Saturday 28 October 2023

පත පොත - පහළොස් වැනි කොටස



බස නැසෙන හැටි -ඩී.ෆ්. කාරියකරවන

සිළුමිණ පුවත්පතේ පළවූ තීරු ලිපි එකතුවකි. නිවැරැදිව බස හසුරුවන්නට මග පෙන්වන්නකි. පුවත්පත්හි පළවූ ලිපිවල අඩුපාඩු උදාහරණ ලෙස ගෙන සිත් ගන්නා ලෙස ලියන ලද්දකි. කතුවරයා පුවත්පත් කලාව පිළිබඳව පරතෙරට  දත් අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ පත්‍රකලාවේදී ඩී.එෆ්. කාරියකරවන මහතාය.

"මේ වූ කලි ' බස නැසෙන හැටි ' නමින් සිළුමිණ පත්‍රයේ පළ වූ තීරු ලිපි ගොනු කොට පළ කැරෙන ග්‍රන්ථ මාලාවක පළමු වැන්න ය.

බෙහෙවින් ජනප්‍රිය වූ මේ තීරු ලිපිය ලියන්නට මා පෙලඹුණේ අහම්බෙනි. අප ' සිරිලක ' පළ කළ කාලේ මගේ ගෝළයකු වූ සුජීව දිසානායකයන් සිළුමිණ කතු අසුනට පත් වූ අලුත, දවසක් මා සොයා ආවේ, කලෙක මා හිඳගත් අසුන ඔහුට ද ලැබීමේ ප්‍රීතිය බෙදා හදා ගන්නට ය.

ආගන්තුක සත්කාර ලබමින් මගේ ගෙදර දෙපැයක් පමණ ගත කළ ඔහු රෑ බෝ වී යන්නට සැරැසෙමින් සිළුමිණට තීරු ලිපියක් ලියන්නැයි මට ආරාධනය කළේය.

කුමක් ලියම්දැයි නිනවුවක් නැතිව ඒ මේ අත කල්පනා කළ මම, ලියනවා නම් ලියන්නේ අද පුවත් පත්, බස නසන ආකාරය ගැන යැයි නිකමට මෙන් කීවෙමි. ඉතා මැනැවැයි කී සුජිව පළමු කොට සිඵමිණෙන් අරඹන්නැයි කළ ඉල්ලීම මම බෙහෙවින් අගය කරමි.

පසුදින මා සිළුමිණේ වැරැදි දෙකක් ම ගෙන හැර පාමින් ලියන ලද පළමුවැනි ලිපිය ඊළඟ ඉරිදා (2000 ජුනි 25 ) සිළුමිණේ පළ විය.

එතැන් සිට පළ වූ ඒ තීරු ලිපිවල මුල් කොටස ය මේ. " (කර්තෘගෙන්)


ප්‍රකාශනය :ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 

පළමු මුද්‍රණය : 2002

පිටකවරය : මෙරිල් පෙරේරා

මිල රුපියල් : 250/= 


සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment