Saturday, 27 January 2024

රසිකයා - විසිහය වැනි දිගහැරුම


රසිකයා කොටස් 25 ක් පළවුණා ඊකතා Estories විද්‍යුත් සඟරාවෙ. මෙවැනි සඟරාවක් එක දිගට පළකරන එක දුෂ්කර වැඩක් කියල රසිකයා දන්නව. ඒ නිසයි රසිකයා එහි සංස්කාරක වගේම නිර්මාණ ඉදිරිපත් කරන චිත්‍ර ශිල්පීන්ට,  ලේඛකයින්ට ස්තුතිය පිරිනමන්න හිතුවෙ. 

ඊකතා Estories වල චිත්‍රකතා, කාටූන්, කවි, කෙටිකතා, තීරු ලිපි සහ ලිපි පළවෙනවා. ඒ වගේම විද්‍යුත් චිත්‍රකතා ප්‍රකාශනයක් ලෙස සිත්තරා නොකඩවා පළවෙනවා. මීට පෙර සත්රිසි විද්‍යුත් චිත්‍රකතා ප්‍රකාශනය පළ වුණා. 

රසිකයාට මේ සියල්ල මතක් වුණේ පසුගිය කාල වකවානුවේ පළ වූ පත්තර සඟරා කොතරම්  ප්‍රමාණයක් නතර වූවාද යන්න මතක් වූ නිසයි. සමහර පත්තර කලාප කිහිපයකින් නැවතුණා. මොන මොන ප්‍රශ්න තිබුණත් පාඨක ඉල්ලුම නැතිවීම එවැනි පත්තර නතර වීමට හේතුව බවයි රසිකයා හිතන්නේ. 

රසිකයාට මතක විදියට අවසන් වරට චිත්‍රකතා පත්තරයක් පළවුණේ සක්විති සහ ලංකාදීප පත්තරය සමඟ නොමිලේ ලබා දුන් විජය සතුට පත්තරය. ඒ පත්තර දෙක පළ කෙරෙන බව ලැබුණු ආරංචිය රසිකයාට ලබා දුන්නේ ලොකු සතුටක්. එදා පත්තරයක් ලෙස අතට පත්වූ චිත්‍රකතා පත්තර වලින් විඳි සතුට නැවත ලැබෙන බව දැනීම ඊට හේතුවයි. එහෙත් අවාසනාව ! ඒ පත්තර වැඩි කලක් පැවතුණේ නැත. 

නවීන තාක්ෂණය සමඟ එක් වී චිත්‍රකතාව ද ඒ හා ගමනක් යා  යුතුය යන මතය හොඳය. එහෙත් රසිකයා හිතන්නේ පත්තරයකින් ලැබන රසය විද්‍යුත් ප්‍රකාශනකින් නොලැබෙන බවයි.

එහෙත් එකක් කිව යුතුය. රසිකයා ද දැන් විද්‍යුත් චිත්‍රකතා කියවීමට හුරුවී ඇති බවයි. වර්තමාන පරම්පරාව ද එසේ චිත්‍රකතා කියවීමට හුරුවේවා යනු රසිකයා ගේ පැතුමයි. එසේම චිත්‍රකතා පත්තර නැති අඩුව චිත්‍රකතා පොත් මුද්‍රණය නිසා යම් තරමකට මග හැරෙන බවද රසිකයා හිතයි. 

 
[සුප්‍රි සමරසිංහ ]
 
 
 

No comments:

Post a Comment