Saturday 22 July 2023

පත්තර කොලම- පළමු දිගහැරුම

" පත්තරය " යනු කුමක්ද?

   


 උදේ තේ එකටත් කළින් මිනිසුන්ට පත්තරය ඕනෑ වූ කාලයක් තිබුණි. ගමේ වැඩිහිටියන් උදයේම තේ කඩේට ගොඩ වන්නේ පත්තරය බලන්නට , නැතිනම් වෑර්ලස් එකෙන් ප්‍රවෘත්ති අහන්නට ය. මිනිසුන්ට එදා රට තොට විස්තර අහන්නට බලන්නට තිබුණේ පත්තරය හා ගුවන් විදුලියයි. 

රූපවාහිනී ආගමනයත් සමග ම රේඩියෝවට සහ පත්තරයට නරක කල දසාවක් ලැබූ බව බොහෝ දෙනාගේ අදහස විය. 

එහෙත් පුවත්පත අනෙකුත් මාධ්‍යයන් ගේ අභියෝග මැද වුව සිය අනන්‍යතාව හා සක්‍යතාව පෙන්වමින් මේ සියවස තුළද විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. විද්‍යුත් මාධ්‍ය පුවතක් එසැණින් ගෙන එද්දී, පුවත්පත එපුවත සවිස්තරව ගෙන එයි.

පුවත්පත විවිධ විශේෂාංග වලින් පෝෂණය වී පාඨකයා ගේ දැනුම, විනෝදය, බුද්ධිය වඩවන මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. එය අද වන විට පුළුල් වෙමින් ජාතික, විකල්ප, දිනපතා, සතිපතා, මාසික, අධ්‍යාපනික, දේශපාලනික, , ප්‍රාදේශීය, විවිධ වයස් කාණඩ සඳහා , විවිධ විෂයයන් සඳහා ආදී වශයෙන් ප්‍රමාණයෙන් ද හැඩයෙන් ද නොයෙක් ආකාර ගනී.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී පුවත්පත යනු පත්තරයයි. පත්තර තට්ටුවේ ඇති සියල්ලම පත්තර යැයි අපි හඳුන්වන්නෙමු. අප පුවත්පතක් මිලදී ගන්නේ "පත්තරේ" දෙන්න යනුවෙන් පවසමිනි. මුල් කාලයේ දී පුවත්පත හැඳින්වූයේ "පත්‍රය" යන වචනයෙනි. "සිංහල ජාතිය නමින් ආරම්භ කරන ලද මේ පත්‍රය...." "පත්‍රය පවත්වා ගැනීමට උවමනා...." යනාදී පාඨ වලින් ඒ බව සනාථ වේ. 

ගුණදාස ලියනගේ මහතා පුවත්පත හඳුන්වන්නේ "ප්‍රවෘත්ති පළවන පත්‍රය" ප්‍රවෘත්ති පත්‍රයයි යන කෙටි හැඳින්වීමෙනි. එහෙත් එය ප්‍රමාණවත් පිළිතුරක් හෝ විග්‍රහයක් නොවන බවද ඔහු සඳහන් කරයි. තව දුරටත් මෙය පැහැදිලි කරමින් පුවත්පත් කලාව පිළිබඳ හැඳින්වීමක් නම් පොතේ පුවත්පත යනු කුමක්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ මෙසේය.

"පුවත්පතක් යනු ඉතා මිල අඩු කඩදාසියේ මුද්‍රණය කරන ලද තොරතුරු (ප්‍රවෘත්ති) හා විනෝද ජනක දේවල් එකතුවකි. එහෙත් එය පොතක් හෝ සඟරාවක් මෙන් කටුගසා හෝ නූල් වලින් එකට බැඳ නොතිබිය,යුතුය. පුවත්පත් දිනපතා (උදේ හෝ සවස), සතිපතා, දෙසතියකට වරක් හෝ මාස් පතා පළ හැකිය." (පිටුව 12)

මේ අනුව නිව්ස් ප්‍රින්ට් කඩදාසියේ මුද්‍රණය කරන ලද පුවත් හා විශේෂාංග ඇතුළත් වාර ප්‍රකාශනය පුවත්පත ලෙස හඳුනාගත හැකිය. එහෙත් අද පළවන ප්‍රවෘත්ති නොමැති විශේෂ වර්ගයේ පුවත්පත් මෙම අර්ථ නිරූපණයට වලංගුද යන ගැටලුව පැන නගී.

මීට වඩා පුළුල් අර්ථයක් සපයන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ සන්නිවේදන ශබ්දාකරයේ, ප්‍රවෘත්ති පත්‍රය (News Paper) යන්න මෙසේ පැහැදිලි කරයි. (පිටුව 209)
"දිනපතා, සතිපතා හෝ වාරානුකූලව පුවත් සැපයීම සඳහා පුවත් සැපයීමේ අරමුණින් පළමුව පටන්ගත් පත්‍රකා විශේෂයකි. එහෙත් කාලානුරූපව පුවත්පත යනු හුදු පුවත් සැපයීම සඳහාම වෙන්වූ මාධ්‍යයක් වෙනුවට ඊට වඩා විවිධ අංගෝපාංගයන් ඇතුළු වූ ප්‍රකාශන විශේෂයක් ලෙස හැඳින්විණ. පුවත්පත සඳහා ආරම්භයේ දී දෙනු ලැබූ නිර්වචනය බෙහෙවින් වෙනස් වී ඇත්තේ මුද්‍රණ තාක්ෂණය හේතුකොට ගෙනය. නවීන දිනපතා පුවත්පතක් හෝ සතිපතා පුවත්පතක් විශේෂාංග රැසකින් සමන්විතය. දේශීය හා විදේශීය පුවත් සම්පාදනය හැරුණු විට ජායාරූප, කාටූන් චිත්‍ර, තීරු රචනා, වෙළඳ දැන්වීම්, කතුවැකි, නිර්මාණාංග වැනි අංග ඇතුළත් වේ. පුවත්පත් වර්ගයන්ද කිහිපයක් දැකගත හැක. සාමාන්‍ය තොරතුරු සම්පාදනය හා විශේෂාංග ඇතුළත් පුවත්පත් හැරුණු විට විවිධ විෂයන්ට යොමුවුණු විශේෂ වර්ගයේ පුවත්පත් බිහිවී තිබේ. ළමා, කාන්තා, ක්‍රීඩා, විද්‍යා, සිනමා ඉන් කීපයකි."

මීට සමාන අර්ථයකින් "ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියේ" (පිටුව 1342) පුවත්පත හඳුන්වාදී ඇත්තේ "මහජනතාව උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති, වෙළඳ දැන්වීම්, සාහිත්‍ය හා සම්බන්ධ කරුණු සහ අනෙකුත් අංග ඇතුළත්ව දිනපතා හෝ සතිපතා පළකරන මුද්‍රිත ප්‍රකාශනයක් වශයෙනි.

ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ දෙවැනි කාණඩයේ (පිටුව 1096) අලුත් ආරංචි තොරතුරු ආදී ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට සැලැස්සීම සඳහා දිනපතා සතිපතා ආදී වශයෙන් නියත කාල සීමාවක් තුළ දී පළ කෙරෙන පත්‍රය ලෙස පුවත්පත දක්වා ඇත.

ජනමාධ්‍යය පිළිබඳ සම්මානීය ඉතිහාසඥයෙකු වන එඩ්වඩ් එවර් සැබෑ පුවත්පතක් වීමට කරුණු 7 ක් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි.
1. අවම වශයෙන් සතියකට වරක්වත් පළ විය යුතුය 
2.
එය යාන්ත්‍රික මුද්‍රණ ක්‍රමයකින් නිෂ්පාදනය විය යුතුය 
3.
සියලු ක්ෂේත්‍රවල ජනයාට (මිලට ගැනීමට) ලබා ගැනීමට පහසු විය යුතුය 
4.
ආගම, ව්‍යාපර වැනි විශේෂ විෂයකට වඩා   පොදු යහපතට අදාළ පුවත් පළ විය යුතුය 
5. 
ලිවීමේ කියවීමේ හැකියාව ඇති පොදු    ජනයාට කියවිය හැකි විය යුතුය 
6. 
කාලෝචිත විය යුතුය 
7. 
කාලයක් ස්ථාපිතව පැවතිය යුතුය 

මේ සියලු කාරණා සලකා බැලීමෙන් පසු නිගමන කිහිපයකට එළඹිය හැකිය.
(
අ) ප්‍රවෘත්ති පළවන පත්‍රය පුවත්පත බව
(
ආ) විශේෂාංග, චිත්‍ර, ජායාරූප, දැන්වීම් එහි අනිවාර්ය අංගයක් වී ඇති බව 
(
ඇ) පුවත්පතේ අර්ථ නිරූපණය අද වන විට පළල් වී ඇති බව
(
ඈ) විවිධ විෂයන්ට අදාළව පළවන අධ්‍යාපනික පත්‍ර විවිධ වයස් කාණ්ඩයන්ට අදාළව පළවන පත්‍ර හා සිනමා-කලා-ක්‍රීඩා පත්‍ර ආදිය "සඟරාමය පුවත්පත්" ලෙස හැඳින්විය හැකි බව.

මීළඟට පුවත්පතක හැඩරුව....


©සු.ප්‍රි. සමරසිංහ 
2023.07.21




1 comment:

  1. ඉතා වටිනා හරබර දැනුම් සම්භාරයක්

    ReplyDelete