Saturday, 25 November 2023

COMIC ARTIST INFORMATION

5. පී. වික්‍රමනායක මහතා 
 Mr. P. Wickramanayake 
 ( 1933- 2013 )

ගැමි සිරියෙන් චිත්‍ර කතාව විචිත්‍රවත් කළ පී. වික්‍රමනායක
--------------------------------------------------------------

"වික්‍රම" යන ආදරණීය නමින් හැඳින්වූ පී. වික්‍රමනායකයන් මුල් ම චිත්‍රකතා පත්තරය වූ සතුටෙහි සිටම චිත්‍රකතා නිර්මාණය කරමින් චිත්‍රකතා ලොවේ වික්‍රමයක් කළ ජ්‍යේෂ්ඨ  කලාකරුවෙකි.

*ජීවන තොරතුරු:

1933 මැයි මස පළමු වැනිදා මාතර වේරගම්පිටියේ දී උපත ලද විදානගමගේ පියදාස වික්‍රමනායක අධ්‍යාපනය ලැබුවේ වේරගම්පිට බෞද්ධ මිශ්‍රි පාසලින් හා මාතර රාහුල විදුහලෙනි. වේරගම්පිට පී.ඒ. ධර්මදාස,  රාහුලයේ දී ජස්ටින් ජයවර්ධන හා ජී.ආර්. එඩ්වඩ් යන ගුරුවරුන්ගෙන් ලද උපදෙස් ඔහුගේ චිත්‍රකලා හැකියාව ඔප් නංවා ගන්නට බෙහෙවින් බලපෑවේය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව 1950 දී වික්‍රමනායක තරුණයා මාතර ධර්මදාස ජායාරූප ශාලාවේ සේවයට බැඳෙයි.  එහි සේවය කරන අතරතුර පුද්ගල ජායාරූප අනුව ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම ඔහු විනෝදාංශයක් කර ගනියි.

1965 සැප්තැම්බර් 26 වැනිදා මාලි චාලට් නම්  තරුණිය (පසුව මාලි වික්‍රමනායක) සිය ආදරණීය බිරිඳ කර ගත් වික්‍රමනායකයන් දියණියන් දෙදෙනෙකු ගේ හා පුතුන් දෙදෙනෙකු ගේ ආදරණීය පියෙකි.

*කලා දිවිය:

1963 නොවැම්බර් මස 26 වැනිදා පළ වූ "නවයුගය" සඟරාවේ පිට කවරය නිර්මාණය කිරීම ඔහුගේ කලා දිවියේ ආරම්භය විය.

1964 වසරේ දී සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගමේ නිදහස් චිත්‍ර ශිල්පියෙකු ලෙස "දවස නිවස"ට සම්බන්ධ වී එහි සියලුම පුවත්පත් /සඟරා/වාර ප්‍රකාශන  සඳහා චිත්‍ර නිර්මාණය කිරීමට අවස්ථාව හිමිවීම කලා දිවියෙහි ඊළඟ පියවරය. 1967 එම සමගමේ ස්ථීර සේවකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණද, 1971 වසරේ හදිසියේ ම දවස කාර්‍යාලය වසා දැමීම හේතුවෙන් රැකියාව අහිමි වෙයි.

ඉන් අනතුරුව ටයිම්ස් ආයතනයට බැඳීමට ඔහුට හැකිවූ අතර, 1972 දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන්නේ සතුට පත්තරයේ චිත්‍රකතා  ශිල්පියෙකු ලෙසය. එහිදී සතුටට අමතරව සිළුමිණ, මිහිර, නවයුගය, තරුණි, ආදී පත්තර සඳහා චිත්‍ර නිර්මාණය කිරීමේ අවස්ථාව ඔහුට හිමිවෙයි.

1980 දී "සතුට" පත්තරයේ අයිතිය විජය පුවත්පත් සමාගමට හිමි වීමෙන් පසුව එම සමාගමට බැඳුණේ සතුට පත්තරයත් සමගය. 1988 දී වික්‍රමනායකයන් "විජය සතුටෙහි" සංස්කාරකවරයා බවට ද පත් වෙයි. 1993 දී රැකියාවෙන් විශ්‍රාම ගත්තද තවත් කාලයක් යනතුරු නිර්මාණ කටයුතු වල නිරත වෙයි.

වික්‍රමනායකයන් ලේක්හවුස්-සතුටින් විජය- සතුටට එක් වුවත් එතෙක් ඇඳි චිත්‍රකතා අවසන් වන තුරු ඇන්ඳේය. ඒ හේතුවෙන් අපට බට්ටි  කතාව අවසන් වනතුරු මධුර පත්තරෙන් කියවන්නට ලැබුණේය.

*චිත්‍රකතා වික්‍රමය:

වික්‍රමනායකයන් ගේ චිත්‍රකතා නිර්මාණ චාරිකාව වික්‍රමයක් බඳුය.

"70 දශකයේ දී පී. වික්‍රමනායක සතුට පුවත් පතට අරාබි නිසොල්ලාසය ඇසුරින් නිර්මාණය කළ අලි බබයි හොරු හතලිහයි, ඇලඩිනුයි පුදුම පහනයි ආදී චිත්‍රකතා ළමා පරපුරේ නොමඳ ප්‍රශංසාවට ලක් වූ ඒවා වූයේ ය. ගැමි ජනවහරට හුරු පුරුදු වූ භාෂා ශෛලිය සහ සිනමා සිත්තම් වලට නෑකම් දරණ රූප රාමු හේතු කොට ගෙන ජනප්‍රිය චිත්‍රකතාකරුවකු ලෙසට වික්‍රමට ස්ථාවරයක් ගොඩනගා ගත හැකි විය. (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)

*ගැමි සිරිය චිත්‍රකතාවට:

ඔහු වඩාත් සාර්ථක වූයේ ගැමි මධ්‍යම පාංතික පරිසරය හා චරිත පාදක කරගත් චිත්‍රකතා ඇඳීමේ දී බව පෙනෙයි. ඒ බව මෙවැනි සඳහනකින් පැහැදිලි වෙයි.

"වික්‍රම සිත්තම් කළ නාගරික ජීවිතය පසුබිම් කරගත් චිත්‍ර කතා වලට වඩා පාඨක පිරිස්වැඩි ප්‍රසාදයක් දැක්වූයේ ගැමි සමාජ පසුබිමකින් යුත් නිර්මාණ වලටය.

ගැමි වහර, නම් ගම්, චරිත ආදිය නිරූපණයේ දී වික්‍රම තම කුසලතාව පෙන්වා තිබේ.

ළමා පරපුර කෙරෙහි බෙහෙවින් සැලකිලිමත්ව නිර්මාණය චිත්‍ර කතා වඩාත් හෘදයාංගම ලෙස ඉදිරිපත් කිරීමේ ශෛලිය තුළින් තම අනන්‍යතාව තහවුරු කර ගෙන තිබුණේ අතිශය ප්‍රාණවත් අයුරිනි." (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)

*චිත්‍රකතා ශෛලිය:

වික්‍රමනායකයන්ගේ සමකාලීන ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන බන්ධුල හරිශ්චන්ද්‍රයන් ඔහුගේ නිර්මාණ හැකියාව ගැන මෙසේ සඳහන් කර ඇත.

"බාහිරින් ලබාගත් කිසිදු ආදර්ශයක් නොමැතිව වුවත් නිරායාසයෙනුත් වේගවත්ව ඕනෑම ආකාරයක මිනිස් රූ ඉරියව්වක් සටහන් කර එයට සජීවි ගුණයක් ලබාදීමට සමත් වමත් හුරුවක් ඔහුට තිබුණේය.

කතාවක ඒ ඒ චරිතයන්ට උචිත පරිදි රූප නිර්මාණය කිරීමට දක්ෂ වික්‍රම ඒ ඒ චරිතයන්ට ගැළපෙන දෙබස් නිර්මාණය කිරීමටත් සියුම් උපහාසයටත් දක්ෂතාවය ඇත්තෙකි.

මිනිස් රූප රාශියක් ඇතුළත්ව ඕනෑම ආකාරයේ පරිසරයක් නිරවුල්ව ග්‍රහණය කරන්නට හැකිවන පරිදි චිත්‍රය සැලසුම් කිරීමට වික්‍රමට ඇති දක්ෂතාවය ඉක්මවන්නට වෙනත් ඕනෑම චිත්‍ර ශිල්පියෙකිට පහසු නොවනු ඇත.

චිත්‍ර නිර්මාණයේදී මෙන්ම කතා රචනයේදීද වික්‍රමගේ ඇති දක්ෂතාවය ඔහුගේ 'බට්ටි' කතාවෙන්ම මනාව ප්‍රකාශයට පත්වී හමාරය."
(චිත්‍රකතා පත්තර කලාවේ වික්‍රමවත් සිත්තරා, බන්ධුල හරිශ්චන්ද්‍ර, ඉරිදා ලක්බිම, 2013.07.21)

*විශේෂ කලා කටයුතු:

• 1986 සිට සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රකාශන ආයතනයට සම්බන්ධව කටයුතු කිරීම  (සිංහල ධම්ම පදය චිත්‍රයට නැගීම හා බුදු දහම පිළිබඳ ග්‍රන්ථ රාශියකට සිතුවම් ඇඳීම)
• 1993 දී සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ  පූර්ණ කාලීන චිත්‍ර ශිල්පී තනතුර හෙබවීම, පන්සිය පනස් ජාතකය හා බුදු සිරිත සිතුවම් කිරීම.
• ඇමෙරිකාවේ පළමු වතාවට වෙසක් තොටණක් ඉඳිකිරීම, නිවයෝර්ක් පන්සලේ සිතුවම් ඇඳීම ඉන් කිහිපයකි.

*විශිෂ්ට එක් දින චිත්‍රකතා  මාලාව:

ඔහු සතුට මුල් කලාප වලට දෙස් විදෙස් කෙටිකතා ඇසුරින් ඇඳි එක් දින කතා ඉතා උසස් මට්ටමේ රස වින්දනයක්  ලැබා දෙයි. එම කතා ඇඳ ඇත්තේ පී.වික්‍රමනායක, වික්‍රම, ලිලන්ත හා ගමගේ යන ආදී වශයෙන් විවිධ නම් වලිනි. 

1. චිත්‍ර ශිල්පියා හා පරණ පාන් (ලෝ පතළ කෙටි කතා කෙටියෙන්, ඕ හෙන්රි ගේ කෙටි කතාවක් ඇසුරින් සකස් කළේ ප්‍රභාත් කුමාර)
2. ආදරය තුළ ආදරයක් (කතාව-මල්ලිකා රාණි)
3. සිහිනෙන් දුටු මාවත (ධර්මසිරි ගමගේ ගේ කෙටිකතාවක් ඇසුරින්)
4. මාලයක් කළ හදියක් (ගී ද මෝපසාන් ගේ කෙටිකතාවක් ඇසුරින්)
5. ගෑනිටත් බය යකා (නිකොලායි මකියවෙල්ලි ගේ කෙටිකතාවක්)
6. අත් හදා බැලීම (කතාව මල්ලිකාරාණි)
7. කොරේ පිටට මරේ (ඇල්බර්ටෝ මොරොවියාගේ කෙටිකතාවක් ඇසුරින්)
8. අන්තෝ ජටා බහි ජටා (විදෙස් කෙටිකතාවක් ඇසුරින්)
9. සිගරැට් දලුව (සත්‍ය කතාවක් ඇසුරින්, කතාව චිත්‍රානන්ද සමරසිංහ)
10. දෑවැදි දඬුවම (කතාව ප්‍රභාත් කුමාර)

*සම්භාව්‍ය සාහිත්‍ය ඇසුර:

දිගු චිත්‍රකතා සඳහා ද අරාබි නිසොල්ලාසය (අලි බබයි හොරු හතළිහ, ඇලඩින් සහ පුදුම පහන) මෙන්ම රුබෙයියාට් කාව්‍යය ඇසුරින් කතා නිර්මාණය කර ඇත. මැණික් දෙවඟන, විෂ්ණු අවතාරය යන කතා සඳහා ද සම්භාව්‍ය සාහිත්‍ය කෘති ඇසුරු කර ගෙන තිබේ.

සතුට පත්තරයට විශේෂාංග ලෙස ඇඳි චිත්‍රකතා ද කිහිපයක් වෙයි.

1. ඕමාර් ඛයියාම්ගේ රුබෙයියාට් කාව්‍යය (අනුවාදය එඩ්වින් ආරියදාස සූරින්)
2. මිනිස් මහිම
3. ඔලිම්පික් ඝාතනය (බන්ධුල සමරසිංහගේ සැකසුම)
4. විෂ්ණු අවතාරය
5. ගුත්තිල මූසිල (ගුත්තිල කාව්‍යය ඇසුරින්)
6. නොපැතූ පැතුමක් (මැටිල්ඩා ද සිල්වා ගේ නව කතාවකට ඇඳි චිත්‍ර)

*මෙගා චිත්‍රකතාව "බට්ටි":

වික්‍රමනායකයන් ගේ ජනප්‍රිය ම චිත්‍රකතාව වූ "බට්ටි" සිනමාවට නැඟුණු අතර පසුව ටෙලි සිත්‍තමක් ලෙස ද නිර්මාණය විය.වැඩිම කාලයක් එනම් අවුරුදු 10 ක් පමණ එකම ශිල්පියෙකු ඇඳි චිත්‍ර කතාව ලෙසද වාර්තා වන්නේ බට්ටි කතාවය. ලේක්හවුස් සතුටින් ආරම්භ වූ බට්ටි චිත්‍රකතාව විජය සතුට දක්වා කොටස් තුනකින් ඇඳ ඇති අතර, එහි පළමුවෙනි කොටස අවසන් කළේ මධුර පත්තරයෙනි.

(බට්ටි කතාව චිත්‍රකතා පොතක් ලෙස පළකිරීමේ කැමැත්ත හා ආසාව ඔහු  සිතෙහි තිබූ බව පුවත්පතකට කියා තිබුණි.)

[  ] සිනමාවට /ටෙලිනාට්‍යයට නැඟුණු චිත්‍රකතා
• චන්දිරා-මධුර පුවත්පතේ පළ වූවකි. අධ්‍යක්ෂණය : ඩැනී ඩබ්ලිව් පතිරණ (1983)
• බට්ටි-සතුට පුවත්පතේ පළවූවකි. අධ්‍යක්ෂණය : දයානන්ද ජයවර්ධන (1984)
• බට්ටි සහ කොරටුවේ ගෙදර චිත්‍රකතා ටෙලිනාට්‍ය ලෙස නිර්මාණය විය.

*චිත්‍ර කතා:

• සතුට -විශ්ණු අවතාරය, මැණික් දෙවඟන, පංචාලි, ඇලඩිනුයි පුදුම පහනයි, වීර තීසියස්, අලි බබයි හොරු හතලිහයි,  බට්ටි, මංජු, විශ්ණු අවතාරය, අපි යං රත්තරං
• මධුර-බට්ටි, චන්දිරා
• විජය සතුට - කොරටුවේ ගෙදර, බට්ටි 2-3 , රජ්ජුරුවෝ උඩයි උඩයි
• ළමා චිත්‍රකතා මිහිරට සහ විජයට-එක වගේ තුන්දෙනෙක්, රත්තරං මුවා, කිරින්දේ රාළ, චන්ඩි, කිරුපිංචිගේ කතාව, චෝයි අක්කි
• සිළුමිණ-චතුරිකා
• ලංකාදීප-අත්තක පිපි මල්, අප්ප පුතාලා, මං ඔයාට ආස නෑ, ඔයත් එක්ක මං සහ
     සාතන්, මමා, හිච්චි නගා, කුරුටු බලි, නිල් රතු කහ, ආදී වශයෙන් චිත්‍රකතා 150 ක් පමණ නිර්මාණය කර ඇති අතර රසවාහිනි සඟරාවට ද චිත්‍රකතා නිර්මාණය කර ඇත.

*සන්නිදර්ශන චිත්‍ර:

විජය පත්තරයට ඇඳි සන්නිදර්ශන චිත්‍ර ඉතා විචිත්‍රවත් ය. ළමා මනසට ප්‍රිය උපදවන ශෛලියකි. එස්. මහින්ද හිමිගේ "ලංකා මාතා" කවි පෙළට, විමලරත්න කුමාරගම ගේ "අය්යනායක" කවි පෙළට, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගේ කඳුරට දී, වෙසක් සීපද කවි වෙනුවෙන් ඇඳි සන්නිදර්ශන  චිත්‍ර ඉතා මනරම් ය.

එසේම සිළුමිණෙහි පළ කළ "ඥානකෝෂය- අත්වැල" හා "කතා සයුර" අතිරේක සඳහා ඔහු සන්නිදර්ශන චිත්‍ර ඇඳ ඇත.

සතුටෙහි පළ කළ මැඩිල්ඩා ද සිල්වා ගේ "නොපැතූ පැතුමක්" නවකතාව සරසා ඇත්තේ ද වික්‍රමනායකයන් ගේ චිත්‍රයෙනි. ඔහු ශ්‍රී සගරාවේ පළ වූ දිග නව කතා වලට ද චිත්‍ර ඇඳ ඇත.

*ගෞරව සම්මාන:

ඔහු චිත්‍ර කලාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා පහත සඳහන් ගෞරව සම්මාන වලින් පිදුම් ලැබුවේය.
• 2011 වසරේ දී කලා භූෂණ සම්මානය
• 1997 වසරේ දී සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ප්‍රදානය කළ ATULYA KAKA NIPUNA ගෞරව සම්මානය. (බෞද්ධ චිත්‍ර ග්‍රන්ථ සම්පාදනය වෙනුවෙන්)
• 2001 වසරේ දී ඇ.එ.ජ. නිව්යෝක් බුඩිස්ඩ් විහාරය ප්‍රදානය කළ MASTER OF FINE ARTS ගෞරව සම්මානය (විහාර ප්‍රධාන දොරටුවෙහි නිර්මාණය කළ සිතුවම වෙනුවෙන් )

2013 ජූලි 18 වැනිදා ඔහු සිය චිත්‍ර කතා දිවිසැරිය  නිමා කරමින් අප අතරින් වෙන්ව ගියද,  "වික්‍රම" යන ආදරණීය නාමය රසිකයින් අතරින් මෙන්ම චිත්‍රකතා වංශ කතාවෙන් කිසිදා නොමැකෙන බව විශ්වාසය.

ශ්‍රී ලාංකීය චිත්‍රකතා කලාවට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පී. වික්‍රමනායක  කලාකරුවාණන්ට පත්තර අරණ  ගෞරවය පුද කරමු !


සු.ප්‍රි. සමරසිංහ
supprisamarasinghe@gmail.com

ස්තුතිය-
• පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්‍රයන්ට  හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහය
• SATHUTA සතුට සමූහයට
• සහ තොරතුරු ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටම
• (සිත්තරාගේ ජායාරූපය- බන්ධුල හරිශ්චන්ද්‍රයන් ගේ සිතුවමකි)

පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර-
• චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)
• චිත්‍රකතා පත්තර කලාවේ වික්‍රමවත් සිත්තරා, බන්ධුල හරිශ්චන්ද්‍ර, ඉරිදා ලක්බිම, 2013.07.21
• ලිය ගුණ වරුණ, මාලි වික්‍රමනායක මහත්මිය සමග බියංකා නානායක්කාර කළ සම්මුඛ සාකච්ජාව, අරුණ, 2019.09.15
• වික්‍රමනායක මහතා ගේ අදහස්, සටහන-සුරංජා සරෝජනී පතිරණ, දිනමිණ, 1993.12.22
• සුපිරි ගේ කොලම






No comments:

Post a Comment