ ගිනිගත්හේනේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු ජ්‍යෙෂ්ඨය සමත්වීමෙන් පසු ටික කලක් පාසල් ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

*කලා දිවිය:

ඉංග්‍රීසි කෙටි කතාවක් ඇසුරින් සිය ප්‍රථම චිත්‍රකතාව 'ඉන්දු' නමින් සිළුමිණ පත්තරයට ඇඳීම ඔහුගේ චිත්‍රකතා දිවියේ ආරම්භයයි. ඒ 1966 දෙසැම්බර් 04 වැනිදා ය.

සිළුමිණට යවන ලද ප්‍රථම චිත්‍රකතාව එවකට එහි කර්තෘ එස්. සුබසිංහ මහතා විසින් පළ කිරීමය තෝරා ගැනීම ඔහුගේ චිත්‍රකතා  කලා ගමනේ මග එළිපෙහෙළි වීමට බල පෑ ප්‍රධානම කරුණය.

*චිත්‍රකතා ආර:

දයා රජපකෂයන්ගේ චිත්‍රකතා භාවිතාව හා චිත්‍රකතා සම්ප්‍රදාය පිළිබඳව බොහෝ තැන්හි සාධනීය කරුණු රාශියක් සඳහන් වෙයි.

"සමකාලීන දේශීය චිත්‍රකතාකරුවන් අතර පුළුල් දර්ශනයකින් හා හරවත් පදනමකින් චිත්‍රකතා නිර්මාණය කළ ප්‍රමුඛ ශිල්පියෙකු ලෙස දයා රාජපක්ෂ සැලකිය හැකිය. චිත්‍රකතා වලින් හුඳු විනෝදාස්වාදය සැපයීමේ අරමුණෙහි පමණක්ම එලබ නොගෙන ඉන් ඔබ්බට ගොස් සාමාජීය ප්‍රශ්න කෙරෙහි නැඹුරුවක් දැක්වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

ඔහු චිත්‍රකතා නිර්මාණය ඇරඹූ මුල් යුගයේදී ඒවා බටහිර ශෛලියට නෑකම් කියූවද (උදා : වානරයෝ, වීණා, අනූපමා වැනි චිත්‍රකතා) දේශිය පදනමක් ඔස්සේ ඒවා නිරූපණය කිරීමට වෑයම් දරා තිබුණු බව පෙනී යයි. 
(චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර-නිසිත වර්ණසූරිය)

"අඩ සියවසක් පුරා අඛණ්ඩව චිත්‍රකතා කේෂ්ත්‍රය්හි කටයුතු කළ දයා රාජපක්ෂයන් අද්විතීය නමක් දිනා ගත්තේ බාල බොළඳ සමනල චිත්‍රකතා වලින් නොව නිළියකට පෙම් කළෙමි, නිවන් දක්වා ජාති දක්වා, හුලවාලි, හතේ වසම, මතක මංපෙත, බාඳුරා මල්, සක්විති සුවය, වෙන්කත රංගම්මා, බකට් හැරී ආපයු එයි, ආදර කොමා, සැණකෙළි හමාරයි, අසිරිමත් අතීතය වැනි කතාය. චිත්‍ර කතාව හුදු සරල බොළඳ මාධ්‍යයක් ලෙස පැවති යුගයක ඕලාරික ප්‍රේමය , ත්‍රාසය, භීතිය වෙනුවට චිත්‍රකතාවේ නිම් වළලු පුළුල් කිරීමට දයා රාජපක්ෂයන් සමත් විය. (ජීවිතය සිත්තම් කළ දයා, සුසිල් සුරවීර, මව්බිම, 2015.08.02)

"දේශීය චිත්‍රකතාකරුවන් අතර පුළුල් දර්ශනයකින් හා හරවත් පදනමකින් චිත්‍රකතා නිර්මාණය කළ ප්‍රමුඛ ශිල්පියෙකු ලෙස දයා රාජපක්ෂ සැලකිය හැකිය..... නූතන සමාජයේ ජීවත් වන පුද්ගලයින් සහ ඔවුන්ගේ ගැටළු ඔහුගේ නිර්මාණවලට නිරන්තර වස්තු විෂය විය. 

නාගරික සහ අර්ධ නාගරික, මධ්‍යම පාන්තික දිවි පෙවෙත, ගැමි ජීවන චර්යා මෙන්ම උප සංස්කෘතීන්ට අයත් සුළු ජන කොටස්හි චර්‍යාවන් දයා ගේ චිත්‍ර කතා වල එකිනෙකට වෙනස් වස්තු විෂයයන් ලෙස සැලකිය හැකිය. මානුෂික ගුණාංග වූ ක්‍රෝධය, වෛරය, රීර්ෂාව, ප්‍රේමය, මානව දයාව ආදී අංග ඒවායේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණි." (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)

"දයා රාජපක්ෂයන් ඉංග්‍රීසි කෙටි කතාවක් ඇසුරෙන් සිය ප්‍රථම චිත්‍ර කතාව ඉන්දු නමින් සිළුමිණ පුවත්පතට අඳින ලද්දේය. 1966 දෙසැම්බර් 04 දා සිට එම චිත්‍ර කතාව සිළුමිණ පුවත්පතේ පළ විය. එදා මෙදා තුර දයා රාජපක්ෂයන් ඇඳි චිත්‍ර කතා සිය ගණනකි. 

ඔහු නිර්මාණය කළ සෑම චිත්‍ර කතාවක් ම සමාජමය වටිනාකමකින් යුත්ත ඒවා විය. ඔහුටම අනන්‍ය වූ ලක්ෂණ වලින් හෙබි විය." (වසන්ත කුමාර, නිමන්සා ප්‍රකාශන)

*චිත්‍රකතා:
 
• සිළුමිණ-ඉන්දු, නළාහඬ, වානරයෝ, වීණා, අනුපමා, පරිත්‍යාගය, අහිමි දඩමං, පොඩි මාමා, නිසංසලා,සක්විති සුවය, වෙද හාමුදුරුවෝ, බකට් හැරී ආපසු එයි 
• දිනමිණ -ආදර කොමා, ආචාර්ය සයිකෝ, සුජාතා  

 
• සතුට -රක්තා, නිළියකට පෙම් කළෙමි, සක්මන් මළුව, රජ වීදිය, සපතේරුවෝ, ඔබ මගේ ආත්මය වේවා (චිත්‍රකතා තිළිණය).
• මධුර -සිව්මංසල, ඔබ මගේ ආත්මය වේවා, ජීවිතය නැවතිලා, සමුගත් වසන්තය.
• මිහිර -රේඛා
• විජය සතුට - රත්තාගේ කතාව, නම්බුකාර කොල්ලයක්, විලේකා සහ ඇස්වාට්ටුව හන්දිය (රචනය දයා රාජපක්ෂ, චිත්‍ර වසන්ත ශ්‍රීනාත් ), ජනපද ගම කල්‍යාණී, ගල් පල්ලිය, රජ වීදිය, නවරියං, සාප නොකරව් දරුවනේ, සුදු මහත්තයා, මුත්තයියා පාර, වන් හෝස් රේස්, ගල් පල්ලිය, කුරුඳු වත්ත, විසුරු කුමාරි, සපත්තු මල්, වෙරළින් ඇසුණු ගී
• නවයුගය -මැකී ගිය සිතුවම 
• සිරිකත -සසරින් එහා, තුනේ කැලෑසිය 
• ඉරිදා ලංකාදීප-ගල් පල්ලිය, ගිනිබත් කිරීටය, මතක මංපෙත, තිඹිරි ගෙපැල, කඳුළු නිවස්න, දෙකෙළවර, පස්, හතේ වසම
• ලංකාදීප -අසිරිමත් අතීතය, තිරුවා මමයි, වෙන්තක රංගම්මා, මෙපුර සරනා ලිය
• සරසවිය-හුලවාලි, බාඳුරා මල්, තවලම, ලැව් ගිනි දැල්, සාරංගා 
• වරුණ-ක්‍රිෂ්ණ
• සත්මිණ-බල රකුසා, මාතලී
• තරුණයා-අතුරු පාර
• දේශය-කාල වාසුලි 
• විජය-මිංචි, වෙරෝනාගේ සුදු අම්මා, පොඩි සාදු
• දිස්නය -කොමා
• දිමුතු -සාපලත් නිජබිම 
• The Visitor- Gihana's Flying Saucer
• සාගින්නයි ආදරයයි, නිරූපමාලා, දුලාරි, සකිසඳ එළියස්, කම්මිත්ත , නොතිත් පවස , සුබෝධා, වීණා.

*චිත්‍රකතා පොත්:

චිත්‍රකතා පොත් ලෙස සංරක්ෂණය වී ඇති චිත්‍රකතා කිහිපයක් -
• නිමන්සා ප්‍රකාශන (ඔබ මගේ ආත්මය වේවා, සාරංගා, සුබෝධා, පස්, හුලවාලි, ලැව් ගිනි දැල්)
• නිර්මල ප්‍රකාශන (තවලම, වෙද හාමුදුරුවෝ, සාගින්නයි ආදරයයි)
• ජාතික චිත්‍රකතා පදනම (අසිරිමත් අතීතය)

*සිනමාවට නැගුණු පළමු චිත්‍රකතාව :

සිනමාවට හා ටෙලි සිත්තමට නැඟුණු චිත්‍රකතා වැඩි ප්‍රමාණයක් ඔහුගේ චිත්‍රකතා විය. එසේම සිනමාවට නැඟුණු පළමු චිත්‍රකතාව ද ඔහුගේ "වානරයෝ' ය.

වානරයෝ -(සරත්චන්ද්‍ර හේරත්-1976)
හුලවාලි-(W.A.B. ද සිල්වා-1976)
අනුපමා-(සුනිල් ආරියරත්න-1978)
රක්තා-(ගාමිණි හේවාවිතාරණ-1980)
තවලම-(ලාල් පෙරේරා-1981)
බාඳුරා මල්-(ගාමිණී ෆොන්සේකා-1981)
සක්විති සුවය-(ගාමිණී ෆොන්සේකා-1982)
නිළියකට පෙම් කළෙමි-(සිරි කුලරත්න-1983)
සුබෝධා-(සිරි කුලරත්න-1983)
නිවන් දක්නා ජාති දක්වා-(සෝමවීර බෝපිටිය-1984)
අහිමි දඩමං-(ඩැනී ඩබ්ලිව් පතිරණ-1993)

ගාමිණි ෆොන්සේකා "වෙද හාමුදුරුවෝ " කතාව රූගත කරීම ද ආරම්භ කර ඇති නමුදු තිරයට පැමිණ නැත.

දුර්ලභ ගණයේ චරිත සමූහයකින් හෙබි 'තවලම'  චිත්‍ර කතාව එම වර්ගයේ පළමු චිත්‍ර කතාව මෙන්ම ශ්‍රී ලංකාවේ ගෝත්‍රික සමාජයන් නිරූපණය කරන පළමු සිනමා පටය ද වන බව සඳහන් වෙයි.

එපමණක් නොව දයා රාජපක්ෂයන්  රක්තා , නිළියකට පෙම් කළෙමි හා පොඩි රාළහාමි යන චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය කර ඇත. ගීත රචකයකු ලෙස ද චිත්‍රපට වලට  'හස ඉඳුවර පත්
විමනේ' (නිළියකට පෙම් කළෙමි ) හා කුන්දිරේ කුන්දිරේ (චන්දිරා) ආදී ගීත රචනා කර ඇත.

සුරදූතියෝ (රොබින් ප්‍රනාන්දු), හස්ති වියරුව (එච්.ඩී. ප්‍රේමරත්න),  සසර චේතනා (මාලිනී ෆොන්සේකා) තිරපිටපත් ද ඔහුගේය. හුලවාලි කතා සංකල්පය වෙනුවෙන් ඔහුට OCIC සම්මානය හිමි වුණේය. 

*සිනමාවට අහිමි වූ චිත්‍රකතා -

සිනමාවට නැගුණේ නම් විශිෂ්ට සිනමා නිර්මාණයක් විය හැකිව තිබූ ගිනිබත් කිරීටය සම්බන්ධයෙන් දයා රාජපක්ෂයන් අදහස් දක්වා තිබුණේ මෙසේය. 

"ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතා මගේ කතාවලට විශේෂ කැමැත්තක් තිබුණා. මගේ කතා දෙකක් (බාඳුරා මල් හා සක්විති සුවය) අධ්‍යක්ෂණය කළා. ඔහු 1979 විතර මගේ 'වෙද හාමුදුරුවෝ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න වැඩ ආරම්භ කළා. අවාසනාවකට එය තිරයට ආවේ නැහැ. මගේ 'ගිනිබත් කිරීටය' අධ්‍යක්ෂණය කිරීමට ගාමිණී ලොකු ආසාවකින් හිටියෙ." (ලක්බිම, 2006.12.10-ලිපිය ඒ.ඩී. රංජිත් කුමාර ගේය.)

*ටෙලිනාට්‍යයට නැගුණු චිත්‍රකතා -

නිරූපමාලා (මාලිනී ෆොන්සේකා), දුලාරි (එච්.ඩී. ප්‍රේමරත්න ),පස් (දයාරත්න රටගෙදර), සකිසඳ එළියස් (ජෝ. අබේවික්‍රම),  හතේ වසම (රොඩ්නි විදානපතිරණ), මතක මංපෙත (සංජය ගුණවර්ධ), කම්මිත්ත (පියල් යටවර) ටෙලි සිත්තමට නැඟුණු ඔහුගේ චිත්‍රකතාය.

*පුවත්පත් කලාව-

කවියෙකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වූ ඔහු ඉරිදා ලංකාදීපයට 'මඩිස්සලේ' නමින් කවි කතාවක් සහ 'සමාජ සමයං' නමින් විකට තීරුවක් ඉදිරිපත් කළේය. සොෆියා හා මිස්ටර් මැරීඩ් යන කාටූන් ද පුවත්පත් නිර්මාණ  අතරට එක් වෙයි.

චිත්‍රකතා පදනමේ මුල් පුටුව හොබවයි

ජාතික චිත්‍රකතා පදනම ආරභයේ සිට එනම් 2007 සිට දිවියෙන් සමුගන්නා තෙක්ම එහි සභාපතිත්වය දැරුවේ දයා රාජපක්ෂයන්ය.

"චිත්‍රකතාව හුදු සරල බොළඳ මාධ්‍යයක් ලෙස පැවති යුගයක ඒ දෙසට ප්‍රබුද්ධ පාඨක අවධානය යොමු කරගත් ශිල්පියා ලෙස දයා රාජපක්ෂ හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඕලාරික ප්‍රේමයටත්, ත්‍රාසයටත් පමණක් සීමා වී තිබූ චිත්‍රකතා විෂයක්ෂ්‍ත්‍රයේ නිම්වළලු පුළුල් කළේ ඔහුය. වතුකරය , ගම, වාමාංශික ව්‍යාපාරය මෙන්ම නාගරිකයේ හරසුන් ජීවිත ද ඔහුගේ කතාවන්ට වස්තු විය. සුසුම් පදවැල් වෙනුවට ගම්දොරේ , වතුකරේ, සෙයිලමේ පණ ගහන බස් වහර ඔහුගේ චිත්‍රකතාවල අනන්‍යතාවය විය. සුදු කළු පැතලි චරිත වෙනුවට අප හාත්පස ජීවත්වන චරිත ඔහුගේ කතා තුළින් අපට මුණ හැසුනි." (සිරි රණසිංහ , අසිරිමත් අතීතය පොතෙහි පසු කවර සටහන )

*සමාජ විවේචනාත්මක රීතිය-

ඔහු බොහෝ විට යොදා ගන්නේ සමාජ විවේචනාත්මක රීතියකි. එය දයා රාජපක්ෂයන් සතු වන්නේ  ඔහුටම ආවේණික වූ චිත්‍ර කතා රීතීයකි. කතාව, සිද්ධි සම්පිණ්ඩනය, දෙබස් මනාව සංකලනය කරන ඔහු එමගින් අපට ජීවිතය හා සමාජය පිළිබඳව අනුවේදනීය අත්දැකීමක් ලබා දෙයි.

චිත්‍රකතාවට ප්‍රස්තුත කර ගන්නා සමාජය, ප්‍රදේශය හෝ සංස්කෘතිය අනුව භාෂාව හා චර්යා රටාවන් වෙනස් වන අයුරු දයා රාජපක්ෂයන් ගේ චිත්‍ර කතා කියවන විට වටහා ගත හැකිය. 

*භාෂා විවිධත්වය -

චිත්‍රකතා නිර්මාණයේ දී ඔහු උපයෝගි කර ගන්නා භාෂා විචිත්‍රත්වය පිළිබඳව දයා රාජපක්ෂයන් ම මෙසේ පවසා ඇත.

"මා ගැමි කතා රැසක් දැන ගත්තේ කුඩා අවධියේ ම අම්මා ගෙනි. මගේ දෙමව්පියන් උඩරට විවිධ ප්‍රදේශවල රැකියා සඳහා ජීවත්ව තියෙනවා. ඔවුන් ඒ ප්‍රදේශවල භාෂාව පිළිබඳ සෑහෙන අවබෝධයකින් ද හිටියා. බුත්තල, බිබිල, මොණරාගල, තිස්ස වැනි ප්‍රදේශවල ව්‍යවහාර කරන අමුතු වචන පිළිබඳ මා විශේෂ සැලකිල්ලක් දැක්වූවා. එහෙත් ඒ වචන පමණක්ම යොදාගන්නට හැමවිටම මා වෑයම් කරන්නේ නැහැ. පොත්පත් කියවීම තුළින් මා ඒ දැනුම වඩාත් පුළුල් කර ගත්තා. එදිනෙදා භාවිතයේ පවතින වචන සමඟ සංකලනයෙන් අමුතු ආකාරයට භාෂාව සකස් කර ගන්නවා. මෙයින් කතාවට අලංකාරයක් මෙන්ම කියවීමේ රුචියක් ද ඇතිවන බව කිව යුතුයි. සිංහල භාෂාවට හානියක් නොවන පරිදි, සභ්‍යත්වය නොකෙලෙසා මෙම වචන සංකලනය ඇතිකර ගැනීමටත් මම මහන්සි ගන්නවා.." (චිත්‍රකතාවේ සමාජ මුහුණුවර)

අපේ චිත්‍ර කතා ලොව මිනිස් සුවඳින් වර්ණවත් කළ පුරෝගාමී ච්ත්‍ර කතා කරුවාගේ චිත්‍ර කතා රසවිඳීමෙන් ජීවිතය පිළිබඳ අපූර්ව වූ ද පරිකල්පනීය ද නමුත් හෘදයාංගම වූ අත්දැකීමක් ලබන්නට හැකි බව සඳහන් කළ යුතු වෙයි. 

දයා රාජපක්ෂයන් සිය සමාජ මෙහෙවරට සමුදී 2015 ජූලි 26 වැනිදා ජීවිතයෙන් සමුගත්ත ද සිංහල චිත්‍රකතා වංශ කතාවේ නොමැකෙන ලෙස ඔහුගේ නම සටහන් වනු ඇත. 

ශ්‍රී ලාංකීය චිත්‍රකතා කලාවට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ දයා රාජපක්ෂ කලාකරුවාණන්ට "පත්තර අරණ "ගෞරවය පුද කරමු !


(සු.ප්‍රි. සමරසිංහ )


#ස්තුතිය -

• උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• SATHUTA සතුට සමූහයට
• සහ තොරතුරු ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටම
• නිමන්සා, නිර්මල හා  ජාතික චිත්‍රකතා පදනම යන ප්‍රකාශන වලට

#පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර -

• චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර-නිසිත වර්ණසූරිය
• ජීවිතය සිත්තම් කළ දයා, සුසිල් සුරවීර, මව්බිම, 2015.08.02
• සිරි රණසිංහ , අසිරිමත් අතීතය පොතෙහි පසු කවර සටහන 
• ආරියනන්ද දොඹගහවත්ත, ඉරිදා ලංකාදීප , 2915.08.02
• ලක්බිම, 2006.12.10-ලිපිය ඒ.ඩී. රංජිත් කුමාර 
• සුපිරි ගේ කොලම 
• අන්තර් ජාලය



No comments:

Post a Comment