Sunday, 26 November 2023

COMIC ARTIST INFORMATION

7. බන්ධුල හරිස්චන්ද්‍ර මහතා 
  Mr. Bandula Harishchandra 


දේශීය චිත්‍ර කලාවක් සොයා ගිය ජාතියේ මහා සිත්තරා- "බන්ධුල මාස්ටර්"

දේශීය චිත්‍රකලා සම්ප්‍රදායක් සොයා, එමෙන්ම
දේශීය හා විදේශීය සාහිත්‍ය සම්පත් චිත්‍ර කතා මාධ්‍යයෙන් හඳුන්වාදුන්, බන්ධුල හරිශ්චන්ද්‍රයන් අපට සිටින ජ්‍යෙෂ්ඨතම චිත්‍රකතා කලාකරුවෙකි.

*ජීවන තොරතුරු:

1940 මැයි මස 24 වැනිදා පානදුර, කෙසෙල්වත්ත ගමේ උපත ලද දොම්පෙගේ බන්ධුල හරිශ්චන්ද්‍ර  පීරිස් ශ්‍රී ජින ධර්මදාන විදුහලින් සිප්සතර හදෑරීමෙන් පසුව හේවුඩ් නමින් හැඳින්වූ රජයේ ලලිත කලායතනයේ දී ශිල්ප හදාරන්නට වාසනා වන්ත විය.

මේ මහා සිත්තරාගේ ජීවිතය,  ඔහු නිර්මාණය කළ සිතුවම් තරම් වර්ණවත් හෝ අලංකාර එකක් නොවීය. එහෙත් එය චිත්‍ර කතාවක් තරම් සිත් සතන් පහන් කරන අනුවේදනීය කතාවකට ළංවන බව සිතෙයි. වරක් ඔහු සිය ජීවිත කතාවෙන් බිඳක් පත්තරයකට හෙළිකොට තිබුණේ මෙසේය.

"මට කඳුළත්, හුදකලාවත් අමුතු දේවල් නොවෙයි. මම උපන්නෙ පානදුර වලානෙ ඉන්න හිටින්නවත් තැනක් නැති අන්ත දුප්පත් පවුලක. මගේ තාත්තා වඩුවෙක්.

මම යන්තන් බහ තෝරා ගෙන එද්දී තාත්තා අසනීපයෙන් ඔත්පල වී තියෙනවා. අවුරුදු හයක් තිස්සේ තාත්තා ඔත්පල වෙලා ඉන්දෙද්දි පවුලේ මුළු බර අදින්න වුනේ අම්මටමයි.

මේ දුක් වේදනා හා හිරිහැර අතරින් වුවත් චිත්‍ර පිළිබඳව මොකක්දෝ රසවත් හැඟීමක් මේ කාලය තුලදී මගේ හිතට ඇතුලත් වී තියෙනවා.

මුල් කාලෙදි මගෙ හිතේ තිබුනෙ ගුරුවරයෙක් වෙන්නයි. ඒත් දුප්පත්කම ඒ බලාපොරොත්තුව මගේ හිතින් තුරන් කලා පමණක් නොවෙයි, මගේ ඉගෙනීමත් අතරමග කඩා දැම්ම.

ඒත් මගේ චිත්‍ර කලා දක්ෂකම හඳුන ගත් එච්.පී.බී. ජයවර්ධන මහතා මට ජාතික කලා පෙරමුණේ සභාපති මුණ ගැහෙන්න අවස්ථාවක් සලසල දුන්න. ඒ මාර්ගයෙන් මට මගේ චිත්‍රකලා දක්ෂකම් ඉස්මතු කර ගන්න ඉඩක් ලැබුණා." (හුදකලාවේ මැවෙන සිත්තම්, බන්ධුල හරිශ්චන්ද්‍රයන් ගේ අත්දැකීම්, රොඩ්නි විදානපතිරණ, කුමරි, 1980.01.23).

ජයවර්ධන චිත්‍ර ගුරුවරයා යටතේ චිත්‍රකලාව හැදෑරීමත්, ජාතික කලා පෙරමුණේ වාර්ෂික චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය පිට පිටම නව වතාවක් ජයග්‍රහණය කිරීමත්, ජාතික කලා පෙරමුණ විසින් පානදුරේ ආරම්භ කළ ලලිත කලායතනයේ ඉගැන්වීමත් ඔහුගේ ජීවිතයේ මංසළකුණු විය.

*කලා දිවිය-

එසේම හෙන්රි තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම අනුව ලේක්හවුසියට සම්බන්ධ වීම  සහ දිනමිණට පළමු චිත්‍ර කතාව වූ "සුලසා ජාතකය" 1962 දී ඇඳීමද වැදගත් සිද්ධි දෙකකි. ඔහු 1962 සිට 1978 දක්වා කාලයේ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අතර දිනමිණ, සිළුමිණ, නවයුගය හා සතුට පත්තර වලට චිත්‍ර කතා නිර්මාණය කළේය.

ඉන් පසුව මල්ටිෆැක්ස් ආයතනයටත්, කැමිලස් පබ්ලිකේෂන් ආයතනයටත්, සුමති ආයතනයටත් එක් විය. ඒ අනුව 1962 සිට 2006 දක්වා පුවත් පත් ආයතන හතරක ඔහු සේවය කර ඇත. ඒ කාලය තුළදී චිත්‍ර කතා 170 කට වඩා නිර්මාණය කර ඇත. ඉන් චිත්‍ර කතා 65 ක් ජාතක කතාය.

බන්ධුල හරිශ්චන්ද්‍රයන් 1980 දී චිත්‍ර ශිල්පිනියක් වූ කුසුම් මංගලිකා සමග අතිනත ගත්තේය. ඔහුට ඇය මුණ ගැසෙන්නේ මල්ටිෆැක්ස් ආයතනයේදීය. මහනුවර විසූ ඇය එහි පැමිණියේ චිත්‍ර කතා ඇඳගෙන ඒවා පත්තරයට බාර දීමටය.

දේශීය චිත්‍රකතා සම්ප්‍රදායක් සොයා යෑම

බන්ධුල හරිස්චන්ද්‍රයන් අනුදත් මග අනුව අපට පෙනී යන්නේ ඔහු දේශීය චිත්‍රකතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීමට උත්සුක වූ බවය. අතීතයේ ලෙන් විහාර වල ජාතක කතා සිත්තම් කළ සම්ප්‍රදාය අනුගමනය කරමින් ජාතක කතාවක් චිත්‍ර කතාවක් ලෙස නිර්මාණය කරමින් ඇරඹි ගමන් මග ඉමහත් ප්‍රසංශනීය වෙයි.

චිත්‍ර ශිල්පයෙහි පරිණත අවදියේ දී පන්සල් බිතු සිතුවම් කලාවෙහිද මේ සිත්තරා නිරත වීම මෙකරුණ සනාථ කරයි.  බොරැල්ලේ ශ්‍රී ලංකාරාමය හා අම්බලන්ගොඩ කලුවඩුමුල්ල යන විහාරස්ථානවල බන්ධුල හරිශ්චන්ද්‍රයන් ගේ සිතුවමින් අලංකාර වෙයි. එබැවින් හෙළ සිත්තර පරම්පරාවට ද ඔහුගේ නම ඇතුළත් කළ හැකිය යන්න සාධාරණ ප්‍රකාශයක් වෙයි.

බන්ධුල හරිශ්චන්ද්‍රයන්ගේ චිත්‍ර කතා සම්ප්‍රදාය පිළිබඳව බොහෝ තැන් වල සාධනීය ලෙස සාකච්ජා වී ඇත.

".......60 දශකයේ චිත්‍රකතා කරණයට පිවිසි මුල් යුගයේ  බන්දුල විසින් නිර්මාණය කළ කතා බොහොමයක් ජාතක කතා ඇසුරින් නිර්මාණය කර තිබේ......

බන්දුල හරිශ්චන්ද්‍ර වැනි චිත්‍රකතා ශිල්පියෙකුගේ කාර්‍ය භාරය වඩාත් කැපී පෙනුණේ දේශීය හා විදේශීය සාහිත්‍ය සම්පත් චිත්‍ර කතා මාධ්‍යයෙන් හඳුන්වාදීම තුළිනි. ඔහුගේ මුල්ම චිත්‍රකතාවේ සිට සාහිත්‍යයෙන් ලත් ආභාසය නො අඩුව දක්නට ලැබුණි. ...වඩාත් සරල බස් වහරක් හා කදිම සිත්තම් සමූහයකින් සමන්විත වූ ඔහුගේ චිත්‍රකතා පුළුල් පාඨක පිරිසකට රස වින්දනය ගෙන දෙනු ලැබූවක් ම විය.

වර්ණ යෙදීමෙන් චිත්‍රකතාවකට වැඩි පිරිසක් ආකර්ශනය කර ගත හැකි බව වටහා ගනිමින් චිත්‍රකතා නිර්මාණය ඇරඹුවේද බන්දුලයි. භාරත සාහිත්‍යයෙන් උපුටා ගත් නළ දමයන්ති එසේ පළවූ මුල්ම වර්ණ චිත්‍ර කතාවයි.

පුද්ගල නිරූපණයේ දී විශ්වාසනීයත්වයෙන් යුතුව නිම වූ චිත්‍ර නිරූපණ ශෛලිය මෙන්ම ඒවායේ කතාව සකස් කර තිබූ ආකාරය, පරිසරය හා ඇඳුම් පැළඳුම් සරල සහ කෙටි දෙබස් ඉදිරිපත් කිරීම වැනි කුසලතා මත ද බන්දුල ගේ චිත්‍රකතා වැඩි පිරිසකගේ අවධානයට යොමු විය."
(චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර-නිසිත වර්ණසූරිය)

චිත්‍රකතා සම්ප්‍රදාය

ඔහුගේ චිත්‍ර කතා සම්ප්‍රදාය පිළිබඳව ඉතා පුළුල්ව සාකච්ජා කළ යුතුය දෙයකි. එහෙත් එය කෙටියෙන් හෝ කතා කළ යුතුය.

සිය හැකියාව ගැන ඔහුම වරක් මෙසේ සඳහන් කර ඇත.
"චිත්‍ර කලාවේ මට අපූරු හැකියාවක් තිබුණේය. මට ප්‍රකාශන චිත්‍ර අඳින්නට ආදර්ශක අවශ්‍ය නොවීය. ඕනෑම ඉරියව්වක් මට සිතෙන් මවාගෙන ඇඳීමේ හැකියාව තිබුණේය."
(ආරාධිත ලිපිය, බන්ධුල හරිශ්චන්ද්‍ර, 2020.05.31 අරුණ)

මේ තවත් සිත්තරෙකු බන්ධුල හරිශ්චන්ද්‍රයන්ගේ හැකියාව දකින විදියයි.

"ඇතැම් විට බොහෝ සිත්තරුන් චිත්‍රකතාවේ එක් එක් අංශ කෙරෙහි සිය කුසලතාවය පෙන්නුම් කරයි.එහෙත් බන්ධුල හරිශ්චන්ද්‍රයන් චිත්‍ර ශිල්පයේ එන මිනිස් රූප හා සත්ව රූපවල ඕනෑම ඉරියව්වක්, ගස් කොලන්, ගෙවල්, මාලිගා, රජ සිටු මැදුරු, නිරූපන චිත්‍ර, මුද්දර සැලසුම්, පොත් පිටකවර, පෝස්ටර් චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, භූමි දර්ශන, විහාර චිත්‍ර, ලියවැල් රටා, අකුරු රටා, කාටූන් චිත්‍ර, පාරම්පරික චිත්‍ර, මූර්ති බිතුකැටයම් ආදී වූ ඕනෑම ඉසව්වක සිය ප්‍රතිභාව පෙන්වූ දිය සායම්, තෙල් සායම්, ඇක්‍රලින් තීන්ත, පැස්ටල්, පැනසල්, චාකෝල් හා ඉන්දියන් තීන්ත ආදී වූ ඕනෑම මාධ්‍යයකින් සටන් කළ අපූර්ව සිත්තරෙකි. මහ විරුවෙකි. චිත්‍ර කලාවේ සියලුම අංශ අතික්‍රමණය කළ නිසාදෝ බොහෝ ශිල්පීන් 'බන්ධුල මාස්ටර්' ලෙස එතුමන් හඳුන්වන්නට පෙළඹී ඇත්තේ.

"අඳුර-ආලෝකය මැනවින් භාවිතා කිරීම, චරිතවල විවිධ ඉරියව් විවිධ හැඟීම් පෙන්වීම සහ තවත් බොහෝ කාරණාවලින් මෙතුමන් සැබෑම චිත්‍රකතා සිනමාකරුවෙකි. ඉතාම නිර්මාණශීලී ලස්සන 'සිනමා ඇසක්' ඔහු සතුව පැවති බවට කිසිදු විවාදයක් නැත. එනම් දුර රූප, ළඟ රූප, මධ්‍යම රූප සහ ගුවනින් පෙනෙන රූප සහ ඕනෑම රූප රාමුවක් ක්ෂණික සංස්කරණයකින් චිත්‍රනය කර ඇත්තේ ඉතාම විශ්මිත අයුරිනි. " (අපේ කාලයේ සිත්තරා බන්දුල, ආරියසිරි කොඩිතුවක්කු, දිවයින, 2020.05.31)

ඔහු ජාතික චිත්‍රකතා පදනමේ ගරු අනුශාසකවරයෙකි.

"සුසිල් මාස්ටර්ගෙන් පසුව චිත්‍රකතා ලෝකයේ යුග මෙහෙවරට දායක වූ චිත්‍ර ශිල්පියෙකු ලෙස බන්ධුල හරිශ්චන්ද්‍ර හඳුන්වා දිය හැකිය. එතුමා චිත්‍ර කතාවට නව මුහුණුවරක් ආදේශ කරමින් අපූර්ව චිත්‍ර කතා රාශියක් නිර්මාණය කළේය." (සිත්තර රාත්‍රිය, 2007, සංස්කාරක සටහන, ජාතික චිත්‍රකතා පදනම)

පළමු වර්ණ චිත්‍රකතාව

චිත්‍ර කතා ඉතිගාසයේ මුල්ම වර්ණ චිත්‍රකතාව වූ "නල දමයන්ති"  දිනමිණට  ඇන්දේ ඔහුය.

පළමු චිත්‍රකතාව හා දීර්ඝ චිත්‍රකතාව

1962 අප්‍රේල් මාසයේ දී දිනමිණට  'සුලසා ජාතකය' සිත්තම් කරමින් බන්ධුල හරිශ්චන්ද්‍රයන් චිත්‍රකතා ලෝකයට පිවිසෙයි.

ඔහුගේ දීර්ඝ චිත්‍ර කතාව වූ ගාලගෝල 1963 ජනවාරි මාසයේ සිට දිනමිණ පත්තරයේ පළ විය. ඉන් අනතුරුව දිනමිණ සහ සිළුමිණ පත්තරව වලට නිර්මාණ කළ චිත්‍රකතා  ලෙස බෙලරපන්, හෙලන්, දේවතාපය, රහස් හස්න, දේවස්මිතා හැඳින්විය හැකිය.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා

බන්ධුල හරිශ්චන්ද්‍රයන්ගේ "සද්දන්ත" පළවුණේ 1976 දී නවයුගය පත්තරයේය. එය නිර්මාණය වන්නේ බටහිර චිත්‍ර කතාවක් වූ හල්ක් චරිතය ආදර්ශයට ගෙන බව සිතිය හැකිය. පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සද්දන්ත මිනිසෙකු නිර්මාණය වීම මෙහි කතා තේමාවයි.

ඔහුගේ සෙල්ලම් මිනිස්සු (කතාව අජන්තා රණසිංහ) සහ මාර ගස් ද විද්‍යා ප්‍රබන්ධමය ලක්ෂණ පෙන්වන චිත්‍රකතා දෙකකි.

සතුටට ඇඳි මුල්ම චිත්‍රකතාව

බන්ධුල හරිශ්චන්ද්‍රයන් සතුටෙහි මුලින්ම පළ කර ඇත්තේ දවසින් අවසන් වන කතාවකි.
ආදර තීරණයක් නම් වූ ඒ කතාව හැරල්ඩ් පීරිස්ගේ ය.  එය සතුටෙහි 1974.11.12 දින පළ කර ඇත. මේ කතාව වෙනුවෙන් මුල් පිටුවක් ද 1974.11.05 දින පළ කර තිබීම විශේෂයකි. (මෙම තොරතුරු ලබා දුන්නෙ ප්‍රසංග පිගේරා මහතාය.)

*චිත්‍රකතා:

බන්ධුල හරිශ්චන්ද්‍රයන් පුවත්පත් ආයතන හතරක ප්‍රකාශන ගණනාවකට චිත්‍ර කතා රාශියක් නිර්මාණය කර ඇත.

දිනමිණේ පළ වූ කස පහර, නල දමයන්ති, සිළුමිණේ පළවූ සිංහබාහු, පණ්ඩුකාභය, නයනා, පෙතිගෝමර, හත්වැනි දවස, දේවතාපය, අරාබි නිසොල්ලාසය, ග්‍රීක-රෝමා කතා, ජාතක ආදී වශයෙන් ඔහුගේ චිත්‍ර කතා නාමාවලිය දිගය.

• දිනමිණ-සුලසා ජාතකය ඇතුළු ජාතක කතා, නල දමයන්ති, මංගලා, භද්‍රා
• සිළුමිණ-උන්මාද චිත්‍රා, සිංහබාහු, පණ්ඩුකාභය, සකුන්තලා,  දේවස්මිතා, රහස් හස්න, හෙලන්, පෙරික්ලීස්, කස පහර, සින්බෑඩ්, නයනා, පෙම්වතිය, හිතවතිය, බේබද්දා, පෙනිලෝපා, පෙතිගෝමර, නිධන් හොරු, අයෝනා, ගැහැණු මායම, සත්වෙනි දවස
• සතුට-සමීනා, දියමන්ති මාලිගය, තනිතරුව, මාර ගස්, පුංචි මිනිස්සු
• නවයුගය-හේලෝ, සද්දන්ත
• සිත්තර-ඉඩෝරයට පොද වැස්සක්, සිංහලේ, කිරට හඬන පුතුනේ
• සිත්සර-පොපි මල් හඬනදා, සිහින විමන්, දියෙන් උපන් කුමරී, ගඟ අද්දර, රෝස කුමාරි, හතයි තිහ
• ස්වර්ණ-ප්‍රියා, යකාගේ සුළඟ, රතු පළිහ, දිය රකුසා
• සත්සිරි-රාජාලි කොල්ලා, අශ්වයට අං ඇවිත්, කූඹි කැලේ, පාදඩයා, රෝස කුමාරි, ඉතා සතුටින් දැනුම් දෙමි, සොල්දර කෑල්ල, නෙළුම් කුමාරි
• රසික- බෙලරපන්,  සිංහල දේශය
• ලක්බිම-සුළං කුරුල්ලෝ
• සිව්දෙස-සමන්තිකා, තුන්පත් රටා
• යහළු -අභය
• FB චිත්‍රකතා-කණකොක් දඩයම

*චිත්‍රකතා පත්තර සංස්කරණය:

                            ස්වර්ණ හා රසික ඔහුගේ සංස්කාරකත්වයෙන් පළවූ චිත්‍රකතා පත්තරයි.

*පොත් කවර නිර්මාණය හා වෙනත් නිර්මාණ කටයුතු:

පොත් කවර නිර්මාණය ද ඔහුගේ සුවිශේෂී දක්ෂතාවයකි. පොත් කවර නිර්මාණය ආරම්භ වන්නේ 1961 දී දෙවුන්දර සිරිනන්ද හිමියන්ගේ 'මගේ හීන' කෙටි කතා පොතට පිට කවරය ඇඳීමෙනි.

එමෙන්ම පෝස්ටර් සැලසුම් හා ප්‍රචාරක දැන්වීම කටයුතු වලදී තම අනන්‍යතාව සළකුණු කළ චිත්‍ර කලාකරුවෙකු ලෙස නමක් දිනා ගැනීමට ඔහුට හැකි විය. මුද්දර කාර්යාංශය හා එක්ව මුද්දර නිර්මාණයට ද යුනිසෙෆ් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරාධනයෙන් පෝස්ටර්, කුඩා පොත්, අත් පත්‍රිකා නිර්මාණයට ද දායක වීම ඒ අතර විශේෂය.

නවයුගය මුල් කාලයේ මුල් කවර ද ඔහුගේ චිත්‍ර වලින් සරසා ඇත.

*චිත්‍රකතා වර්ගීකරණය:

බන්ධුල හරිශ්චන්ද්‍රයන් ගේ චිතකතා නාමාවලිය විවිධ ධාරා යටතේ ගොනු කළ හැකි බව පෙනේ. ඔහු ගේ නිර්මාණ වපසරිය අප පුදුමයට පත් කරවන තරම් විශාලය.

1. ජාතක කතා ඇසුරින් කළ නිර්මාණ

2. දේශීය සම්භාව්‍ය කෘති ඇසුරින් කළ නිර්මාණ
(සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය)

3. විදේශ සාහිත්‍යය කෘති ඇසුරින් කළ නිර්මාණ- (භාරත, අරාබි නිසොල්ලාසය, ග්‍රීක, )

• අරාබි නිසොල්ලාසය-සින්බෑඩ්, කසපහර, අලි බබයි හොරු හතළිහයි
• හෝමර්ගේ ග්‍රීක කතා  -රහස් හස්න, හෙලන්, පෙරික්ලීස්
• මහා භාරතය-නල දමයන්ති, සකුන්තලා,
• ජපන් සෙන් බෞද්ධ කතා
• කතා සරිත් සාගරය -දේවස්මිතා
• පංචතන්ත්‍රය -ගැහැණු මායම
• වික්ටර් හියුගෝ ගේ ලේ මිසරාබ්ලේ මනුතාපය (ඊරියගොල්ලයන්ගේ)

4. ඓතිහාසික පුරාවෘත්ත ඇසුරින් කළ නිර්මාණ-උදා : (මහාවංශය)
සිංහබාහු, උන්මාද චිත්‍රා, පණ්ඩුකාභය

5. දේශීය සාහිත්‍ය කෘති ඇසුරින් කළ නිර්මාණ
උදා : ටී.බී. ඉලංගරත්නගේ මංගලා, නයනා

6. අන් අයගේ කතා ඇසුරින් කළ නිර්මාණ

• සෝමවීර සේනානායක ගේ පෙති ගෝමර, තනි තරුව, සත්වෙනි දවස
• අජන්තා රණසිංහ ගේ නිධන් හොරු
• ජයන්ත චන්ද්‍රසිරි ගේ පොපි මල් හඬනදා
• චන්දරත්න මාපිටිගම ගේ දිය රකුසා, කිරට හඬන පුතුනේ
• ආර් ප්‍රේමදාස ගේ පෙම්වතිය, හිතවතිය
• ජී එච් පෙරේරාගේ බේබද්දා
• ශ්‍රියානි අමරසේන ගේ සිහින විමන්
• රංජිත් ධර්මකීර්ති ගේ සමන්තිකා
• මෙල්රෝයි ධර්මරත්න ගේ පාදඩයා
• මයිකල් ඇන්ජිලෝ ගේ රෝස කුමාරි
• රංජිත් රත්නසිරිගේ දියෙන් උපන් කුමරී

7. ස්වනිර්මාණ ඇසුරින් කළ චිත්‍රකතා
යනාදි වශයෙනි.

සිනමාවට නැගුණු චිත්‍රකතා

සිනමා ඇසකින් චිත්‍ර කතා නිර්මාණය කළ ඔහුගේ චිත්‍ර කතා සිනමාවට ද නැගී ඇත. සිනමාවට නැගුණු චිත්‍ර කතා මෙසේය.

1. සත්වෙනි දවස (1981) කතාව සෝමවීර සේනානායක, අධ්‍යක්ෂණය-හේමසිරි සෙල්ලප්පෙරුම
2. තනි තරුව, (1982) කතාව සෝමවීර සේනානායක, අධ්‍යක්ෂණය-රත්නවීර ද සිල්වා
3.පෙති ගෝමර (1982) කතාව සෝමවීර සේනානායක, අධ්‍යක්ෂණය-සිරි කුලරත්න
4. සෙනෙහසක කඳුළු (1983) කතාව සෝමවීර සේනානායක, අධ්‍යක්ෂණය-හේමසිරි සෙල්ලප්පෙරුම

ටී.බී. ඉලංගරත්නයන් ගේ මංගලා නව කතාව ද ඔහු අතින් චිත්‍ර කතාවට නැගී සිනමාවට ද නැගී ඇත.

*චිත්‍රකතා පොත්:

අද වන විට බොහොමයක් චිත්‍ර කතා චිත්‍ර කතා පොත් ලෙස සංරක්ෂණය වී තිබීම සතුටට කරුණකි. ඒ සඳහා මූලිකත්වය ගත් චිත්‍ර කතා රසිකයන්ටත් ප්‍රකාශකයින්ටත් අපගේ ස්තුතිය හිමි විය යුතුය. නල දමයන්ති, දේවස්මිතා, පෙනිලෝපා, දිය රකුසා, පණ්ඩුකාභය, උන්මාදචිත්‍රා, සිංහබාහු, පෙරික්ලිස්, කස පහර, හේලෝ, ක්ලියෝපැට්රා, හෙලන්, දීපා, සකුන්තලා, සමීනා දැන ලබා ගත හැකි චිත්‍ර කතා පොත් කිහිපයකි.

*ජාතියේ මහා සිත්තරා:

"අපේ දේශීය චිත්‍රකතාවේ යුග පුරුෂයා නැත්නම් මහා විරුවා බන්ධුල හරිශ්චන්ද්‍ර ලෙස හැඳින්වීම කිසිඳු ලෙසකින්වත් අසාධාරණ නොවේ.  සිංහල සංගීතයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් වැන්නන් යුග පුරුෂයන්, ජාතික වස්තූන් ලෙස අප සලකන්නේ යම්සේද බන්ධුල හරිශ්චන්ද්‍රයන් ද එවැනිම සැබෑ ජාතික වස්තුවකි. යුග පුරුෂයෙකි." (අපේ කාලයේ සිත්තරා බන්දුල, ආරියසිරි කොඩිතුවක්කු, දිවයින, 2020.05.31)

ඒ අනුව අප සිතන්නේ ඔහුට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් හෝ වෙනත් විශ්වවිද්‍යාලයකින් හෝ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි. එය අපගේ මෙන්ම ඔබගේද ප්‍රාර්ථනය වන බව නිසැකය.

නිදුක් නිරෝගීව සැදෑ සමය සතුටින් කාල ගත කරන්නට  හෙළයේ මහා සිත්තරාණන්ට
වාසනාව ලැබේවා යනු පත්තර අරණ  ප්‍රාර්ථනයයි !

චිරං ජයතු කලාකරුවාණනි !
 

සු.ප්‍රි. සමරසිංහ
supprisamarasinghe@gmail.com
 
 

[  ] ස්තුතිය
• පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්‍රයන්ට  හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• SATHUTA සතුට සමූහයට
• SL Comics සමූහයට

පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර

• අපේ කාලයේ සිත්තරා බන්දුල, ආරියසිරි කොඩිතුවක්කු, දිවයින, 2020.05.31
• සිත්තර රාත්‍රිය, 2007, සංස්කාරක සටහන, ජාතික චිත්‍රකතා පදනම
• ආරාධිත ලිපිය, බන්ධුල හරිශ්චන්ද්‍ර, 2020.05.31 අරුණ
• චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර-නිසිත වර්ණසූරිය
• හුදකලාවේ මැවෙන සිත්තම්, බන්ධුල හරිශ්චන්ද්‍රයන් ගේ අත්දැකීම්, රොඩ්නි විදානපතිරණ, කුමරි, 1980.01.23
• සුපිරි ගේ කොලම 
 
 
 
 

No comments:

Post a Comment