Saturday, 16 December 2023

NATIONAL NEWS PAPERS

 21.සිළුමිණ 
    Silumina 
  (  )
මංගල කලාපය මෙතැනින් කියවන්න 👉


මංගල කලාපය 
නිකුත්වු දිනය- 1930 මාර්තු 30 ඉරිදා 
ආරම්භක සංස්කාරක- 
ආරම්භක පිටු - 20 
ආරම්භක මිල - රු. ශත.10 
ප්‍රමාණය - 55 Cm × 38Cm 
මුද්‍රණය -ලේක් හවුස් මුද්‍රණාලය
ප්‍රකාශනය- සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ( ලේක් හවුස් )



        
      පුවත්පත්  ලොව පැරණිතම හා පරිණතම " සිළුමිණ " -


සිළුමිණ ආරම්භ වන්නේ යටත් විජිත යුගයේදී ය. මේ යුගයේ දේශීය චින්තනයකින් හෙබි සිංහල පුවත්පතක් ආරම්භ වීම වැදගත් සන්දිස්ථානයකි. 1930 මාර්තු මස 30 වැනිදා සිළුමිණ පුවත්පත ආරම්භ වූ යුගය යටත්විජිත ශ්‍රී ලංක‍ාවේ දේශපාලනික පරිවර්තනීය වෙනසක් ඇති වූ සමයෙකි. 1931 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතාව කුමක් විය යුතු ද යන්න ගැන ඉංග්‍රීසි ආණ්ඩුව සලකා බලමින් සිටියේ ය. සිළුමිණ පත්‍රය බිහි වෙන්නේ ලංකාවේ සියලුදෙනා යටත් විජිතය ඇතුළත උපතින් සමානයන් බවට පත්කරන, අවුරුදු 21ට වැඩි සියලු ම පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයා පත්කර ගැනීමට අවකාශ සලසා දෙන කාල වකවානුවක ය. ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට ක්‍රියා කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ සහ ඔහුගේ ඉල්ලීම් ගැන ලේක්හවුසියේ සිළුමිණ කර්තෘවරයා විශේෂයෙන් අවධානය යොමු කර ඇති බැව් සිළුමිණ ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැහැදිලිව පිළිගත් ප්‍රතිපත්තියක් සිළුමිණට තිබුණි. මුල්කාලීන සිළුමිණ ජනප්‍රිය වීමටත් ඒ කාරණය ඉවහල් වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ම ඇතිවුණු පරිවර්තනය මිනිසුන්ට ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර දුන්නේ ද සිළුමිණ පත්‍රය මඟිනි.
සිළුමිණ ප්‍රධාන කතු පදවියට මුලින්ම පත් වෙන්නේ ප්‍රකට ලේඛකයකු වන පියසේන නිශ්ශංක සූරීන් ය. ඔහු පුවත්පත ගමන් කළ යුතු දිශානතිය ගැන මුල සිට ම යම් පැහැදිලි ආස්ථානයක සිටියේ ය. ආරම්භක සිළුමිණ පත්‍රයෙහි ශාස්ත්‍රීය අතිරේකය පළ ව තිබුණේ නවා කුඩා පොතක් සේ සකස් කරගත හැකි ආකාරයට ය. ඒ ගැන 1930 මාර්තු 30 දා පළ වූ පළමු පත්‍රයේ මෙසේ සඳහන් ව තිබිණි.
‘ සිළුමිණ පත්‍රයේ තුන්වන හා හතර වැනි පිටු ශාස්ත්‍රීය අතිරේකයක් වශයෙන් සලකනු ලැබේ. ඒ කොළය පත්‍රයෙන් කඩා ඉවතට ගත් කල්හි වඩා හොඳ ප්‍රමාණයක පිටු 4ක් සේ ගණන් ගැනේ.
සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය ලිපි හතර ම මේ පිටුවලට ඇතුළත් වෙන බැවින් එය පත්‍රයෙන් ගලවා පරෙස්සම් කිරීමෙන් කලකදී වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන්නේ ය. පත්‍රය විශාල බැවිනුත් එය මුළුමනින් ම රැස් කර තැබීම අපහසු බැවිනුත් මේ අලුත් ක්‍රමය යොදන ලදී. ශාස්ත්‍රීය ලිපි ගැන විශේෂ සැලකිල්ලක් ඇති සියලු භවතුන්ට ම මේ ක්‍රමය තුෂ්ටිදායක වෙතැයි විශ්වාස කළ හැකිය‘

ටැබ්ලොයිඩ් පත්‍ර කලාවක් හෝ අතිරේක සම්පාදනයක් ගැන කතිකාවක් නොතිබි අවදියක සිළුමිණ එකී සම්ප්‍රදාය ගොඩනැඟීමේ නිර්මාණශීලී භාවිතයක් සකස් කරන්නේ එලෙසිනි. සත දහයේ විශ්වවිද්‍යාලය යන ගෞරවාර්ථය පාඨක පර්ශදයෙන් පුවත්පතකට ලැබීම මෙකල ජනප්‍රිය හෝ වෙන යම් ඕනෑ ම සම්මානයකට වඩා බෙහෙවින් වටනේ ය. එකල පුවත්පතේ මිල සත දහයකි. එක්දහස් නවසිය තිහ වැනි වකවානුවක ලංකාවේ දේශීය මට්ටමෙන් විශ්වවිද්‍යාල බිහිවී තිබුණේ නැත. යමක් කමක් ඇති උදවිය උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූහ. වත්පොහොසත් කමෙන් අඩු සාමාන්‍ය ජනයාට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වරප්‍රසාදයක් තිබුණේ නැත. මේ අඩුව පුරවන්නේ සත දහයක් වැනි මුදලකට විශ්වවිද්‍යාලයක දැනුම සම්පාදනය කළ සිළුමිණ පුවත්පත ය. ඥාණ කෝෂයක් ඉරිදාට ගෙදරට එනතෙක් බලා සිටි පරම්පරාවක් නිර්මාණය කරමින් ජාතිකයකට කියැවීමේ පුහුණුව ඇති කළ පුරෝගාමී ඉරිදා පුවත්පත සිළුමිණ ය.
සිළුමිණ පළමු පත්‍රයේ ම සිය පත්‍රයේ අන්තර්ගත වන දෑ පිළිබඳ කතුවැකියෙන් ම යම් ඉඟියක් දී තිබිණි. සිය පුවත්පතේ අරමුණ ‘අවංකව හා නොපසුබට වීර්යයෙන් යුතුව රටට සේවය කිරීමය...නොබෝ කලකින් පැවරෙන අලුත් වගකීම්වලට ලාංකික ජනයා සූදානම් කිරීම් වශයෙන් ඒ ජනයාට කරුණු අවබෝධ කරවීමේ යුතුකම අප කෙරෙහි ද රඳා පවතී. ජාත්‍යෙන්නතිය, ශාස්ත්‍රොද්දීප්තිය, සදාචාරය, මහජන සේවය, මහාජන අර්ථසංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එකවන් අධිෂ්ඨානයයි‘ යනුවෙන් සඳහන් ව තිබිණි.
ඊට අමතරව ශාස්ත්‍රීය හා ඓතිහාසික ලිපි, විශේෂ ලිපි, නවකතාවක්, කාන්තා හා ළමා ලිපි, කෘෂිකර්මෝපදේශ හා වාණිජෝපදේශ, ගුරුවරයා හා ශිෂ්‍යයා, මෙරට හා පිටරට ආරංචි, නෘත්‍ය මණ්ඩපය, ආරංචි හා චිත්‍ර රූප යනාදිය එයට ඇතුළත් විය. මෙදා සිළුමිණ ද විවිධ වෙනස්කම් ඔස්සේ වුව ද මෙකී අන්තර්ගත ම ය කරුණු කෙරෙහි සාම්‍යයක් දක්වයි.

1939 අගෝස්තු 30 දා සිය වැඩිමහල් සොහොයුරාට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සිට ලිපියක් එවමින් සුනිල් ශාන්ත මෙසේ පවසයි.
‘ මා බොහොම ආසයි සිළුමිණ පත්‍රය බැලීමට. ශත දහයක පත්‍රයක් ගෙන ශත දෙකක මුද්දර ගසා මට එවන්න, සෑම ඉරිදා ම‘
ගෙවී යන සෑම මතකයක් ම ශේෂ වන්නේ ඉතිහාසයේ ය. ඒ ඉතිහාසයේ ජීවිතයට නන්විධ අත්දැකීම් එකතු කළ දෑ සදානුස්මරණීය මතක සටහන් සේ තැන්පත් වෙන්නේ ය. සුනිල් ශාන්තයන් වැන්නවුන් බොහොමයක් නිසා සිළුමිණ එදා ලකඹර බැබළුණේ සා පිපාසාවෙන් යුතු වූවන් ට ලැබුණු දිය දෝතක් මෙනි. මේ මතක අප අලුත් කරන්නේ මේවා ඉතිහාසයේ නොමැකෙන ලකුණු නිසා ය.

පුවත්පත් කලාවේදියකු ලෙස හා ලේඛකයකු වශයෙන් ජනතා බුහුමනට ලක් වූ මාර්ටින් වික්‍රමසිංහයන් නිසා සිළුමිණ කතු ධූරය බැබළුණු බැව් අවිවාදිත ය. වික්‍රමසිංහයන් සිළුමිණ කතුධූරයට පත් වෙන්නේ 1934 බැව් සඳහන් ය. ඒ පියසේන නිශ්ශංකයන්ට දිනමිණ කතුධූරය බාර ගැනීමට සිදුවීම නිසා ය. මාර්ටින් වික්‍රමසිංහයන් ‘මයුරපාද‘නම් අන්වර්ථ නාමයෙන් සිළුමිණ පුවත්පතට ලියන්නේ 1934 අගෝස්තු 5 වැනිදා සිට ය. එහි ශීර්ෂය වූයේ ‘උත්සව සන්නිය හා සූදුව‘ යන්නයි. එතැන් සිට 1950 නොවැම්බර් 5 වැනි දින දක්වා මයුරපාද නමින් වික්‍රමසිංහයන් සිළුමිණට ලියන ලද ලිපි සංඛ්‍යාව 235කි. අවසන් ලිපියේ ශීර්ෂය වූයේ ‘ සිංහල නාටකය දියුණු කිරීම‘ යන්නයි. අභිමානවත් ලේඛන සම්ප්‍රදායක උරුමය සිළුමිණට හිමි වන්නේ එකී පාදම මත පිහිටා ය. ඒ අනුව විශ්වවිද්‍යාලයක් තරමට දැනුම සම්පාදනය කළ තෝතැන්නක් බවට සිළුමිණ පුවත්පත අනවතරයෙන් පත් විණි.

මෙකී සම්ප්‍රදායෙන් පොහොසත් වුණු සිළුමිණ 1934 දී තගෝර්තුමා ලංකාවට පැමිණීම ගැන සිය පාඨකයන් දැනුම්වත් කළ ආකාරය එහි ගමන්මඟ හා අරමුණු පිළිබඳ ගැඹුරු චිත්‍රයක් මවාපායි. ඔහුගේ කවි පරිවර්තනය කර පුවත්පතේ පළ කරමින්, චිත්‍ර පළ කරමින්, ඔහු පිළිබඳ විශිෂ්ට ලිපි පළ කරමින් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කිරීමේ ලා මහඟු මෙහෙයක් සිළුමිණ ඉටු කළේය. දේශීය කලා ශිල්ප නඟා සිටුවීමට ප්‍රබල හේතුවක් බවට සිළුමිණ පත්වන්නේ එකී ආරම්භය සමඟ වීම ශක්තිමත් පාදමක් නිර්මාණය වීමේ ලා උපස්ථම්භක විය. මේ ලිපි හා තාගෝර්තුමාගේ පැමිණීම සාමාන්‍ය ජනතාව අතරට පවා රැගෙන යෑමට සිළුමිණ ක්‍රියා කළ ආකාරය ඇතුළත කියැවෙන ශාස්ත්‍රීය ප්‍රබෝධය ඒක භාෂික සිංහල පාඨකයන්ට පුවත්පත බෙහෙවින් සමීප වීමේ ලා හේතු කාරණා විය.
අද ජනමඬල නම් පාඨක වේදිකාව එකල හඳුන්වා තිබුණේ ‘පිටින් ලැබෙන ලියුම්‘ නම් නාමකරණයෙන් ය. දරුවන් වෙනුවෙන් කමලා ළමා සමාජය, මල්හාමි මාමාගේ කතා පිටුව ආදිය හඳුන්වා දුන් සිළුමිණ දරුවන් උදෙසා කථන බසට සමීප බසක් යොදා ගනිමින් ලිපි සම්පාදනය කර ළමා ලෝකයට නිවැරදි ව ප්‍රවිශ්ට වූයේ ය. සිංහ මාමාගේ සංදේශය එහි වඩාත් ප්‍රචලිත පිටුවක් වූයේ ය. 1933 මාර්තු 26 දා සිළුමිණේ තුන්වැනි පිටුවේ මෙවැනි සඳහනක් දක්නට ලැබුණේ ය.
‘දයාබර දරුවෙනි,
නුඹලා බොහෝ දෙනකු විසින් මට එවන ලද ලියුම් රාශිය ගැන මුළු සිතින් නුඹලාට ස්තූති කරමි. නුඹලාගේ ආරාධනය පිළිගෙන මම ‘සිළුමිණ‘ ළමා සාමාජයක් ආරම්භ කරමි. සිංහල නුඹලාගේ මේ ළමා සමාජය සිංහ සමාජයකි. සිංහ පැටවුන්ගේ සෙල්ලම් බිමකි. මෙය කියවන බෑනලා ලේලිලා සියලු දෙනා සිංහ පැටවුන් වෙත්.
අද මුළු ලෝකයේ ම ගෞරවය ලබන ගාන්ධි මාමා, ජවහර්ලාල් නේරු මාමා, සරෝජිනී නායිදු නැන්දා, කමලා දේවි නැන්දා ආදී සියලු නැන්දලා මාමාලා සිංහ ගතිවලින් යුක්ත වෙති.
මීට නුඹලාගේ ආදරණීය
සිංහ මාමා‘
ළමා ප්‍රකාශන කලාවක මූලාරම්භය සිළුමිණ සකසන්නේ එපරිද්දෙනි. සිළුමිණ සැකසූ ඒ පාරේ ගොස් අද ළමා පත්තර කලා ප්‍රබේධයක් බිහිවී තිබේ.

1920 - 30 දශකවල දී පුවත්පත් සඳහා යෝග්‍ය වූ ව්‍යවහාරෝචිත බස් වහරක් ගොඩනැංවීමට කටයුතු කළ මාර්ටින් වික්‍රමසිංහ, 1934 සිට ‘සිළුමිණ’ පුවත්පතට ‘මයුර පාද’ නමින් ලිපි සැපයීය. සමකාලීනව වැදගත් වූ විවිධ මාතෘකා අනුව ලියැවුණු ඒ ලිපි සිංහල පුවත්පත් බස සකස් වීමට ද මහත් බලපෑමක් ඇති කෙළේය. ඒ ලිපි නිසා සිංහල භාෂා ව්‍යවහාරයට එක් වූ නව යෙදුම් හා විශේෂතා බොහෝ ය.

සිංහල භාෂා ව්‍යවහාරය අරබයා ලේඛකයන් අතර විවිධ මතවාද, යෝජනා හා මතභේද පැතිර ගිය අවදියක් ලෙස 1930 - 40 දශක දැක්විය හැකිය. එක් අතකින්, සංස්කෘත පද බහුල භාෂා රීතියත්, අනෙක් අතින් හෙළ බස් වහරත් අනුගමනය කළ වියතුන් පිරිසකගේ ශාස්ත්‍රීය කටයුතු නිසා භාෂා ව්‍යවහාරය පිළිබඳ ගැටලු සිංහල පුවත්පත්වල සාකච්ඡා විය. සකුවමුසු බස් වහරටත්, හෙළ බස් වහරටත් ගැති නොවී සමකාලීන ව්‍යවහාරය ඇසුරින් පුවත්පත් සකසා ගැනීමට ‘සිළුමිණ’ පුවත්පතට හැකියාව ලැබුණේ එහි කතුකම් කළ පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ ආදී ලේඛකයන් බස් වහර සම්බන්ධයෙන් දැක්වූ ජන සම්මතවාදී අදහස් නිසා ය.
1944 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රාජ්‍ය භාෂා යෝජනාව සම්මත වීමත් සමග, සිංහල භාෂාව නව අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ පිළිබඳ ව විද්වතුන් අතර සාකච්ඡා ඇති විය. 1944 ජූනි මස 25 වන දා ‘සිළුමිණ’ පුවත්පතේ ‘සිංහල භාෂාව ලිහිල් කිරීම’ මැයෙන් පළ වූ කතුවැකිය සහ ‘ලිහිල් සිංහලයක් ’ පිළිබඳව 1944 ජූනි - ජූලි මාසවල ‘සිළුමිණ’ පත්‍රයේ පළ වූ ලිපිවලින් පැහැදිලි වන්නේ සමකාලීන භාෂා ප්‍රශ්න සම්බන්ධයෙන් ‘සිළුමිණ’ සංස්කාරකවරුන් දැක්වූ උනන්දුවයි.

1947 වැනි වර්ෂය වෙන විට සිළුමිණ පිටු 10 සීමාව පසුකරමින් පිටු 16ක් දක්වා ප්‍රමාණාත්මක වෙනසක් කරන්නේ ශත දහයේ මිල කිරීම යටතේ සිටිමින් ම වීම විශේෂත්වයකි. මරණ දැන්වීම් මෙන් ම විවාහ දැන්වීම් හා විවාහ ආරාධනාපත් පවා මෙකල්හි සිළුමිණෙහි පළ වෙන්නේ මධ්‍යම පාන්තික සංස්කෘතික කියැවීමට වැඩි නැඹුරුවක් සම්පාදනය කරමිනි. 1952 වර්ෂය වෙනවිට සිළුමිණ පත්‍රයේ අන්තර්ගතයේ තවත් වෙනසක් සනිටුහන් වෙයි. 1953 අගභාගය වනවිට දේශපාලන ලිපි පළකරන ලද අතර එහි නම සඳහන් වී ඇත්තේ ද අනන්‍යතාව හෙළි නොවන පරිද්දෙනි.
විශේෂ ලියුම්කරුවකු විසිනි,  විමසන්නා විසිනි වැනි අන්වර්ථ නාමවලිනි.

1955 වර්ෂය වනවිට පුවත්පතෙහි මිල ශත 5කින් වැඩි වේ. ශත 15කින් යුතු පුවත්පතේ පිටු සංඛ්‍යාව 28 ක් දක්වා වැඩිවී තිබිණි. 1957 වර්ෂය වෙනවිට සිළුමිණෙහි මිල ශත 20 දක්වා වැඩි වෙයි.  කාව්‍ය සම්ප්‍රදාය හා කලාව කෙරෙහි වැඩි අවධානයක් යොමුවන්නේ 1961 සිට 65 දක්වා කතුකම් කළ මීමන ප්‍රේමතිලක සමයේ ය. 1965 වසර වනවිට ප්‍රධාන කර්තෘ ධූරයට විමලසිරි පෙරේරා පත් වීමත් සමඟ ම පුවත්පතේ ප්‍රධාන ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු වෙයි. ඒ අනුව ලුහුඬු දැන්වීම් හා  මංගල යෝජනා සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වෙයි.
සිංහල භාෂා ව්‍යවහාරයේ නිවැරදි භාෂා ප්‍රයෝග පිළිබඳව වරින්වර පළ වූ ලිපි මෙන්ම භාෂා විෂයක වාද - විවාදවලට සිළුමිණ පුවත්පත තෝතැන්නක් විය. 1969 දී ‘සම්මත සිංහල වාදයේ ’ දී ‘සිළුමිණ’ අනුගමනය කළ ස්ථාවරයෙන් ද පැහැදිලි වන්නේ සමකාලීන ව්‍යවහාරයට දැක්වූ නැඹුරුවයි. සිංහල ව්‍යාකරණඥයන්, භාෂා ගුරුවරුන් පමණක් නොව නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් භාෂා විෂයක කරුණු මුල් කරගෙන ලියූ ශාස්ත්‍රීය ලිපි රැසක් පසුගිය දශක කිහිපයේ දී ‘සිළුමිණ’ පුවත්පතේ පළ වී ඇත.
60 දශකයේ පසුභාගයේ සිට 70 දශකයේ මැදභාගය දක්වා කැමිලස්ගේ සිරිබිරිස්, මෙහෙව් රටේ හා මොකට කියනවද වැනි කාටූන් ඇතුළත් විවේකයයි විනෝදයයි වැනි පිටු ද පාඨක ආකර්ෂණයට නොමඳ ව පාත්‍ර වූ විශේෂාංගයෝ වෙති. 70 දශකයේ විජේසෝමගේ දේශපාලන කාටූනය එක රාමුවක් ඇතුළත මාතෘකා 4ක් ඇතුළත් වූ නව්‍ය ආකෘතියකින් සැදුණකි. චිත්‍ර කතා සංස්කෘතිය ජනප්‍රිය කළේ සිළුමිණ විසිනි. දයා රාජපක්ෂ, බන්දුල හරිස්චන්ද්‍ර, තලන්ගම ජයසිංහ හා වික්‍රමනායක වැන්නන්ගේ 70 හා 80 දශකවල කෙතරම් ජනප්‍රිය වූවා ද යත් ඒවා පදනම් කරගෙන ජනප්‍රිය චිත්‍රපට ද හැදුණි. ඡායාරූප රාමු සහිත ව කතා ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය පුවත් ලොවට හඳුන්වා දෙන ලද්දේ ද සිළුමිණ විසිනි. ජ්‍යෙතිෂය හා වෙනත් විවාදවලට තුඩුදෙන මාතෘකා ද මේ සමයේ පුවත්පතේ ඉඩ වෙන් කරගෙන තිබිණි. 71 කැරැල්ල ගැන අප්‍රේල් 17 දා සම්පූර්ණ වාර්තාවක් සිළුමිණ මුල් පිටුවේ ම පළ වී ඇත.
ලේක්හවුස් ආයතනය 1973 ජූලි 20 දා රජයට පවරා ගනී. ඒ අනුව 1973 ජූලි 22 දා කතුවැකියෙන් ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට පක්ෂ ව අදහස් ඉදිරිපත් කර ඇත.  ‘රටේ යහපතට නවෝදයක්‘ නම් ශීර්ෂයෙන් යුතු ව විශේෂ අවස්ථාවකදී කරනාකාරයෙන් මුල් පිටුවේ මේ කතුවැකිය පළ වී තිබේ.  පවරා ගැනීමටත් පෙර ඒ පිළිබඳ විවාදය පැවැත්වෙන වකවානුවේ එනම් 1977 ජූලි 10 දා සිළුමිණෙහි මුල් පිටුවේ අග්‍රාමාත්‍යතුමියගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් පළ කර ඇත.
ඊට පෙර සතියේ මේ අප දැන් මුහුණ දෙමින් සිටිනාකාරයේ අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක් සහිත කතුවැකියක් සිළුමිණෙහි පළ වී ඇත. ඒ කඩදාසි අර්බුදයක් ගැනයි. සියලු සිදුවීම් විවිධාකාර ලෙස චක්‍රයක් මෙන් ක්‍රියාකරන බවට මේ සිදුවීම දෙස් දෙයි. එහි සිරස්තලය වී තිබුණේ ‘මොළයට ආහාර නතරවන ලකුණු‘ ලෙසිනි.
මේ වනවිට පුවත්පතේ මිල ද ඉහළ ගොස් ඇත. ඒ අනුව පුවත්පතේ මිල සඳහන් ව ඇත්තේ ශත 35ක් ලෙසිනි. ඊට වසර හයකට පසු එනම් 1977 දී පුවත්පතේ මිල ශත 75කි. වත්මනෙහි ද දක්නට ලැබෙන මුල් පිටුවේ කාටූනය පළ වීම ඇරඹෙන්නේ 1977 දී ය.
1978 දී සිළුමිණ තවත් සුවිශේෂී වෙනසකට අඩිතාලම දමයි. ඒ මෙතෙක් ජංගම පුස්තකාලයක් ලෙස ගෙන්ගෙට ගිය සිළුමිණෙහි නව්‍ය වෙනසක් වෙමින් ‘සිළුමිණ ඥාණ කෝෂය‘ නමින් අතිරේකයක් හඳුන්වා දීමයි. 1978 ජනවාරි 15 දා සිට 1978 දෙසැම්බර් 31 ඉරිදා දක්වා සිත්ගන්නා සුළු මාතෘකා 731කින් යුත් තොරතුරු ගබඩාවක් පාඨකයන්ට තිළිණ විය. එහි පළමුවැනි විශේෂාංගය වී ඇත්තේ විද්‍යාව උපන් හැටි යන්නයි. අවසන් හෙවත් 731 වැනි මාතෘකාව වී ඇත්තේ ‘ලොව ලොකුම‘ පොත ලෙසයි.
සිළුමිණ කලා හවුල නම් පිටු 4ක නව අතිරේකයක් ඇරඹෙන්නේ 1980 දී එඩ්මන්ඩ් රණසිංහ කර්තෘවරයා යටතේ දී ය. මේ කාලය වන විට ක්‍රමයෙන් පුවත්පතේ මිල ද ඉහළ ගිය අතර 1982 වන විට එහි මිල රුපියල් 2 ශත 50කි. සිළුමිණ පුවත්පතේ පැහැදිලි ව හඳුනාගත හැකි ලෙස අතිරේක කොටස් වෙන් කරන ලද්දේ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ කර්තෘ සමයේ ය.
සිංහල භාෂා විෂයයෙහි පසුගිය කාලය තුළ දී ඉස්මතු වූ වාද - විවාද කීපයකට ම හේතු වූයේ ‘සිළුමිණ’ පුවත්පතට වියතුන් විසින් සපයන ලද ලිපි ය. ශ්‍රී ලංකාවේ විද්වත් කතිකාවක් සඳහා ප්‍රථම වේදිකාව තනන ලද්දේ, “මයුර පාද” “බාසුරු” ආදී නම්වලින් ලිපි ලේඛන සැපයු විද්වතුන් විසිනි. 1984 දී ‘සිළුමිණ’ ශාස්ත්‍රීය අතිරේකයට මහාචාර්ය ජේ.බී. දිසානායක සැපයූ “සිංහලයේ නව මුහුණුවර” නමැති ලිපිපෙළ සමකාලීන සිංහලය හෙළි පෙහෙළි කිරීමට දැරූ වෑයමකි.
‘සිළුමිණ’ පුවත්පත භාෂා විෂයයික කරුණු සම්බන්ධයෙන් සංවේදී වූ බව පැහැදිලි වේ. මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, ඩී. එෆ් කාරියකරවන, අ.ආ. ගුණතිලක, සිරි තිලකසිරි ආදී නොයෙක් ගුරුකුලවලට අයත් වියතුන් ‘සිළුමිණ’ ‘පුන්කලස’ අතිරේකයට සැපයූ ලිපි සිංහල භාෂාවේදීන්ගේ විශේෂ අවධානයට ලක්විය. ‘වියත් වහර සොයා’ (2001), ‘කව්ලැකිය’ (2002), නමින් මහාචාර්ය ජේ.බී. දිසානායක ලියූ ලිපි පෙළ ද ‘බස නැසෙන සැටි’ (2002), මැයෙන් ඩී. එෆ් කාරියකරවන ලියූ ලිපි පෙළ ද ‘සිළුමිණ’ භාෂා විෂයක සිදු කළ මෙහෙය විමසීමේ දී සඳහන් කළ යුතුය.

දශක නවයක සිළුමිණ මතක අතර ශෝකජනකම සිදුවීම වූයේ 1995 වසරේදී ය. ඒ 1995 අප්‍රේල් 29 වැනිදා ඇව්රෝ ගුවන් යානයකින් පලාලි බලා ගමන් කරද්දී උතුකරයේදී ත්‍රස්තවාදී මිසයිල ප්‍රහාරයකට ලක් ව සිළුමිණ මාධ්‍යවේදීන් තිදෙනෙක් වූ සිළුමිණ සම කර්තෘ කරුණාරත්න සපුතන්ත්‍රී, නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ කිරම පියසෝම හා ඡායාරූප ශිල්පී එඩ්වින් වීරසිංහ ඝාතනයට ලක් වීමයි.
1996 වසරේ නොවැම්බර් 3 දා සිළුමිණ පුවත්පතට පිටු 16කින් යුත් රසඳුන ටැබ්ලොයිඩ් කලා අතිරේකය එකතු වෙයි. රසඳුන නිසා සිළුමිණ පුවත්පතට ආකර්ෂණයක් හා අලංකාරයක් එකතු වූ අතර, වෙනස් පාඨක පිරිසක් ද එක් විය. රස කලසක් වූ රසඳුන සංස්කාරකවරයා වූයේ එවකට සිළුමිණ විශේෂාංග කර්තෘ වූ ධර්මසිරි ගමගේ ය.  රසඳුන පළමු අතිරේකයට මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දා. දු. න. වීරකෝන්, සිරිලාල් කොඩිකාර හා දෙනගම සිරිවර්ධන වැනි සාහිත ලොව එකළු කළ සුළවතුන්ගේ  ද ලිපි ඇතුළත් වී තිබේ.

1930 සිට 1950 දක්වා සිළුමිණ මුද්‍රණය කරන ලද්දේ අකුරු ඇමිණුම් තාක්ෂණයෙන් ලයිනෝ හා ලද්ලෝ ක්‍රමයෙනි. එහෙත් සිළුමිණ අලෙවිය දිනෙන් දින වැඩිවෙන විට ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් විසින් නවීනතම මුද්‍රණ ක්‍රමයක් ලේක්හවුස් ආයතනයට හඳුන්වා දෙන ලදි. ඒ යන්ත්‍රය”ක්‍රැබ්ට්‍රී” රෝටරි නම් විය. එදා එයට අයත්ව තිබුණ ශීඝ්‍ර මුද්‍රණ වේගය ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයට “ප්‍රාතිහාර්යයක්” බඳු විය. එහෙත්
සිළුමිණේ ව්‍යාප්තිය, ක්‍රැබ්ට්‍රී යන්ත්‍රයටවත් ඔරොත්තු දිය නොහෙන තරම් විය. එබැවින් අද ලේක්හවුස් ආයතනයේ භාවිත වන “ෆලයි පේස්ටර් ඕෆ්සෙට්” රොටරිය පිහිටුවන ලදී. එබැවින් සිළුමිණ මුද්‍රණ ඉතිහාසය යනු පුරෝගාමී මුද්‍රණ තාක්ෂණික විකාශනයක සංකේතයක් යැයි හැඳින්වීමේ වරදක් නැත.

එදා මෙදාතුර විවිධ අනුපාන එකතු වෙමින් අඩුවෙමින් සිළුමිණ පාඨක මනරංජනය වෙනුවෙන් කැප වූයේ ය. විවිධ කල්හි එහි ශාස්ත්‍රීය අතිරේකය නාමකරණයෙන් වෙනස් විණි. ඒ ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය යන්නෙන් පටන් ගෙන සියපත, පුන්කලස, සත්මඬල, දීපානී හා වර්තමානයේ ශාස්ත්‍රීය අතිරේකය ලෙසින් නාමකරණය වී තිබේ. වාණිජ හා විශේෂාංග අතිරේක ද එසේ විවිධ වෙනස්කම්වලට ලක් වී තිබේ. අද පුවත්පතේ පිටු සංඛ්‍යාව බ්‍රෝඩ්ෂීට් 40ක් හා ටැබ්ලොයිඩ් 16 කින් යුතු රසඳුන අතිරේකය හා ගැසට් පත්‍රයෙන් ද සමන්විත ය.  අවශ්‍යතාව අනුව පිටු ගණන විචල්‍ය වේ. සිළුමිණ වෙබ් අඩවිය සමාජජාලා මාධ්‍ය අතර බෙහෙවින් ජනප්‍රිය ය.

අනූ පස් වසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයහමාරක් තිස්සේ අවිච්ඡින්න ව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. සිළුමිණ දශක නවයක් ගෙවද්දී  මෙරටට සර්ව ජන ඡන්ද බලය ලැබී ද දශක නවයක් ගත වී ඇත ( 1931-2021). සිළුමිණ හා ප්‍රජාතන්ත්‍රීය නැඹුරුව කියවා ගැන්මේ ලා එය ශක්තිමත් පදනමකි. 1930 මාර්තු 30 පළමු සිළුමිණ පුවත්පතේ එස්. මහින්ද හිමියන් ගේ පහත කවිපෙළ පළ වී තිබිණි. උන්වහන්සේගේ ඒ කවිය අප කියවා ගන්නේ පෙර නිදහස පිළිබඳ කරුණ පසුබිමේ තබා ය.

නිදහස හිමි වෙන්ටත් - ජාති ආලේ වැඩෙන්ටත්
නැණ එළිය ලබන්නටත් - වාසනාවන්ත වෙන්ටත්

රට සමය හදන්ටත් - වාද - බේ බුන් කරන්ටත්
සමගිය ලියලන්ටත් - ඒ මඟින් ලෝ වැඩෙන්ටත්

කැමති අය සිටිත්නම් - සිංහලද්දීපයේ මේ
‘සිළුමිණ‘ කියවත්වා - ආයුබෝවන්! කියත්වා!

මේ වග මෙලෙස දන්වන් - නේ කියන්නේ හිතන්නේ
සිළුමිණෙහි ඉතා ළාබාල - කවිකාරයා වේ!

නිසරු පොළොව මත නිසරු බීජ රැසක් පැළ වෙන මේ වකවානුවේ සරු බීජ වැපිරීම සඳහා පොළොව සාරවත් කරන්නට සිළුමිණ ද අද ද පෙරගමන්කරුවෙකි. ආනන්දයේ හා ප්‍රඥාවේ සංවේදී සංවාද මණ්ඩපයක් නිර්මාණය කිරීමට සිළුමිණට හැකි වන්නේ යුතුකම එපරිද්දෙන් ඉටු කිරීමට වගවීමෙනි. ජාතියක අනේකවිධ විවිධතාවලට වේදිකාවක් වෙමින්, තරගකාරී ධාරාවල අභියෝග අභියෝගයක් නොකර ගනිමින් ධනාත්මක හා සංස්කෘතික සමාජයක් ගොඩනැංවීමේ ලා පුරෝගාමී මෙහෙවරක් කළ සිළුමිණෙහි, දශක නවයක මතක එක්කිරීමේ ව්‍යායාමය සයුරකින් දිය දෝතක් ගැනීමක් බඳු ක්‍රියාවකි. එහිදී මඟ හැරුණු දෑ අමතක වීම් නොව හුදු පෘතග්ජන කියැවීමක ඵලයක් පමණක් බැව් සටහන් කර තබමි.

 
 
✍️සුමුදු චතුරාණී ජයවර්ධන







No comments:

Post a Comment