Sunday 3 September 2023

රසිකයා - හත් වැනි දිගහැරුම

 


ගුවන් විදුලිය හැරුණු කොට එදා අපට තිබුණු එකම විනෝදාංශය වූයේ චිත්‍රකතාවය. පාසල් නිවාඩු කාලය යනු චිත්‍රකතා පත්තර සහ චිත්‍රකතා  පොත් පෙරළගෙන නැවත නැවතත් කියවන කාලයයි. අයියාටත් රසිකයාටත් තනිවම කියවන්නට හැකි වුවත් මල්ලිලා දෙන්නාට ළමා චිත්‍රකතා කියවා දෙන්නේ අක්කාය. ඉන් වැඩිපුරම කියවා දෙන කතා වූයේ මිහිර පත්තරයේ පළවූ යෝධයා, ඔන්න බබෝ සහ පුංචිත්තා ය. ඊට අමතරව මිහිරේ මුල්පිටුවේ පළවූ කතාවය. අපද ඒ කතා කියවා රස වින්දේ සතුට පත්තරයේ චිත්‍රකතා කියවා ලබන සතුටට නොදෙවැනි සතුටකිනි. අම්මා සහ තාත්තා ද ඒ ළමා චිත්‍රකතා රස විඳින්නට එකතු වූයේ වැඩිහිටියන්ට ද ඒවා රස විඳින්නට බාධාවක් නොවන බව පෙන්නමිනි.

හැම විටම පඬිතුමා පරදවා උපායශීලීව ජයගත් යෝධාත්, නපුරු බටකොළ ආච්චිගේ කරදර වලින් බේරෙන  බූ, බබා සහ තුල්සිත් වීරයන් වූයේ මල්ලිලා දෙන්නාටය. අයියාට සහ රසිකයාට  වීරයන් වූයේ නිව්රෝ, වීරෝ, මේඝ වැනි චරිතයන් ය. ළමා කතා පමණක් නොව ඕනෑම කතාවක් කියවන්නට තාත්තා ඉඩ දුන්නේ  ඒ කාලයේ ළමයින්ට නුසුදුසු කිසිවක් සතුටෙහි පළ නොවූ නිසා වන්නට ඇත.

රසිකයාට සිත්තර පත්තරය කියවන්නට ලැබෙන්නේ පසු කාලයකදී ය. ඒ මිතුරෙකු ගේ ගෙදරකින්‍ ඉල්ලාගෙනය. ඔවුන් සිත්තර පත්තර සියල්ලම පිළිවෙළකට එකතු කොට තිබුණි. 

මේ හැමදේම කියවන්නේ පාසලේ පාඩම් වැඩ අතපසු කර නොගෙනය. ඒ නිසා රසිකයා ගේ 

තාත්තා කිසිවිටෙක චිත්‍රකතා පත්තර කියවන්නට එපා යැයි නොකියූ බව  රසිකයාට මතකය. රසිකයා සිතන්නේ තාත්තා චිත්‍රකතා රසිකයෙකු වීමත් ඊට එක් හේතුවක් බවය.

සතුට පත්තරය මධුර පත්තරය බවට පත්වෙන දිනය රසිකයාට හොඳට මතකය. ඒ 1980 ජනවාරි පළමුවැනිදා ය. සතුටෙහි නම පමණක් නොව සමහර චිත්‍රකතා අඳින ශිල්පීන් පවා වෙනස් වූ අවස්ථා රසිකයාට මතකය. එවැනි අවස්ථා ගැන රසිකයාගේ සිතේ ඇත්තේ පැහැදීමක් නොවෙයි. එසේ වන්නේ ඇයිද යන හේතු රසිකයා දැන ගන්නේ බොහෝ කලකට පසුවය.

රසිකයා ගේ චිත්‍රකතා මතකය සමග යළිත් හමුවෙමු.......... 



©සු.ප්‍රි. සමරසිංහ 

1 comment: