2. සුසිල් ප්‍රේමරත්න මහතා
Mr. Susil Premarathna
( 1925- 2010 )
(සිත්-තරු වරුණ-2)
ස්වර සප්තකයත් වර්ණ සප්තකයත් එකට මුසු කළ සිත්තරා-
සුසිල් ප්‍රේමරත්න
* කවුද මේ සුසිල් ප්‍රේමරත්න ?
"මා නගරයේ 'මිනුවන්ගොඩ සැලොන්' එකට යන්නට පුරුදු වූයේ ඒ කාලයේ බෙහෙවින් ජනප්‍රිය වූ සුසිල් ප්‍රේමරත්න පත්තරවලට අඳින චිත්‍රකතා බලන්නට ය. සතිපතා පුවත්පත්වල පළවන එම චිත්‍රකතා කොටස්, පත්තරවලින් කපා එකතුකර කතාව අවසන් වූ විට පොතක් ලෙස සකසා බාබර් සාප්පුවට එන අයට බලන්නට තබා තිබිණ. කොණ්ඩය කපාගත්තත්
නැතත් චිත්‍රකතා බලන්නට අවසර තිබේ. මේ චිත්‍රකතා පොත් නිසා බාබර් රොජර් අයියා ද සුසිල් ප්‍රේමරත්න තරමට ම කොල්ලන් අතර ජනප්‍රිය වී සිටියේ ය." (උපුටා ගැනීම : සුළු තනිතිත, ජයතිලක කම්මැල්ලවීර) මේ ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ කම්මැල්ලවීරයන් ගේ අත්දැකීමකි. මේ අත්දැකීමට පාදක වන්නේ චිත්‍රකතාව ජනප්‍රියත්වයට පත්ව තිබූ කාලයේ සිදුවූවකි.
* ජීවන තොරතුරු:
මාලිගාවගේ සුසිල් ප්‍රේමරත්න උපන්නේ 1925 ක් වූ අප්‍රේල් මස 05 වැනිදා කොළඹ දෙමටගොඩ දී ය. ප්‍රකට කලාකරුවෙකු වූ ඇම්. සාර්ලිස් මාස්ටර් ඔහුගේ පියාය.
සුසිල් ප්‍රේමරත්නයන් දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ යන විද්‍යාල වලින් අධ්‍යාපනය හැදෑරූවේය. ඔහුගේ චිත්‍රකතා ගුරුවරයා වූයේ ජී.ඇස්. ප්‍රනාන්දු කලාකරුවාය.
1953 දී විමලාවන් සමග යුග දිවියට ඇතුළත් විය. එම දෙපලට පුතනුවන් තිදෙනෙකි. එනම්
ජයවන්ත්, නයනජිත් සහ මනෝජ් යනුවෙනි. ඔව්හුද සිය පියාගේ ගමන් මග යමින් චිත්‍ර කලාවට යොමු වූවෝ වෙති.
* කලා දිවිය:
සුසිල් ප්‍රේමරත්නයන් චිත්‍ර කලාවට යොමු වූ අයුරු ඔහුම සඳහන් කර තිබුණේ මෙසේය.
"අපට චිත්‍ර කතා කලාව ගැන මුලින්ම ඉගෙන ගන්න ලැබුණේ නීලා කියන ඒ කලාව තුළින්. ඒ කතාව මං ගොඩක් ආසාවෙන් කියෙව්වා. මටත් චිත්‍ර කතා අඳින්න මූලික වස්තු බීජය වුණේ ඒක. අපේ තාත්තා සාර්ලිස් මාස්ටර්. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. වරදින තැන් තාත්තා කියාදුන් නිසා චිත්‍ර ශිල්පයේ වැරදි හදාගන්න මට අවස්ථාව ලැබුණා. (අපතේ ගිය චිත්‍රකතා කලාව, ප්‍රියංකා කහවණුගොඩ, වත්මන, 1998 අගෝස්තු 15)
සිය පියාගෙන් ලැබූ ආභාසය හා ගුරුහරුකම් පිළිබඳව පුවත්පතකට දක්වා තිබූ අදහසකි මේ.
"තාත්තා කිසි විටෙක මා චිත්‍ර ශිල්පය වෙත යොමු කිරීමේ සුවිශේෂ අරමුණක පිහිටා කටයුතු කළේ නැහැ. ඔහු මගේ ළමා කාලය නිදහසේ වැඩෙන්නට ඇරියා. (ඉරුදින , 2005.05.22)
ඔහුගේ මුල්ම රැකියාව වූයේ ටයිම්ස් ආයතනයේ, ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමයි.
1952 දී ටයිම්ස් ආයතනයට පැමිණීමට හැකිවූයේ ජී.ඇස්. ප්‍රනාන්දු කලාකරුවා නිසාය. එවකට ජී. ඇස්. ප්‍රනාන්දු සූරීන් ටයිම්ස් ආයතනයේ, ලංකාදීප පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා විය.
ඒ මතකය පුවත්පතකට පවසමින් "මා ලංකාදීපය වෙත යොමු කළේ ජී. ඇස්. ප්‍රනාන්දු මහතාය. ඔහු තාත්තාගේ විශිෂ්ට ශිෂ්‍යයෙක්." (ඉරුදින , 2005.05.22) යනුවෙන් සඳහන් කර ඇත.
ජී. ඇස්. ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ ශ්‍රී ලාංකික චිත්‍රකතාව ඉදිරියට ගෙන යාම නොපිරිහෙලා ඉටු කළ චිත්‍ර ශිල්පියා වූයේ සුසිල් ප්‍රේමරත්නයන් ය.
"සුසිල් විසින් සිත්තම් කරනු ලැබූ බොහොමයක් කතා හුරු බුහුටි ලෙස නිම කළ සිත්තම් වලින් ද රසවත් කතාවන් ගෙන්ද සමන්විත විය. එම යුගයේ ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියා වූයේ සුසිල් ප්‍රේමරත්න ය." (ච්ත්රකතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය)
* සුසිල් ප්‍රේමරත්න නම් ගායකයා:
එක අතකින් තෙළිතුඩක් ගෙන වර්ණ සප්තකයෙන් නෙතු පිනවන සිතුවම් නිර්මාණය කළ මේ කලාකරුවාණෝ ස්වර සප්තකයෙන් සවන් පිනවන ගී ගැයූ ගායකයෙක් ද වූහ.
සිය පියා ඔහුගේ ගායන දිවියට අත්වැලක් වූ අතර ශිෂ්‍ය අවදියේ දී ම ඊට යොමු වී තිබුණා. "මගේ සංගීත දැනුම ගැන ඔහු තුළ විශාල තෘප්තියක් තිබුණා. ශිෂ්‍ය අවදියෙහි මා ගුවන් විදුලියට සම්බන්ධව කටයුතු කළා. සෝබා රාජ කුමාරි මා ගැයූ මුල්ම ගීයයි. (ඉරුදින, 2005.05.22)
1948 දී ලංකා ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා පිටියට සෝබා රාජ කුමාරි ගීතය ගැයීමෙන් ගායන දිවිය ඇරඹීය.
සුසිල් ප්‍රේමරත්නයන් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි. ඔහු ගැයූ ජනප්‍රිය ගීත කිහිපයකි මේ.
හිස්මාස්ටර් වොයිස් තැටියට වී.පී. ලීලාවතී ගායිකාව සමග ගැයූ වීණා ශිල්පදාරී, ශ්‍රී රදනා මනහාරී ධාරී, සුන්දර පොහොය දිනේ.
සොම්නස හෝ සංතාපය හමුවේ, කෝ අද මැණිකා කොහෙද ගියේ, මා සොඳුරු සුරතලියේ, මල් රේණු වැටිලා, මා ආ මාවත සඳලු තලේ සිට, පෙම් කුසුම්, රූ රැසේ අඳිනා ලෙසේ, කළු කැලණි නදී, රන්වන් කරලින් පැසිලා.
ඔහු චිත්‍රපට ගීත ගායනයට එක් වන්නේ 1952 බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න ගේ සැඟවුණු පිළිතුර චිත්‍රපටයෙනි.
* මෙරට මුල්ම චිත්‍රකතා පොත:
ටයිම්ස් ආයතනයේ වනිතා විත්තියට ඇඳි "රන්දූපත" පසුව චිත්‍රකතා පොතක් ලෙස මුද්‍රණය කර තිබුණා. ඒ ශ්‍රී ලාංකික චිත්‍රකතා ඉතිහාසයේ පළමු චිත්‍රකතා පොත වෙයි.
"අප රටේ නිකුත් වූ මුල්ම චිත්‍රකතා පොත ලෙස සැලකෙන්නේද 1960 පමණ සුසිල් ප්‍රේමරත්න ප්‍රකාශයට පත්කළ රන්දූපත චිත්‍රකතා පොතයි. මුලින්ම වනිතා විත්ති පුවත්පතේ පළ වූ රන්දූපත ළමා ප්රරපුර අතර මෙන්ම වැඩිහිටියන් අතර ද එකසේ ජනප්‍රිය වූ චිත්රකතාවක් විය. "
(චිත්රකතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය )
* චිත්‍රකතා නිර්මාණ:
ඔහුගේ පළමු චිත්‍රකතාව "හොර හවුල"ය. එය 1952 දී ලංකාදීප පුවත්පතේ කොටස් 12 කින් පළ විය. කතාව ධර්මසිරි ජයකොඩි ගේ ය.
"නීලාගෙන් ආභාසය අරන් හොර හවුල කියල මම නිර්මාණය කළ මුල්ම චිත්‍ර කතාව පළවුණෙත්, පසු කාලෙක මගේ චිත්‍රකතා වැඩිම ප්‍රමාණයක් පළ වුණෙත් ලංකාදීප පත්තරේ"
(වත්මන, 1998 අගෝස්තු 15)
ඉරිදා ලංකාදීප පත්තරයේ පළ වූ චිත්‍රකතා පසුව පොත් වශයෙන් නිකුත් විය. එසේම ඔහුගේ බොහෝ චිත්‍රකතා පොත් වශයෙන් නිකුත් කර ඇත. ඉරිදා පුවත්පත් වලද, චිත්‍රකතා පත්තර වලද පළ වූ චිත්‍රකතා බොහෝ ප්‍රමාණයක් ඇත. මේ අසම්පූර්ණ නාමාවලියකි.
ලංකාදීපය-ගෝරිං,හොර හවුල, තනිකඩයා
ළමා චිත්‍රකතා-හැංගි මුත්තං, රිදී කුමාරි, පහන් තරුව, රන්දූපත , සන්නාසි බිල්ලෝ (වනිතා විත්ති )
වනිතා විත්ති-
බිලි පූජාව, ලන්දේසි සටන (කොටස් හතරකි).
මාහේනේ ඊරියකා (බණ්ඩාරනායක අගමැති තුමාගෙ රහස් පරීක්ෂක කතාවකි)
සොහොනින් නැගිට ආ පෙම්වතිය , උමතු දොස්තර, විෂ කන්‍යාව, සාහසිකයෝ, මරු බිම්ම, චංඩි කෙල්ලෝ, (ලංකාදීප ) ශ්‍රී වික්‍රම, එලොවින් ආ රූමතිය.
චිත්‍රකතා පත්තර වලට චිත්‍රකතා ඇඳීම ආරම්භ කළේ ලංකාදීපයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවය.
සිත්තර -ජූඩි, මල් රේණු
සත්සිරි -ෂැරොන් , මාගෙ රන් මැණික, උමංදා, , එක් සොඳුරු යුවතියක්.
සත්මිණ -සිංහල ඕලන්ද සටන
ගිනි කූරේ ඔත්තුව, වෙඩි පහර, නිර්භය, බැග්ඩැඩ්හි සොරා චිත්‍රකතා ද ඔහුගේ නිර්මාණයන් ය. රසවාහිනි සඟරාවේ ද චිත්‍රකතා නිර්මාණ පළකර ඇති අතර පොත් කවර නිර්මාණයෙන් චිත්‍ර කලා ලොව වර්ණවත් කර ඇත.
2010 පෙබරවාරි 11 වැනිදා දිවියෙන් සමුගත් මේ කලාකරුවාණන්ට
" පත්තර අරණ " ගෞරවය පුද කරමු.
සු.ප්‍රි. සමරසිංහ
supprisamarasinghe@gmail.com
ස්තුතිය-
*පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
*Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහයට
*SATHUTA සතුට සමූහයට
*SL Comics චිත්‍රකතා වෙත
පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර-
1. චිත්රකතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය )
2. වත්මන , 1998 අගෝස්තු 15
3. සිළුමිණ, 2005.06.05
4. ඉරුදින, 2005.05.22
5. අන්තර් ජාලය
6. සුපිරි ගේ "Comics කොලම"
No comments:
Post a Comment