3. එස්. ඒ. දිසානායක මහතා
Mr. S.A.Disanayaka
(සිත්-තරු වරුණ-03)
ළමා කාටූන් හා ළමා චිත්‍රකතා කලාවේ පුරෝගාමියා- එස්.ඒ. දිසානායක
මිහිර පත්තරය ආරම්භයේ සිටම එහි ළමා කාටූන් හා චිත්‍රකතා නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා එස්.ඒ. දිසානායකයන්ය. ඔහු ළමා කාටූන් කලාවේ මෙන්ම ළමා චිත්‍ර කතා කලාවේ ද පුරෝගාමියෙකි.
කුඩා කල අපට කියවීම හුරු කළේ පොත පතෙහි පළ වූ කතන්දර නොව මිහිර පත්තරයේ පළ වූ ළමා චිත්‍ර කතාය. 1964.07.27 වැනි දා ආරම්භ වූ මිහිර ළමා පත්තරයේ පළවූ ළමා චිත්‍ර කතා ගැන කතා කරන විට නිතැතින්ම අපේ මතකයට නැගෙන්නේ එස්.ඒ. දිසානායක නාමයයි. අපේ කුඩා කාලය ගෙවුනේද මේ චිත්‍රකතා වල එන කාටූන් චරිත සමගය. සඳුදා සවස් කාලය ගත කරන්නේ, කතා බහ කරන්නේ බූ, බබා තුල්සි, බටකොළ ආච්චි, යෝධයා හා පඬිතුමා යන ආදරණීය චරිත සමගය. ගුවන් විදුලියත් පත්තරයත් පමණක් තිබූ එකල අපට දැනුම විනෝදය ගෙනාවේ මිහිර පත්තරයේ පළවූ ළමා චිත්‍රකතාය.
* ජීවන තොරතුරු:
අවිසාවේල්ලේ, දෙහිගහපිටිය ග්‍රාමයේ උපත ලැබූ දිසානායකයන් මූලික අධ්‍යාපනය ලැබුවේ දෙහිගහපිටිය පල්ලිය පාසලෙනි. එහෙත් ඔහුගේ අධ්‍යාපනයට බාධා පැමිණි හෙයින් කඩයක ලිපිකරුවෙකු ලෙසද බකට් නිෂ්පාදන ස්ථානයක බ්ලොක් කපන්නෙකු ලෙසද සේවය කළ බව සඳහන් වෙයි. ඔහුගේ ජීවන ගමන් මග වෙනස් කරන්නේ සිය සහජ හැකියාව වූ චිත්‍රකලාව හා මිහිරට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම යන කරණු නිසාය.
* මිහිරට එක්වීම:
නවයුගය සඟරාවේ චිත්‍ර අඳිමින් සිටි එස්.ඒ. දිසානායකයන් මිහිරට පැමිණ "ඔන්න බබෝ" නිර්මාණය කරන අතර මිහිරේ තුන්වෙනි කලාපයේ සිට එය පළ කර ඇත. ඔහු එසේ මිහිරට එක්වන්නේ මිහිර ආරම්භක කර්තෘ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතායේ ඉල්ලීම අනුවය. ඒ ගැන ලක්බිම පත්තරයේ සඳහන් වන්නේ මෙසේය.
"ආර්ටිස් කෙනෙකු වීමේ උණ නිසාම තැන් තැන්වල ඒ වෙනුවෙන් ඇවිද වරක් චිත්‍ර කතාවක්ද ඇඳගෙන ඇස්.ඒ. ලේක්හවුස් එකට ගොස් ශ්‍රී ලාල් හි. ලියනගේ මහතාව හමුවුණේය. 'අපට ඕන වෙලා තියෙන්නෙ ළමා චිත්‍ර කතා. ළමා චිත්‍ර කතාවක් ඇඳගෙන එන්න බලන්න.' ඒ වචන ටික තමයි මගෙ නිර්මාණ ජීවිතයේ ජීව වායුව ඇස්.ඒ. දිසානායක මහතා පවසයි.
මිහිර පත්‍රයේ ආරම්භයත් සමග පළවූ ඔන්න බබෝ කතා මාලාව ළමා පරපුර අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය විය."(මිහිර පත්තරේ යෝධයාගේ තාත්තා, නුවන් ගන්කන්ද, ලක්බිම, 2000.05.14)
* ඇස්.ඒ. ද එස්.ඒ. ද:
ඔහුගේ මුල් කාලයේ නිර්මාණ වල නම සඳහන්ව ඇත්තේ ඇස්.ඒ. දිසානායක යනුවෙනි. පසු කාලීනව නම එස්.ඒ. දිසානයක ලෙස යොදා ඇත. ඒ ගැන ඔහුම පුවත්පතකට කියා ඇත්තේ මෙබන්දකි.
"මගේ නම ලියන කොට 'එස්' වෙනුවට 'ඇස්' ශබ්දය උච්චාරණය වන ආකාරයට ලිව්වේ ඒ කාලේ සම්මතය අනුවයි. ඒත් මම 80 දශකයෙදි විතර චිත්‍ර කතාවල 'එස්' කියල ලියන්න ගත්ත."
* චිත්‍රකතා:
ඔහුගේ චිත්‍රකතා කිහිපයක් මෙසේය.(මේ අසම්පූර්ණ ලයිස්තුව යාවත්කාලීන කිරීමට ඉඩකඩ ඇත)
• මිහිර ළමා පත්තරයට -ඔන්න බබෝ, යෝධයා, ඕලු, බටකොළ ආච්චි, පුංචිත්තා, රහස, කතා පොඩ්ඩ, අකිල, හාල් මැස්සා, කපුටුලන්ද, සැලා සහ නිසැලා, මැටි ගවයා, දෙළුම්, සේයා, ලේන් පැට්ටා
• සුරත චිත්‍රකතා පත්තරයට -සතුරු බායි
• නවයුගය පත්තරයට -පඬිතුමා, යකා බාස්, නොමිනිහා
• නවයුගයෙහි ළමා කතා චිත්‍ර සමග ඇඳ ඇත. (සද්දෙට තැන, තෑග්ග, රනා, ළමා රජතුමා, අවුරුදු තෑගි)
* කාටූන් චරිත:
මිකී මවුස්, ටිං ටිං වැනි අමරණීය කාටූන් චරිත අතරට එක්වෙන තරමේ කාටූන් චරිත ළමා චිත්‍ර කතා වලින් නිර්මාණය කිරීමට එස්.ඒ. දිසානායකයන් සමත් වී ඇත. ඔහු මැවූ කාටූන් චරිත අතර බූ, බබා, තුල්සි, බටකොළ ආච්චි, යෝධයා, පඬිතුමා, පුංචිත්තා වෙයි. එම චරිත ළමා මෙන්ම වැඩිහිටි පරපුරේ මතකයෙන් කිසිදා ඈත් නොවේ.
* ග්‍රන්ථකරණය:
ඇස්.ඒ. දිසානායකයන් චිත්‍ර කරණයේ මතු නොව ග්‍රන්ථ කරණයේද නියැලී සිටියෙකි. ඔහු විසින් නැන්දයි මාමයි, බටකොළ ආච්චිගෙ ලන්තෑරුම, හිස අගනා, සම්මා සම්බුද්ධ, දුම් වැදදා, වැනි ළමා පොත් රචනා කර ඇත. 1991 නැන්දයි මාමයි සඳහා ළමාසාහිත්‍යයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයද එස්.ඒ. දිසානායකයන්ට හිමිවිය.
* ඇගයීම්:
එස්.ඒ. දිසානායකයන් ගේ චිත්‍ර කතා හා කාටූන් නිර්මාණ භාවිතාව පිළිබඳව ඇගයීම් ලද තැන් බොහෝය. කිහිපයක් මෙසේ උපුටා දක්වන්නේ ඔහුට ගෞරවය පිණිසමය.
"මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්.ඒ. දිසානායක චිත්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත්‍ර කතායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබෝ නම් වූ මහ දිග චිත්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික්‍රම ගැන කියවෙන ඔන්න බබෝ කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.
දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සලකුණු රැඳවූ තවත් ශිල්පියෙකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් (ලිපිය ලියා ඇති 2014 වසරේ ඔහු ජීවතව සිටියා) මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි." (අඩසිය වසක් ළමා ලොව කුල්මත් කළ මිහිර, සිව් මංසල කොලුගැටයා, නාලක ගුණවර්ධන, රාවය, 2014.08.24)
"වර්තමානයේ දරුවන් සුපර් මෑන්, හැරිපොටර් ආදී කතාවල එන චරිත වීරයන් මෙන් සලකන නමුත් පුවත්පත් සහ ගුවන්විදුලිය මගින් පමණක් දැනුම ලබාගත් එකල දරුවන්ට එස්.ඒ. දිසානායකයන් නිර්මාණය කළ බූ, බබා, තුල්සි, යෝධයා ආදී චරිත වීරයන් වී තිබුණි.
චිත්‍ර කතා මගින් ළමුන්ගේ සිත දූෂ්‍ය වෙනවා යැයි එකල ඇතැමුන් පැවසුවද එස්.ඒ. දිසානයකයන්ගේ නිර්මාණයන් මගින් නිරූපණය වූයේ යහපත, අයහපත, හොඳ නරක දරුවනට වටහා දීමය. පසු කාලයේ පැමිණි චිත්‍රකතා මගින් ළමයින්ට නරක ආදර්ශ සැපයුණ නමුත් දිසානායක මහතා ඉදිරිපත් කළේ දරුවන්ගේ දැනුම, අවබෝධය වර්ධනය වන ආදර්ශමත් චිත්‍ර කතා."(බට කොළ ආච්චි යළි ඇඳෙන්නේ නැත, දයා ලංකාපුර, අරුණ, 2019.12.08).
අමරණීය චිත්‍ර කතා පෙළක් බිහි කළ එතුමා, තමා බිහිකළ කාටූන් චරිතයන්ගෙන් හා ළමා පරපුර ඇතුළු සමස්ත රසික ප්‍රජාවගෙන් සමුගෙන යන්නේ 2019 දෙසැම්බර් පස්වැනිදාය.
ළමා චිත්‍රකතා කලාවේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළ එස්.ඒ. දිසානායක කලාකරුවාණන්ට පත්තර අරණ ගෞරවය පුද කරමු !
සු.ප්‍රි. සමරසිංහ
supprisamarasinghe@gmail.com
ස්තුතිය -
*පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්‍රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
*Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
*හෙළරූ වෙබ් අවකාශයට
පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර
*මිහිර පුවත්පත්
*ලක්බිම, 2000.05.14
*රාවය, 2014.08.24
*අරුණ, 2019.12.08
*සුපිරිගේ කොලම
No comments:
Post a Comment