1.ජී. ඇස්. ප්‍රනාන්දු මහතා
Mr. G.S. Fernando
(සිත්-තරු වරුණ-1)
ශ්‍රී ලාංකික චිත්‍රකතාවට ආරම්භය ලබා දුන් දේශපාලන කාටූන් ශිල්පියා-
ජී. ඇස්. ප්‍රනාන්දු
* ජීවන තොරතුරු :
1904 පෙබරවාරි 02 වැනි දින දකුණුලක බෙන්තර, සුදාගොඩ දී උපත ලද ගම්වාසී සෙනරත් ප්‍රනාන්දු වඩාත් ප්‍රකට වූයේ ජී.ඇස්. ප්‍රනාන්දු නමිනි. නැතිනම් "ජී. ඇස්." හෝ "G.S.F." අකුරු වලිනි.
"ජී. ඇස්." යන සිංහල අකුරු දෙකත් "G.S.F." යන ඉංග්‍රීසි අකුරු තුනත් කලා ලොව අමරණීය අකුරු බවට පත් කරන්නට මේ මහා කලා ශිල්පියාට හැකි වීමේ ජීවන කතන්දරයෙහි කෙටි සටහනකි මේ.
ජී. ඇස්. ප්‍රනාන්දු වයස අවුරුදු පහළොවේ දී කොළඹ පැමිණෙන්නේ දෙමාපියන් ගේ බලාපොරොත්තුව සිතෙහි තබා ගෙන වෙද මහතෙකු වීමේ අරමුණෙනි. ඒ කොළඹ පදිංචි පියාගේ හිතවත් වෙද ආරච්චි කෙනෙකු ළඟටය. එහෙත් කොළඹ දී ඔහුගේ සිත ඇදී යන්නේ වෙදකමට නොව සිතුකමටය.
බෙහෙත් සාප්පුවේ පුහුණුවීම් කටයුතු කරන අතරතුර මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපනය හැදෑරීමේ වරම ඔහුට හිමිවීම දිවිගමනේ සුවිශේෂී මංසළකුණකි. එහිදී පාලි හා සංස්කෘත දැනුම ලබා ගන්නා ඔහු මරදානේ ආනන්ද විද්‍යාලයේ රාත්‍රී ඉංග්‍රීසි පංතියකට ද සහභාගී වී ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමේ මාර්ගය පාදා ගනියි.
කොළඹ මාලිගාකන්ද පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන්නට යන අතරතුර නිතර දකින ටවර් හෝල් රඟහල වෙත ජී.ඇස්. ප්‍රනාන්දු ගේ සිත ඇදී යයි. ඒ එහි ඇති හැන්රික්ස් ජෝර්ජ් චිත්‍ර ශිල්පියා ගේ චිත්‍ර කෙරෙහි ඇල්මක් ඇති වීම නිසාය. ඒ ඇල්ම නිසා චිත්‍ර කලාව ඉගෙන ගැනීමේ දැඩි කැමැත්තක් ඔහු සිත තුළ හට ගනියි.
මේ හේතුවෙන් හැන්රික්ස් ජෝර්ජ, මුදළිඳු අමරසේකර , සී. ඇම්. වින්සර්, ඇම් චාර්ලිස් යන චිත්‍ර ශිල්පීන් ගේ ගුරුහරුකම් ලබමින් හා ආභාසය ලබමින් සිය කලා හැකියාව වැඩි දියුණු කර ගැනීමේ මංපෙත ඔහුට විවර වෙයි.
රසල් ප්ලින් නම් ඉංග්‍රීසි ජාතික සිත්තරාගෙන් තැපැල් මාර්ගිකව තව දුරටත් චිත්‍ර කලාව හැදෑරීමට තරම් උනන්දුක් ඇති වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
* කලා දිවිය:
1933 දී පෞද්ගලික ආයතනයන්හි වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය කලා ජීවිතය ආරම්භ කළ ජී.ඇස්. ප්‍රනාන්දු නිදහස් චිත්‍ර ශිල්පියෙකු ලෙස ටයිම්ස් ආයතනයේ වෙළඳ චිත්‍ර අංශයට සම්බන්ධ වෙයි.
ඉන් අනතුරුව එනම් 1934 දී එහි පාලන
අධිකාරිය ඔහු සතු දක්ෂතාව හඳුනාගෙන
වාණිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස බඳවා ගනියි. මෙලෙස ටයිම්ස් ආයතනයට බැඳී කටයුතු කිරීමට හැකිවීම තුළින් ජී.ඇස්. ප්‍රනාන්දු ගේ කලා ජීවිතයේ දිශානතිය තීරණය වූ බව පැහැදිලිය.
එහිදී ඔහුට මුලින්ම භාර වූ කටයුත්ත වූයේ
ලෝ ප්‍රකට කාටූන් චිත්‍ර ශිල්පියෙකු වූ ඕබ්‍රි කොලට් නම් චිත්‍ර ශිල්පියා විසින් ටයිම්ස් ආයතනයේ ඉංග්‍රීසි පුවත්පත් වලට ඇඳි කාටූන් ලංකාදීප පුවත්පතට සිංහල දෙබස් සහිතව සකස් කිරීමය. මේ කටයුත්තේ යෙදෙන ජී. ඇස්. ප්‍රනාන්දුට ඩී.බී. ධනපාල මහතා ඔහුගේම කාටූන් ඇඳීමට අවස්ථාව ලබා දෙයි. ඒ 1947 දීය.
1947 දී ලංකාදීප දිනපතා පත්තරය ආරම්භ කරන විට එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා මෙන්ම කාටූන් ශිල්පීන් වූයේද ජී. ඇස්. ප්‍රනාන්දුය.
කොලට් 1950 දී ටයිම්ස් ආයතනයෙන් අස්වූ විට ඒ පුරප්පාඩුවට ජී.ඇස්. ප්‍රනාන්දු සුදුස්සෙකු විය.
ඉන්පසුව ටයිම්ස් ආයතනයේ පුවත්පත්වල දේශපාලන කාටූනය ඇඳීමේ වගකීමද ඔහු වෙතම පැවරෙයි. දිය සායම් චිත්‍ර ඇඳීමට සහ කාටූන් චිත්‍ර ඇඳීමට දැක්වූ දක්ෂතාව නිසා ඒ තැන ඔහුට හිමි විය. එතැන් පටන් ලංකාදීප ඇතුළු ටයිම්ස් සමාගමේ පුවත්පත් වල ජනප්‍රිය චිත්‍ර ශිල්පියා වූයේ ජී. ඇස් ප්‍රනාන්දුය.
ඔහු ඉතා විශිෂ්ට ලෙස දිය සායම් මාධ්‍යය භාවිතා කළ චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රකටය. ඔහු දක්ෂ ගෝලයන් දෙදෙනෙකු බිහි කළ අතර ඒ දක්ෂ චිත්‍ර ශිල්පීන් වූයේ තිස්ස ගේවාවිතාරණ හා පුරවිජය ෆොන්සේකාය.
මුල් ම සිංහල චිත්‍රකතාව ජී.ඇස්.ප්‍රනාන්දුගේ ය.
මුල්ම ලාංකීය සිංහල චිත්‍රකතාව වන්නේ "නීලා" ය. එය පළ වන්නේ 1951 ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ ය. චිත්‍රකතාව පළවන්නේ ඉරිදා ලංකාදීයේ එවකට කර්තෘ ඩී. බී. ධනපාල මහතාගේ අදහසක් අනුවය. ඉරිදා ලංකාදීප පුවත්පත ජනප්‍රිය කර වීමත් අලුත් පුවත්පත් විශේෂාංගක් හඳුන්වාදීමත් එහි අරමුණ විය.
ටාසන් නම් බටහිර චිත්‍රකතා පෙළ අනුව යමින්
ධර්ම ශ්‍රී ජයකොඩි විසින් ලියන ලද "නීලා" චිත්‍රකතාව පුවත්පතට අඳින ලද්දේ ජී.ඇස් . ප්‍රනාන්දු විසිනි.
ළපට් පෙළ අතිරේකයේ සති පනස් දෙකක් (52) පුරා පළ වූ "නීලා" කොතරම් ජනප්‍රිය වී ද යත් පාඨක ඉල්ලීමට අනුව එහි දෙවැනි කොටසක් !නීල කුමාර" නමින් ඉදිරිපත් කිරීමට සිදුවිය. "නීලා" කතාවේ අවසන් කොටස 1952.10.26 දින පළ වී ඇති අතර "නීල කුමාර" කතාව 1952.11.09 දින සිට පළ වී ඇත.
නීලා චිත්‍රකතාවට එම නම යොදා ඇත්තේ ජී. ඇස්. ප්‍රනාන්දුගේ දියණියගේ නමේ කොටසකින් බව සඳහන් වෙයි. පත්‍රකලාවේදිනික වූ ඇයගේ නම නෙළුම් නීලමණී ප්‍රනාන්දු (දැන් විමලරත්න) ය.
ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ සමාරම්භකයා ගැන ප්‍රවීණ චිත්‍රකතා ශිල්පියෙකු වූ දයා රාජපක්ෂ තබන සටහනකි මේ.
"..... සමකාලීන චිත්‍ර කථා ක්‍ෂෙත්‍රය තුළ ස්වකීය ප්‍රතිභාව අමරණීය සිහිවටනයක් කළ දිවංගත කලාශූරී ජී. ඇස් ප්‍රනාන්දු මහතා දේශීය චිත්‍ර කලාවේ පුරෝගාමියා වූ බවද සැලකිය යුතු වන්නේය. ඔහු විසින් නිර්මාණය කරන ලද " නීලා" නමැති ජනප්‍රිය චිත්‍ර කථාව 1951 වසරේදී ප්‍රථම වරට " ඉරිදා ලංකාදීප ” පුවත්පන තුළින් විශේෂාංගයක් ලෙස එළි දුටුවේය. (චිත්‍රකතා , දයා රාජපක්ෂ , පුවත්පත් කලා සමීක්ෂා 1993)
* මුල්ම සිංහල පුවත්පත් දේශපාලන කාටූනය:
සිංහල පුවත්පතක පළ වූ පළමු දේශපාලන කාටූනය අඳින ලද්දේ ජී. ඇස්. ප්‍රනාන්දු විසිනි. 1931 දී ඩී. ඩබ්ලිව් වික්‍රමාරච්චි කතුවරයා වූ "ස්වදේශීය මිත්‍රයා" පුවත්පතේ පළවූ එම කාටූනයෙන් උපහාසයට හා විවේචනයට ලක් වූයේ ඩොනමෝර් කොමිසමේ වාර්තාවයි.
* අගමැතිවරයකු ගොනාට අන්දයි !
"මම ගොනෙක් වෙලා ඉපදුනා නම්......" යැයි හිටපු අගමැතිවරයකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පොල්ගොල්ලේ සත්ව පාලන ගොවිපළ නැරැඹීමට ගිය අවස්ථාවේ පැවසුවේය. විශාල පට්ටිගොනුන්ට එම ගොවිපළේ තරුණියන් විසින් සාත්තු කරනු දැකීමෙන් අග මැතිවරයා විහිළුවට කී මේ කතාවෙන් ප්‍රයෝජන ගත් කාටුන් චිත්‍ර ශිල්පියෙක් පසු දිනෙක එම සිද්ධිය අළලා කාටුන් චිත්‍රයක් 'ලංකාදීප' පත්‍රයේ පළ කළේය. ගොනෙකුගේ සිරුරකට සර් ජෝන් ගේ මුහුණත්, එම ගොනු තරුණියන් පිරිසක් විසින් නාවන අයුරුත් එම විකට චිත්‍රයේ දැක්විණි.
(ශ්‍රී ලංකාවේ දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පියෝ, පාලිත් ලක්ෂ්මන් ද සිල්වා, කල්පනා, 1982 මාර්තු)
කාටූන් ච්ත්‍රය පළවූ දිනයෙහිම එම චිත්‍ර ශිල්පියා අගමැතිවරයා විසින් වහාම කොතලාවල වලව්වට කැඳවා සංග්‍රහ කොට ප්‍රසංශා කළ බව සඳහන් වෙයි. ඒ කාටූන් ශිල්පියා ජී.ඇස්. ප්‍රනාන්දුය.
* කලා දිවියේ සුවිශේෂී මතක සටහන්:
• තිරගත් නොවූ පළමු සිංහල චිත්‍රපටය වූ "රාජකීය වික්‍රමය" ට ඔහු නිර්මාණ දායකත්වය දක්වා ඇත්තේ සම කලා අධ්‍යක්ෂකවරයකු ලෙසය. ඒ එම් චාර්ලිස් කලාකරුවා සමගය. ච්ත්‍රපටය නිෂ්පාදනය වූයේ 1925 දී ය.
• මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අදගසක් අනුව ගුණසේන සමාගමේ ගුරුළුගෝමී රුව නිර්මාණය කර ඇත්තේ ද ජී. ඇස් ප්‍රනාන්දුය.
• මෙරට දේශපාලන කාටූන් කලාවේ පුරෝගාමියා වන්නේ ද ජී. ඇස්. ප්‍රනාන්දු ය.
• ඔහු ලන්ඩන් පැරිස් මොස්කව් දිල්ලි ආදී රටවල ගණනාවක චිත්‍ර ප්‍රදර්ශන ඉදිරිපත් කර ඇත.
• ලංකා සංචාරක මණ්ඩලය පැවැත්වූ ප්‍රථම පෝස්ටර් චිත්‍ර තරගයේ ප්‍රථම ත්‍යාග තුනක් සහ දෙවන ත්‍යාග දෙකක් ඔහු විසින් දිනා ගැනීම සුවිශේෂීය.
• 1925 සිට1931 දක්ලංකා චිත්‍ර සංගමය මගින් පැවැත්වූ චිත්‍ර තරඟ වලින් මුල් තැන හිමි වූයේ ජී. ඇස් ප්‍රනාන්දුට ය.
• ඩබ්ලිව් ඒ සිල්වා, හේමපාල මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රකට ලේඛකයින් ගේ පොත් වල පිට කවර නිර්මාණය වූයේ ඔහු අතිනි.
* චිත්‍රකතා නිර්මාණ :
ජී. ඇස්. ප්‍රනාන්දු ගේ චිත්‍රකතා පිළිබඳව දක්වා ඇති අදහස් කිහිපයකි මේ.
"නීලා සිත්තම් කරමින් සිංහල චිත්‍ර කතාව හඳුන්වා දීමේ පුරෝගාමියා වූ, ජී. එස්. ප්‍රනාන්දු ඉන් පසුව සිතුවමට නැඟූ බහිරව පූජාව, මහා නගරය, සිරකරුවා, තානායම, සරදියෙල්, වෙද බිරිය ආදී චිත්‍රකතා හේතුකොට ගෙන ලංකාදීප පුවත්පතට ආවේනික චිත්‍රකතා සම්ප්‍රදායක් ගොඩ නැගී තිබිණි. ඒවාට විශාල පාඨක පිරිසක් එක් රොක් වී සිටියහ. බොහෝ කතා හරය අතින් නොගැඹුරු වූත් සරල වින්දනයක් ලබා දිය හැකි මට්ටමේත් වූ කෘතීන් විය. (චිත්‍රකතාවේ සමාජ මුහුණුවර )
"බටහිර චිත්‍රකතා සම්ප්‍රදාය ගුරු කොට ගෙන චිත්‍රකතා ඇරඹුවද ජී. එස්. ප්‍රනාන්දු පසුකාලීනව දේශීය චිත්‍රකතා සම්ප්‍රදාය ගොඩ නැංවීමට වඩාත් කැප වු බව ඔහුගේ පසු කාලීන චිත්‍ර කතා විමසුමෙන් පෙනී යයි. පාඨක රස වින්දනය පහළ තලයකට නොදැමීමට එදා චිත්‍රකතා කරුවෝ මහන්සි ගත්හ.
ඉරිදා ලංකාදීප පුවත්පතේ ජනප්‍රියතාවට "නීලා" හේතු සාධකයක් වූයේය. .....කොතරම් ජනප්‍රිය වූවාද කියතොත් එහි දෙවැනි කොටසක් "නීල කුමාර" නමින් පළ කිරීමට ජී.ඇස්. ට සිදුවිය. (චිත්‍රකතාවේ සමාජ මුහුණුවර )
"ජී. එස්. ප්‍රනාන්දු සිත්තම් කළ නීලා, කුංචා, ගීතයෙන් මතු වූ ආදරය, වැනි චිත්‍රකතා පොත්වලට වඩා ඔහුගේ ජේමිස් බණ්ඩා වැනි රහස් පරීක්ෂක කතා රැගත් චිත්‍රකතා පොතක ඉස්මතු වූ කුතුහලය, ත්‍රාසය, හේතුකොට ගෙන වඩාත් පාඨක ප්‍රතිචාරයක් හිමි වී තිබුණි." (චිත්‍රකතවේ සමාජ මුහුණුවර )
* ජී. ඇස්. ප්‍රනාන්දුගේ චිත්‍රකතා නිර්මාණ කිහිපයක් :
නීලා, නීල කුමාර, කුංචා, බහිරව පූජාව, මහා නගරය, සිරකරුවා, තානායම, සරදියෙල්, වෙද බිරිය, ජේමිස් බණ්ඩා.
රසවාහිනි සඟරාව ඇතුළු සඟරා සහ පුවත්පත් වල පළවූ චිත්‍රකතා, කාටූන් සහ සන්නිදර්ශන චිත්‍ර බොහෝ ප්‍රමාණයක් වෙයි. "ජී. ඇස්. ගේ නිහඬ සිනා" යනු පිටුවක් පුරා පළ වූ කාටූන් පෙළකි.
රසවාහිනිය සඟරාවේ පළ වූ චිත්‍රකතා (පසුව චිත්‍රකතා පොත් ලෙසද පළ කර ඇත.)
ගීතයෙන් මතු වූ ආදරය (කතාව -ධර්මසිරි ගමගේ)
• දෑසේ වන්දිය (කතාව -චිත්‍රා තිලකසිරි )
• ජීවන පෙරහැර (කතාව-ධර්මසිරි ගමගේ)
• මම ඔබට ආදරෙයි (කතාව -ධර්ම ශ්‍රී කල්දේරා )
• ජීවන ගීතය (කතාව -සමන් චන්ද්‍රනාත් වීරසිංහ )
• අවුරුදු මනාලිය (කතාව- සමන් චන්ද්‍රනාත් වීරසිංහ )
• නපුරු නවය (කතාව -චිත්‍රා තිලකසිරි )
• දරු අරුමය (කතාව -කීර්ති කලහේ)
• මහා කරුණාව (කතාව-රෝහණ කුමාර)
• ජල සාටක වස්තුව (කතාව-රෝහණ කුමාර)
• පෙර ආත්මයක් (කතාව -රෝහණ කුමාර )
• පටාචාරා (කතාව -කැලණි කුමාර)
• 1817 කැරැල්ලේ වීරයා (කතාව-කීර්ති කලහේ)
• ළිහිණි හෙල අවතාරය (කතාව-ඩී.වී. සෙනෙවිරත්න )
• රෑ රහස (කතාව -කීර්ති කලහේ)
• 1803 කුඩාරාල වීරයා (කීර්ති කලහේ )
• වැරදුණු බිල්ල (කතාව -කීර්ති කලහේ)
පහත චිත්‍රකතා වල කතාව සහ චිත්‍ර ජී. ඇස්. ප්‍රනාන්දු ගේ ම ය.
• යකාගේ වැඩක්
• විස අඹය
පහත සඳහන් චිත්‍රකතා ඇඳ ඇත්තේ සෙනරත් යන නමිනි. (එය නමෙහි කොටසකි)
• දුන්න දුන් ආදරය (කතාව -සුරත් රෝහණ් කුමාර)
• මධු සමය (අමරා)
ශ්‍රී ලාංකික චිත්‍රකතාවේ ආරම්භයට පුරෝගාමිව දායක වෙමින් හා එහි මුල් අවධිය වර්ණවත් කරමින් චිත්‍රකතාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල මේ මහා කලාකරුවා වෙනුවෙන්
" පත්තර අරණ " අපගේ ගෞරවය මෙසේ සනිටුහන් කරමු.
සු.ප්‍රි. සමරසිංහ
supprisamarasinghe@gmail.com
ස්තුතිය -
• පරිශීලනය කළ හා උපුටා ගැනීම් සිදුකළ සියලු මූලාශ්‍රයන්ට
• ශ්‍රී ලංකා චිත්‍රකතා සමූහයට (Sri Lankan Comics )
• SL Comics පිටුවට
• SATHUTA රසික සමූහයට
• IWS SRI LANKA
පරිශීලනය කළ පොතපත සහ වෙනත් මූලාශ්‍ර-
1. පුවත්පත් කලා සමීක්ෂා 1993, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශනයකි.
2. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටූන් චිත්‍ර, කල්පනා, 1982 මාර්ත, 1 වෙනි වෙළුම 5 වෙනි කලාපය
3. චිත්‍රකතාවේ සමාජ මුහුණුවර, නිසිත වර්ණසූරිය )
4. සොඳුරු වෙඩික්කාරයන්ගේ කථා වස්තුව, වත්මන, 1997 පෙබරවාරි 15
5. කාටූන් කලාවට ප්‍රවේශයක් , චමින්ද කුමාර මුතුමාල
6.. මුල්ම සිංහල චිත්‍රකතාව බිහිවී ඇත්තේ අපේ පත්‍ර කලාවේදිනියකගේ නම අනුවයි, ඒ. ඩී. රංජිත් කුමාර , ඉරිදා ලක්බිම , 2007.11.04
7. ඉරිදා ලංකාදීපයෙන් ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව ඇන්ද ජී.ඇස්. ප්‍රනාන්දු , ඒ. ඩී. රංජිත් කුමාර , ඉරිදා ලංකාදීප, 2016.11.27
8. අන්තර් ජාලය
9. සුපිරි ගේ "Comics කොලම"
10. "රසවාහිනි" සඟරාව
No comments:
Post a Comment