4. අනුර විජේවර්ධන මහතා
Mr. Anura Wijewardena
(සිත්-තරු වරුණ-04)
චිත්‍රකතා ලෝකයට "වීරයන්" බිහිකළ අනුර විජේවර්ධන
දිවි සැරිය විවේකීව ගත කරන අපේ ජ්‍යෙෂ්ඨතම චිත්‍රකතා කලාකරුවකු වන අනුර විජේවර්ධනයන්, අපේ පළමු චිත්‍රකතා පත්තරය වූ සතුට බිහිකරන්නට පුරෝගාමී දායකත්වයක් දැක්වූ, එමෙන් ම මංගල කලාපය සරසන්නට සම්බන්ධ වූ චිත්‍රකතා ශිල්පීන්ගෙන් කෙනෙකි.
*ජීවන තොරතුරු :
1937 මාර්තු මස 14 වැනිදා කැලණියේ දී උපත ලද අනුර සීසර් විජේවර්ධනයන් අධ්‍යාපනය ලැබුවේ කැලණියේ ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙනි. පියාගේ හා රජයේ කලායතනයේ මූර්ති ගුරුවරයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වූ බාප්පාගේ (කරුණාරත්න විජේවර්ධන මහතා) ආභාසයෙන් චිත්‍ර ඇඳීමට යොමු වෙයි. පියාගේ ඉල්ලීම අනුව බාප්පා විසින් ඔහු රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) ඇතුළත් කරයි. එහිදී ඔහු චිත්‍රකලා ඩිප්ලෝමාවක් ලබා ගැනීමට සමත් වෙයි.
රජයේ ලලිත කලායතනයේ දී ඩේවිඩ් පේන්ටර් , ජේ.ඩී.ඒ. පෙරේරා , ස්ටැන්ලි අබේසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් ගෙන් ආභාසය ලබා ගැනීමට හැකිවීම ඔහු ලද භාග්‍යයකි.
පෞද්ගලික වෙළඳ ප්‍රචාරණ ආයතනයක සේවය කරන අතරතුර ඔහුට සිළුමිණ ට 'මුදු මාරුව' කතාව අඳිමින් ආධුනිකයකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි. ඉන් පසුව සිළුමිණට කතා අඳින්නට අවස්‍ථාව ලැබෙනවා. සතුට ආරම්භයට පුරෝගාමීව සම්බන්ධ වීම හා ලේක්හවුස් ආයතනයට බැඳීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැළකිය හැකිය. (තොරතුරු රම්‍යතිලක තල්පිට සමග කර ඇති සාකච්ජාවකිනි. සිළුමිණ, 2017.08.13)
*කලා දිවිය:
අනුර විජේවර්ධනයන් මුල්ම කාලයේ චිත්‍ර කලාවට සම්බන්ධ වන්නේ කාටූන් චිත්‍ර ඇඳීමෙනි. "ඉස්කෝලෙ යන කාලෙ මම වැඩිපුරම ඇන්ඳෙ විකට චිත්‍ර. මට අද වගේ මතකයි එස්.බී. ඕපාත සමග එක් වෙලා කොළඹ කලා භවනෙ චිත්‍ර ප්‍රදර්ශනයක් පවැත් වූ හැටි." (යොවුන් ජනතා, 1979.01.31)
නිව්රෝ, යුනිකෝ, සෝරෝ, ටෝරෝ ආදී කොතරම් වීරයන් සිටිය ද චිත්‍රකතා ලෝකයේ 'වීරෝ' බිහි කළේ අනුර විජේවර්ධනයන්ය. "වීරෝ" නමින් චිත්‍රකතාව පළ වන්නේ සතුට පත්තරයේ ය.
"අනුර විජේවර්ධන කී සැනින් මතකයට නැගෙනුයේ සද්දන්ත වීර පුරුෂයින් ය. හේතුව ඔහු විශාල පුද්ගලයකු වීම නොවේ. ඔහු නිර්මාණය කළ ජනප්‍රිය චිත්‍රකතා රැසකම ප්‍රධාන චරිත වීර චරිත වු නිසාය. එය අනුරගේ චිත්‍රකතා වල දක්නට ඇති විශේෂ ලක්ෂණයකි."
(සද්දන්ත වීර පුරුෂයන් මැවූ අනුර, සුසිල් ගුණරත්න, යොවුන් ජනතා, 1979.01.31).
ඒ ගැන ඔහු පවසා ඇත්තේ මෙලෙසයි. " වීර චරිත වලට මම හුඟක් ආසයි. මම මුලින්ම ඒ වගේ නිර්මාණයක් කළේ මේඝ තුළින්. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම රසිකයින් ද එවැනි කතා ප්‍රිය කරන බව ඔවුන්ගේ අදහස් වලින් මට වැටහුණා. කතුවරුන් ද නිතරම වගේ මගෙන් බලාපොරොත්තු වුණේ ඒ වගේ කතාමයි. වීර කතා ඇඳීමට මම වඩාත් යොමු වුණේ ඒ නිසා විය හැකිය." (යොවුන් ජනතා පුවත්පත). මේඝ කැලේක හැදුණු වැඩුණු තරුණයෙක්. මට කාඩ් බෝඩ් වීරයන් බිහි කරන්න අවශ්‍ය වුණේ නෑ. ඔහු වැඩි දුරටත් ඒ ගැන එලෙස කියා තිබුණා.
*මුල්ම චිත්‍රකතාව:
1961 දී රසවාහිනිට ඇඳි පිටු තුනක එක් දින චිත්‍ර කතාවක් වූ 'මෝහිනී' ඔහුගේ පළමු චිත්‍ර කතාවයි.කොටස් වශයෙන් පළ වූ පළමු චිත්‍ර කතාව වන්නේ "පුල්ලි සහ සේන" ය. එය පළ වුණේ වනිතා විත්ති පත්තරේය. පසුව එම කතාව වනගත කොල්ලා නමින් චිත්‍රකතා පොතක් ලෙස මුද්‍රණය විය.
*මේඝ:
"රත්තරං කන්ද", "අළු යට ගිනි" වැනි කුතුහලය දනවන චිත්‍රකතා ඇඳීමෙන් පසු ඔහු වීර චරිතයක් මූලික කරගෙන "මේඝ" චිත්‍රකතාව අඳියි.
'මේඝ' කතාව ආරම්භ වන්නේ 1972.10.24 දිනය. කතාංග 61 ක් දක්වා දිවෙන මේඝ අවසන් වන්නේ 1974.01.15 දිනය. කතාව කොතරම් ජනප්‍රිය වූවාද කියතොත් එහි දෙවැනි කොටසක් 'මේඝ සිදාදියට එයි' නමින් 1974.02.12 දින ආරම්භ වෙනවා.
"............(1972) ඔක්තෝබර් මස ඇරඹූ 'මේඝ' චිත්‍ර කතාවට ජනප්‍රිය වර්ගයේ ටාසන් කතාවක සිංහල හැඩරුව කවා තිබුණි. මෙවැනි චිත්‍රකතා තුළින් සතුට පත්‍රය ලැබුවේ අසීමිත පාඨක ප්‍රතිචාරයකි. සරල චිත්‍රකතා තුළින් පාඨක පිරිසට වැඩි විනෝදාස්වාදයක් ලබාදීම එහි අරමුණ බැව් සටහන් වී තිබුණි. අනුර විජේවර්ධන එවකට සතුට පත්‍රයේ ජනප්‍රියම චිත්‍රකතා ශිල්පියා විය. (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය).
*සතුටට මුල්වීම:
අනුර විජේවර්ධනයන් සතුට චිත්‍රකතා පත්තරය බිහිකිරීමට බන්ධුල සමරසිංහ මහතා සමඟ කටයුතු කළ ජ්‍යේෂ්ඨ චිත්‍රකතා ශිල්පීන් ගෙන් කෙනෙකි. . ඉන් පසුව ඔහු ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳෙනවා. සතුට ආරම්භ කරන අවස්ථාවේදී පළපුරුදු ශිල්පීන් ලෙස කටයුතු කර ඇත්තේ අනුර වජේවර්ධනයන් හා පී. වික්‍රමනායකයන් පමණයි. "සතුට ආධුනික රැසකගෙන් පටන් ගත්තත් ප්‍රථම මුද්‍රණයෙන්ම එය ලක්ෂය ඉක්මවා අලෙවි වුණා." ඔහු ඒ අතීතය සිහිපත් කර තිබුණේ එලෙසයි (යොවුන් ජනතා).
සතුට මුල්ම පත්තරයෙහි මුල් පිටුව හැඩවුණේ අනුර විජේවර්ධනයන්ගේ චිත්‍රයෙනි. ඒ පස් පෙති මලකිනි. පෙති පහෙන් නිරූපණය වුණේ චිත්‍රකතා පහකි. එසේම රත්තරන් ඉල්ලම, අළු යට ගිනි යන චිත්‍රකතා දෙකද ඔහු නිර්මාණය කළා. අළු යට ගිනි කතාව ඇඳ ඇත්තේ ජීවිතයෙන් සමුගෙන සිටි වසන්ත නම් සිය සොහොයුරා ගේ නමිනි. එසේම චිත්‍රකතාව සම්පූර්ණ කිරීමේ තරගය ආදිය ද ඔහුගේ චිත්‍රයෙන් හැඩ වී තිබුණා. ඒ අනුව අනුර විජේවර්ධන යන නම සතුටට ඇති සම්බන්ධය පැහැදිලිව පෙනෙයි.
"ලංකාවේ ප්‍රථම, චිත්‍රකතා ප්‍රකාශනය වන ලේක් හවුස් ආයතනයේ සතුට පුවත්පත බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ශිල්පියෙක් ලෙස අනුර විජේවර්ධන සම්භාවනාවට පත්වෙයි. සතුට පුවත්පතේ මේඝ, සම්පත් සොයා වැනි චිත්‍රකතා ද සිළුමිණ පුවත්පතේ වීර සෙබළිය වැනි චිත්‍රකතා ද චිත්‍රකතා ලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර විය. අදටත් චිත්‍රකරණයේ නියැලී සිටින එතුමා ජාතික් චිත්‍රකතා පදනමේ ක්‍රියාකාරී සාමාජිකයෙකි."(2007, ජාතික චිත්‍රකතා පදනමේ 'සිත්තර රාත්‍රිය' සම්මාන උළෙලේ සංස්කාරක මණ්ඩල සටහන.)
ඔහු ජාතික චිත්‍රකතා පදනමේ ගරු අනුශාසකවරයෙකු ලෙස ද කටයුතු කළේය.
*චිත්‍රකතා ආර:
"දේශීය චිත්‍රකතාකරුවන් අතර මෙයට කලකට පෙර ඉතා ජනප්‍රිය චිත්‍රකතා ඉදිරිපත් කරමින් ඉස්මතු වූ චිත්‍රකතාකරුවකු ලෙස අනුර විජේවර්ධන සැලකිය හැකිය. බටහිර ජනප්‍රිය චිත්‍රපට ඇසුරින් අනුර නිර්මාණය කළ, කුදාගේ ආලය, රොබින් හුඩ් ආදී චිත්‍රකතා ද ඓතිහාසික පසුබිමින් යුත් දේශීය සාහිත්‍ය කෘතීන් වූ ශෛල කළ්‍යාණි, වීර කැප්පෙටිපොළ, මුද්‍රා නාටකයක් වූ සෙබළිය වැනි චිත්‍රකතාවනුත් අනුර විජේවර්ධන ගේ චිත්‍රකතා ප්‍රවේශයේ ජනප්‍රිය වූ නිර්මාණ සේ සැලකේ. සිළුමිණ සහ දිනමිණ පුවත්පත්වල මෙම චිත්‍රකතා බහුලව ඉදිරිපත් වූයේත් ජනප්‍රිය වූයේත් 70 දශකයේ දී ය. සතුට පුවත්පත ඇරඹි මුල් යුගයේ දී අනුර නිර්මාණය කළ චිත්‍රකතාව අතිශය ජනප්‍රිය චිත්‍රකතාවක් වූයේය. බටහිර ටාසන් සම්ප්‍රදායට නෑකම් කියන කැලයේ හැදුණු වැඩුණු තරුණයෙක් වටා මේඝ චිත්‍රකතාව ගොඩ නැගී තිබුණි. සතුට පුවත්පතට ප්‍රබල පාඨක ප්‍රතිචාරයක් හිමි වූයේ මේඝ චිත්‍රකතාව තුළිනි. මෙයට කලින් අනුර නිර්මාණය කර තිබුණු වනගත කොල්ලා චිත්‍රකතා පොත සහ වනිතා විත්තියේ පුල්ලි චිත්‍රකතාව අතර සමානත්වයක් මේඝ චිත්‍රකතාව තුළ ද දක්නට හැකිවිය. (චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර)
*චිත්‍රකතා :
• රසවාහිනී-මෝහිනී
• වනිතා විත්ති-පුල්ලි සහ සේන
• සිළුමිණ-මුදු මාරුව, සැකය, කුදාගේ ආලය, රොබින් හුඩ්, අන්ධකාර රාත්‍රිය, වීර සෙබළිය, රාජිණී.
• දිනමිණ-ශෛල කළ්‍යාණි, වීර කැප්පෙටිපොළ, මරු වැල, රණා, සෙවනැලි පසුපස, සැඟවුණු සම්පත්.
• සතුට-රත්තරන් ඉල්ලම, අළු යට ගිනි, මේඝ, මිස්ටර් ෂෝක් 909, වීරෝ, කේශර, යුග තුනක්, සසර වසන තුරු, ගැලන්ට්, හර්කියුලිස්, ආදර කතර, ගලගොඩ කුමාරි. මේඝ සිදාදියට එයි.
• මධුර- කැළෑ කෙල්ල, සුළි සුළං, සම්පත් සොයා, ධාරා, අභීත, මරු පිම්ම
• මිහිර- සූර සාර, බුලට්, රොබින්සන් කෲසෝ
• සිත්තර -ලෝකාන්තය
*චිත්‍රකතා පොත්:
වනගත් කොල්ලා, කටු පදුරක මල් පිපිලා, වීරෝ
*සිනමාවට නැගුණු චිත්‍රකතා:
කැළෑ කෙල්ල (අධ්‍යක්ෂක-බර්නාඩ් රෙජිනෝල්ඩ්-1987)
සෙවණැලි පසුපස
සම්පත් සොයා
*චිත්‍රකතාවේ අනාගතය ගැන අනුර විජේවර්ධනයන් දක්වා ඇති අදහස්:
"චිත්‍රකතා කලාව දැන් දියුණුයි. එය වගකීමකින් තොරව කළ නොහැකි දෙයක්. ඉස්සර හිටපු ආධුනිකයින්‍ට වඩා වර්තමානයේ ආධුනිකයින් ගොඩක් දක්ෂ අය. මට ඒ අයට කියන්නට තියෙන්නෙ කොපි නොකර තමන්ගේම ස්ව නිර්මාණ ඉදිරිපත් කරන්නට නිතරම වග බලා ගත යුතු බවයි." (යොවුන් ජනතා)
"විෂය ගැන දැනුම තිබෙන සාහිත්‍ය කලාව ගැන අවබෝධයක් තිබෙන චිත්‍රකතා ශිල්පීන්ගේ පත්‍රයකට වෙළඳ පොළක් තියෙනවා." (සිළුමිණ)
එසේම චිත්‍රකතා කලාව පිරිහීමට පත්වීම ගැන ඔහු කියා තිබුණේ මෙවැනි අදහසක්. ඒ සඳහා වගකිව යුත්තේ චිත්‍රකතා ශිල්පීන් ම බවත්, මුද්‍රණ ගාස්තු ඉහල යාම, එකම ආරක චිත්‍රකතා නිර්මාණය වීමත් ඊට බලපෑ බවත්ය. (සිළුමිණ) එවැනි අදහස් දක්වන්නට ඇත්තේ කිසිවෙකු හෙලා දකින්නට නොව හුදෙක්ම චිත්‍රකතා කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් බවය රසිකයා විශ්වාස කරන්නේ.
*චිත්‍රකතා ලොවට ආඩම්බරයකි:
මෙසේ චිත්‍රකතා ලෝකයට වීරයන් බිහි කරමින් හා තවත් රසවත් කතා රාශියක් බිහි කරමින් රසිකයින් ගේ සිත් ආනන්දයට පත් කළ චිත්‍රකතා ලොකයේ දැවැන්තයාට අපේ ගෞරවය හිමිවිය යුතුමය.
අනුර විජේවර්ධනයන් දූ පුතුන් සතර දෙනෙකුගේ ආදරණීය පියෙකි. ඔහුට ආඩම්බර විය හැකි තවත් විශේෂ කාරණයක් ද සටහන් කළ යුතුය. ඔහුගේ මුණුබුරෙකු එනම් බාල පුතු චරිත් විජේවර්ධන ගේ පුතු 'මේඝ' නාසා ආයතනයේ ඉහළම තනතුරුක් දැරීමය. එය මුළු රටට ම ආඩම්බරයකි.
නිදුක් නිරෝගීව සැදෑ සමය සතුටින් කාල ගත කරන්නට එතුමාට වාසනාව ලැබේවා යනු "පත්තර අරණ" ප්‍රාර්ථනයයි !
චිරං ජයතු චිත්‍ර කතා කලාකරුවාණනි !
©සු.ප්‍රි. සමරසිංහ
ස්තුතිය -
• පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
• SATHUTA සතුට සමූහයට
• ප්‍රසංග පිගේරා මහතාට
• චරිත් විජේවර්ධන මහතාට
පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර-
• යොවුන් ජනතා (1979.01.31)
• චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය).
• සිළුමිණ (2017.08.13)
• සුපිරි ගේ කොලම
No comments:
Post a Comment