6.තලංගම ජයසිංහ මහතා
Mr. Thalangama Jayasinghe
"තලන්" නමින් "Aතුමා" ගැන දේශපාලන කාටූන් අඳින
ජ්‍යේෂ්ඨතම චිත්‍රකතා ශිල්පියා-තලන්ගම ජයසිංහ
සිය උපන් ගම නමින් ප්‍රකට වූ තලන්ගම ජයසිංහයන් , අද දක්වාම ජාතික පුවත්පතකට දේශපාලන කාටූන් අඳින ජ්‍යේෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි, චිත්‍රකතා ශිල්පියෙකි, කාටූන් ශිල්පියෙකි.
*ජීවන තොරතුරු:
සිය උපන් ගම නමින් ප්‍රකට වූ තලන්ගම ජයසිංහයන් , අද දක්වාම ජාතික පුවත්පතකට දේශපාලන කාටූන් අඳින ජ්‍යේෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි, චිත්‍රකතා ශිල්පියෙකි, කාටූන් ශිල්පියෙකි.
*ජීවන තොරතුරු:
1936 වසරේ ජූලි මස පස් වැනිදා තලන්ගම දී උපත ලද තලන්ගම තිලක ජයසිංහයන් බත්තරමුල්ල, පැලවත්තේ විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලින් අධ්‍යාපනය හැදෑරුවේය.
අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසුව 1951 දී රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බව නොඅනුමානය.
එහිදී ඔහුගේ සමකාලීනයන් වූයේ ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ හා එස්.ජී. චාර්ලිස් වැනි කලාකරුවන් ය. හේවුඩහීදී චිත්‍ර, මූර්ති, මැටි හා ලාකඩ යන විෂයන් හතරට අමතරව නිවාස සැලසුම පිළිබඳවත් ඉගෙන ගත් බව සඳහන් වෙයි. ඉන් නොනැවතී මරදානේ ‘ටෙක්නිකල් කොලේජ්’ වෙත ගොස් චිත්‍ර විෂය වැඩි දුර හැදෑරීමට තරම් කැමැත්තක් ඔහු සිතෙහි චිත්‍ර කලාව කෙරෙහි ඇදී ගොස් තිබුණි.
*කලා දිවිය:
ළමා සඟරාවලට කවි, චිත්‍ර ඇඳීම ඔහුගේ කලා දිවියේ ආරම්භයයි. මුල්ම කාටූනය ළමා ලෝකය සඟරාවේ පළවී ඇත්තේ පාසලේ හත්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරද්දීය.
සඟරා වලට යොමු කළ හැම නිර්මාණක් ම පළවීම චිත්රකලා කටයුතු දිරිමත් කිරීමට හේතුවක් විය. එකල අඳින ලද චිත්රවල කාටුන් හුරුව තිබීම පසු කාලයේ දී චිත්‍රකතා ශෛලියක් ගොඩනගා ගැනීමට හේතු වන්නට ඇත. චිත්‍රයට යටින් කවි පදයකුත් ලිවීමද විශේෂ කාරණයකි. මුලදී ඔහු නම ලෙස භාවිත කළේ "තලන්ගම තිලක ජයසිංහ" යනුවෙනි. ඉන් පසු කාලයේ දී ය තිලක යන කොටස අත්හැර "තලන්ගම ජයසිංහ" යන නම නිර්මාණකරණයේ දී යොදා ගෙන ඇත්තේ.
*පළමු චිත්‍රකතාව:
දිනමිණ පුවත්පතේ ප්‍රථම චිත්‍රකතාව ලෙස ‘චිත්‍රා’ නමැති චිත්‍රකතාව පළ වූයේ 1954 දී ය . එවිට ජයසිංහයන් 18 හැවිරිදි ශිෂ්‍යයෙකි.
*ලේක්හවුස් ආයතනයට:
රජයේ ලලිත කලායතනයේ අධ්‍යාපනය ලබද්දී ම අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණුනින් වෙළෙඳ දැන්වීම් ආයතනයක සේවය කිරීම ජයසිංහයන් ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයයි. මේ අවදියේ එවැනි වෙළඳ දැන්වීම් ආයතන පහක වැඩ කළ බව සඳහන් වෙයි. මේ අතරතුර 1956 දී සිළුමිණ පත්තරේට චිත්‍ර ශිල්පියෙක් අවශ්‍ය බවට දැන්වීමක් පළවෙයි. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 19 කි.
රජයේ කලායතනයේ චිත්‍ර හා මූර්ති පාඨමාලාව හැදෑරීමෙන් පසුව චිත්‍ර ශිල්පියකු ලෙස 1957 දී ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට බැඳීමට අවස්ථාව සැලසෙන්නේ ඒ අනුවය. අයදුම්කරුවන් 400 පමණ දෙනෙකු අතරින් ජයසිංහයන්ට මෙම තනතුරට හිමිවීමට තරම් ඔහු දක්ෂයකු මෙන්ම වාසනාවන්තකු ද විය.
වසර 42ක් පමණ කාලයක් ලේක්හවුස් ආයතනයේ වැඩකළ තලන්ගම ජයසිංහයන් ඉන් ඉවත් වන්නේ 1998 වසරේදී ය. ඒ වනවිට ඔහු වසර 18 ක් මධුර පත්‍රයේ කර්තෘ ලෙස කටයුතු කර තිබුණි. ඉන් පසුව ද 2005 වසර වනතුරුම ඔහු සිළුමිණ පත්තරයට චිත්‍රකතා නිර්මාණය කළේය.
*මධුර පත්තරයේ කර්තෘ:
මධුරෙහි ආරම්භක කතුවරයා වන්නේ ග්‍රැන්විල් ද සිල්වා මහතාය. ඔහු ලේක්හවුස් සතුට පත්තරය අවසාන කාලයේ එහි කතුවරයාව සිටියේය. මාස කිහිපයකට පසුව එනම් 1980 මැයි මාසය පමණ වනවිට මධුර කතුවරයා ලෙස පත්වන්නේ තලංගම ජයසිංහ මහතාය.
1998 දී ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගන්නා තුරු ඔහු එම තනතුර දැරූ අතර, 2005 දක්වා වෙනත් ලේක්හවුස් පත්තර සඳහා චිත්‍රකතා නිර්මාණය කළේය.
*උපන් ගමේ නම තබයි:
සිය උපන් ගම නමින් ප්‍රකට වූ කලාකරුවන් අතර සුවිශේෂී නාමකරණයක් වන්නේ "තලන්ගම" හා "ජයසිංහ" යන නම් දෙකයි. ඒ නම් දෙකෙහි සුසංයෝගයෙන් බිහි වූ නාමයෙන්
හැඳින්වෙන "තලන්ගම ජයසිංහ" නාමය මෙරට චිත්‍රකලාවේ, චිත්‍රකතා පත්තර කලාවේ, කාටූන් කලාවේ සළකුණක් සටහන් කිරීමට සමත් වෙයි.
උප්පැන්න සහතිකයෙන් හිමි වූ "ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ" නම අත්හැර උපන් ගමේ නමින් හඳුන්වාගන්නේ 1955 සිය පියාගේ අභාවයෙන් පසුවය. ඉංග්‍රීසි පන්නයේ නමට ඇති අකමැත්තත්, භාවිතයේ පහසුව සඳහා කෙටි සිංහල නමක් අවශ්‍ය වීමත් යන කරුණු ඊට හේතු වූ බව ඔහු සඳහන් කර තිබුණි.
*"තලන්" ගේ දේශපාලන කාටූන්:
සමකාලීන සමාජ දේශපාලන සිදුවීම් දෙස සදය උපහාසයෙන් යුතුව ඉදිරිපත් කරන තලන්ගම ජයසිංහයන්ට ම ආවේණික කාටූන් චිත්‍ර සම්ප්රදාය පුවත්පතකට ආලෝකයකි.
මේ ඔහුගේ දේශපාලන කාටූන් කලාව පිළිබඳව පත්රකලාවේදී පර්සි ජයමාන්න මහතා අන්තර් ජාලයේ තැබූ සටහනකින් උපුටා ගත්තකි.
"බොහෝ දේශපාලන කාටූන්කරුවන් චිත්‍රශිල්පය ප්‍රගුණ කළ අය නොවෙයි. ඒ නිසා තලන්ගමගේ චිත්‍ර වෙන්වෙලා කැපිලා පේනවා. ඔහුගේ විකට චිත්රවල උපහාසය හා හාස්‍යය නොඅඩුව තියෙනවා. ඒ වගේම ඒ චිත්රවල පරිපූර්ණත්වයකුත් දැක ගන්න පුලුවන්. ඔහු නිර්මාණය කරන චරිතවල ප්‍රාණවත් භාවයත් උපහාසය තරම්ම හොඳට මතු කරනවා. 1931 ජී. එස්. ප්‍රනාන්දුගෙන් ආරම්භ වුණු දේශීය පුවත්පත්වල දේශපාලන කාටූන් කලාවේ කූටප්‍රාප්තිය සලකුණු කරන්නේ තලන්ගම ය."
(85 වියට පා තැබූ අපූරු මැවුම්කරුවා-තලන්ගම ජයසිංහ, පර්සි ජයමාන්න).
ඔහු මේ දක්වා “A තුමා” සහ “පලාමල්ල” යන දේශපාලන කාටූන් ලංකාදීප පත්තරයට අඳියි.
"Aතුමා" අඳින්නේ "තලන්'" යන නමිනි.
ලංකාදීපයට ලියන "අනේද කියන්නෙ" කවි සිව්පදය ද සමාජ විවරණයකි.
*ග්රන්ථකරණය:
ළමා වියේදී ම කවි ලියමින් ලේඛන කලාව හුරු කළ තලන්ගම ජයසිංහයන් ළමා පොත් රාශියක් ලියා තිබෙයි. ඔහු රචනා කර ඇති ළමා කතා ලෙස අරුම පුදුම කාසිය, කුරුලු උයන, සිංහ කොඩිය, රන් හදවත දැක්විය හැකිය.
ඔහු ලේක්හවුස් පුවත්පත් වලට චිත්‍ර කතා රචනා කර ඇත. "සුනඛ දේශය" හා "විනෝද වටය" යනුවෙන් සිළුමිණ පත්තරයට හා "විලම්බීත" හා "කුරුමිණි සඳෙස" නමින් සරසවිය පත්තරයට කළ විශේෂාංග ද "තවත් අවුරුදු සියවසකට පසු" යනුවෙන් සිළුමිණට ඔහු ලියූ විශේෂාංගය ද ජනප්‍රිය විය.
2005 දී පිස්සු ඩබල් නමින් උපහාසාත්මක ග්‍රන්ථයක්ද පළ කෙළේය.
*චිත්‍රකතා කිහිපයක්:
• ඇටසැකිල්ල, සුදු සහ කළු, රතු අක්කා, තාත්තා (සිළුමිණ)
• පර්සියස්, ලොකු තාත්තා, නෝනා ලීසා (දිනමිණ )
• වියරු මුහුද (කතාව වජිර ජයනෙත්ති ) (සතුට )
• කල්හාරි, ජැකී සහ විකී,, ඒරියස් හීරා (කතාව ඔහුගේය) (මධුර )
• යකඩ ගෑනි (විජය සතුට )
• පියුමලී (තරුණි)
• නිල්කඟවේනා, සැන්දෑ අහස වගේ, හිරු නැති ලොවක්
• චිත්‍රකතා පොත්-මිනිස් දඩයම, මා ආලය කළ තරුණිය, පණට පණ, ව්‍යාඝ්‍රයෝ
*"වියරු මුහුද" සිනමාවට:
තලන්ගම ජයසිංහයන් විසින් සතුට පත්තරයට නිර්මාණය කරන ලද "වියරු මුහුද" චිත්‍ර කතාව සිනමා නිර්මාණයක් වන්නේ "සප්ත කන්‍යා" නමිනි. "වියරු මුහුද" චිත්රකතාවේ කතා රචකයා වජිර ජයනෙත්ති ය.
සප්ත කන්‍යා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එච්.ඩී ප්‍රේමරත්නයන් විසිනි. එය අතිශය ජනප්‍රියත්වයට පත් සිනමා නිර්මාණයකි.
ඔහු දිනමිණට ඇඳි "ලොකු තාත්තා" චිත්‍රකතාව (කතාව ධර්මසිරි ගමගේ ) කේ.ඩී. දයානන්ද මහතාගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට නැගී ඇත.
නිර්මාණකරණයේ යෙදෙමින් සැදෑ සමය නිදුක් නිරෝගීව සතුටින් කාල ගත කරන්නට එතුමාට වාසනාව ලැබේවා යනු " පත්තර අරණ" ප්‍රාර්ථනයයි !
චිරං ජයතු චිත්‍ර කතා කලාකරුවාණනි !
©සු.ප්‍රි. සමරසිංහ
• පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• SATHUTA සතුට සමූහයට
පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර-
• අයෝම ජයසිංහ මහතාගේ මුහුණු පොතේ පෝස්ට්ටුව
• චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය).
• 85 වියට පා තැබූ අපූරු මැවුම්කරුවා-තලන්ගම ජයසිංහ, පර්සි ජයමාන්න. 2021.07.10
• අන්තර් ජාලය
No comments:
Post a Comment